Print this Article


කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විසිවන උපාධි ප්‍රදානෝත්සවය සිදුකෙරෙන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විසිවන උපාධි ප්‍රදානෝත්සවය සිදුකෙරෙන

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
 


Convocation address: Most Venerable
Shi Guangquan

 

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 20 වැනි උපාධි ප්‍රදානෝත්සවය විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යයයන් වහන්සේ වන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2017 ජූනි 02 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. ප්‍රථම වතාවට උපාධි ප්‍රදානෝත්සවයට චීනයේ Hangzhou Buddhist Academy යෙහි මණ්ඩපාධිපති Most Venerable Shi Guangquan නායක ස්වාමීන් වහන්සේ විසින් උපාධි දේශනය පවත්වනු ලැබේ.


සාහිත්‍ය චක්‍රවර්ති
සම්මාන උපාධිය – 2017

සම්මානිත මහාචාර්ය
ආනන්ද අබේසිරිවර්ධන


බලවත් වගකීමක් පැවරී ඇත

ශ්‍රී සුගත තථාගත තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ලෝක සත්වයාගේ මෙලොව, පරලොව යහපත හා නිර්වාණාවබෝධය පිණිස සුදේශිත සුවාසූදහසක් ශ්‍රී සද්ධර්මය, ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ශ්‍රාවක මහා සංඝරත්නය විසින් ශ්‍රවණය ධාරණය. භාවිතය, ප්‍රත්‍යවේක්ෂණය අවබෝධය යන ක්‍රම පටිපාටිය තුළින් නොනැසී පවත්වාගෙන ආවාහුය. මෙසේ අසම්භින්නව පවත්වාගෙන ආ බෞද්ධ දර්ශනය, ධර්මාශෝක මහරජු සමයෙහි, ලක්දිව දෙවනපෑතිස් රජු දවස මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමත් සමඟ ලක්දිවෙහි ද ප්‍රතිෂ්ඨාපනය විය. මෙකී අධ්‍යාපන ක්‍රමයේ මූලික අභිමතාර්ථය වූයේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික සුවය ළඟා කර දීමය. ඒ අනුව ගිහි පැවිදි උභය පාර්ශ්වයටම ශාසනික ප්‍රතිපදාව මෙන්ම, ශික්ෂණය සමඟ සමයාන්තර ඥානය, භාෂා ඥානය ආදී විවිධ ක්ෂේත්‍රයන්හි දැනුම හා ශික්ෂණය ලබා දෙන පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය මෙරට මුල්බැස ගන්නා ලදී.

මෙම පිරිවෙන් අධ්‍යාපනය තුළින් ථෙරවාදී සංඝ සමාජයට අදාළ ශාසනික සංස්කෘතික සාමාජික හර පද්ධතිය පන්සල කේන්ද්‍ර කොට, ගිහි පැවිදි සමාජයට පරපුරෙන් පරපුරට දායාද කෙරිණ. එමගින් භාෂා ශාස්ත්‍ර හා ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපනය පමණක් නොව අර්ථවාදී පරාර්ථකාමී චර්යාවන් පෝෂණය කෙරෙන අධ්‍යාපනයක් ද ලැබිණි.

දැනුම, කුසලතා හා ජීවිතාදර්ශනයන් පෝෂණය කෙරෙන පිරිවෙන් අධ්‍යාපනය තවත් ඉදිරියට සංවර්ධනය කෙරෙමින් බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදය තුළ කාලීන අවශ්‍යතා සපුරා දෙමින් ගුණගරුක ශික්ෂාකාමී ගිහි පැවිදි විද්‍යාර්ථීන් පිරිසක් රටට දායාද කිරීමේ අභිලාෂයෙන් වර්ෂ 1982 දී ප්‍රථමවරට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලද අතර 1996 වැන්නේ මෙම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ හෝමාගම නගරයේ දී ස්ථාපනය කරන ලදී. එහි අධ්‍යාපනය ලබන විද්‍යාර්ථින්ගෙන්, ජනතාව හුදෙක් අපේක්ෂා කරනුයේ දිවයිනේ පවත්නා අනෙකුත් සාමාන්‍ය විශ්වවිද්‍යාලයන්ගෙන් ලබා දෙන උපාධි සහතිකයක් නොව ඊට වඩා සුවිශේෂි අර්ථ සිද්ධියකි. එම ජනතා අපේක්ෂාවන් සපුරා දීමෙහිලා, මෙහි අධ්‍යාපනය ලබන සියලු සිසුන්ට මෙන්ම ආචාර්යවරුන්ටද බලවත් වගකීමක් පැවරී ඇත. මෙවර උපාධි සහතික ප්‍රදානය ලබන ගිහි, පැවිදි සියලු සිසුන් විසින්ද මෙම කාරණය තරයේ වටහාගත යුතුය. පිරිසුදු ථෙරවාදී බුදුදහම දිවි හිමියෙන් නොනැසී ආරක්ෂා කර ගනිමින්, පරපුරෙන් පරපුරට දායාද කළ අපේ මහතෙරුන් වහන්සේලාගේ ශාසනික ගමන්මග හා ශික්ෂණය මැනවින් වටහා ගෙන නිවැරදි යහපත් ජීවිතයකට සරිලන ආකාරයෙන් තමන් ලැබූ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලෝකාර්ථසිද්ධිය පිණිසත්, ශික්ෂණය හා සදාචාරය පිණිසත්, ගිහි පැවිදි සමාජයේ සකලවිධ අර්ථසිද්ධිය පිණිසත් දායාද කිරීමට අදිටන් කර ගත යුතුය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විසිවන උපාධි ප්‍රදානෝත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට කැපවී කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහෝපාධ්‍යාය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සෙසු අධ්‍යාපන කාර්ය මණ්ඩලයටත්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුද කරන අතර ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද නොමඳව ලැබේවායි ආශිංසනය කරම්හ.


සංවේදී ශික්ෂිත ඤාණවන්ත මානව ප්‍රජාවක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තිස් පස් වසරක් අභිමානවත් ඉතිහාසයක් තුළ සිදුකළ ශාස්ත්‍රීය මෙහෙවරෙහි තවත් එක් අනුස්මරණීය අවස්ථාවක් සනිටුහන් කරමින් 2017 ජූනි 02 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන විසිවන උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය වශයෙන් මම අතිශයින් සතුටට පත් වෙමි. එම අවස්ථාව උපාධි ලාභීන්ගේ ආචාර්ය ස්වාමීන් වහන්සේලාටත් දෙමාපියන්ටත්, ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ටත් සුවිශේෂී දිනයක් මෙන්ම ආදරණීය සැමරුමක් වනු ඒකාන්තය.

බුද්ධ ධර්මය හා බෞද්ධ දර්ශනය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම අප විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛතම පරමාර්ථයකි. එම අරමුණ විජයග්‍රහණය කිරීම සඳහා විදේශ භාෂා ගණනාවක්ම අධ්‍යයනය කිරීමට අප ශිෂ්‍යයන්ට දැන් අවස්ථාව හිමි වී තිබේ. මේ වන විට විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් අනුක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර වර්තමානය වන විට ලංකාවේ අනෙකුත් ජාතික විශ්වවිද්‍යාලයන් හා සමානවද ඇතැම් අංගවලින් අප විශ්වවිද්‍යාලය අන් විශ්වවිද්‍යාලයන් අබිබවා ද සිටී. දශක තුනහමාරක් තරම් වූ කාලයක් තිස්සේ බුද්ධ ධර්මය හා තදනුබද්ධ දර්ශනය දේශීය හා විදේශීය වශයෙන් සමාජගත කිරීම තුළින් වඩාත් යහපත් මානව සමාජයක් ගොඩනැඟීමට කැපවූ විශ්වවිද්‍යාලයක අභිමානය විඳ ගැනීමට අද දින උපාධිලාභීන්ට ස්වකීය වෘත්තීන්හි අභිවර්ධනය කරා ළඟාවීමටත් විවිධ වෘත්තීන් අපේක්ෂාවෙන් සිටින විද්‍යාර්ථීන්ට ඒවා ලබා ගැනීමටත් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පෘථුල අභිප්‍රායයන් පෙරදැරි කරගෙන උපාධි ජයග්‍රහණය කරන පිරිසට අපගේ විශ්වවිද්‍යාලයේ දැක්ම සාක්ෂාත් කිරීමටත් අවශ්‍ය වෘත්තීය පිළිගැනීම හා වටිනාකම තහවුරු කිරීම සිදු වන මේ පී‍්‍රතිමත් මොහොතේ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධරයා ලෙස මා හට ඇත්තේ නිරාමිස පී‍්‍රතියකි.

ශාස්ත්‍රෝද්ග්‍රහණය කෙරෙන මෙම කේන්ද්‍රස්ථානය නිර්මාණය කිරීම විෂයෙහි කැපවුණු පුරෝගාමීන්ගේ අභිප්‍රායයන් සඵල කෙරෙන අතරතුර ඒ වෙනුවෙන් විවිධ උත්සාහයන් දැරූ පූර්ව මහා මහෝපාධ්‍යාය හා මහෝපාධ්‍යායයන් වහන්සේලාගේ කැපවීම් අගයමින් කාලීන වෙනස්කම් කෙරෙහිද අවධානය යොමු කරමින් ලෝකයේ ථෙරවාදී බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දනන් තුඩ තුඩ රැව් දෙනු ඇසීම හා දැකීම මට මහත් ප්‍රහර්ෂයකි. ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, දර්ශනපති හා දර්ශන විශාරද යනාදී උපාධි ලබන විද්‍යාර්ථීන් සිය කාර්යයන් මෙතැනින් අවසන් කරනු වෙනුවට මෙම ඇගයීමත් සමඟ විවිධ ජාතික හා අන්තර්ජාතික කාර්යයන් සඳහා මුල පුරනු ඇතැයි මම අපේක්ෂා කරමි. මෙවැනි විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලැබීම ලෝගුවක් දැරීම හා සහතිකපතක් හිමිවීම, අතික්‍රමණය කෙරෙන ශික්ෂණයට මංපෙත් හෙළි කරන අවස්ථාවක් නිසා ම සංවේදී, ශික්ෂිත ඥානවන්ත මානව ප්‍රජාවක් ගොඩනැඟීමේ නියෝජිත පිරිසක් බවට අද දින උපාධි ලබන පිරිස පත් වේවායි ප්‍රාර්ථනා කරමි.


බුදු දහම ගැඹුරින් හැදෑරීමේ අවස්ථා පුළුල් ලෙස ව්‍යාප්ත කර ඇත

ජාත්‍යන්තර වෙසක් උළෙල අති උත්කර්ෂවත් අයුරින් සමරමින් ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පිදුම් ලබන පසුබිමෙක සම්බුදු දහම පෝෂණය කිරීම සහ නිර්මල බුදුදහම අන්තර්ජාතිකව ව්‍යාප්ත කිරීම උදෙසා කැපවුණු ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විසිවැනි උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් ශුභාශිංසන පිරිනමන්නට අවස්ථාවක් ලැබීම භාග්‍යයක් කොට සලකමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කිරීමේ වගකීම පැවරී ඇති රජය, එකී වගකීමට අනුගතව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අවැසි සියලු යටිතල පහසුකම් සලසමින් ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන්ට මෙන්ම විදේශීය විද්‍යාර්ථීන්ට ද බුදුදහම ගැඹුරින් හැදෑරීමේ අවස්ථා පුළුල් ලෙස ව්‍යාප්ත කර ඇත. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද වන විට ජාත්‍යන්තරව දිනා සිටින කීර්තිය ඒ පිළිබඳ මනා සහතිකයකි.

විශ්ව කීර්තිධර පඬිවරුන් අතර වියත්, සිල්වත් භික්ෂූන් වහන්සේලාට හිමිවන්නේ අද්විතීය පිළිගැනීමකි. අද දින උපාධිය ලබන භික්ෂූන් වහන්සේලා අතුරින් ශ්‍රී ලංකාවටත් සම්බුද්ධ ශාසනයටත් ගෞරවනීය පිළිගැනීමක් අත්පත් කරදෙන එවන් විශිෂ්ට පඬිවරුන් බිහිවනු ඇතැයි මම අපේක්ෂා කරමි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලොව ප්‍රබල රටවල්හි අනුබද්ධ ආයතන පිහිටුවා සිය විශ්ව මෙහෙවර තුළින් බුදුදහමේ දැක්ම අධ්‍යයනයට ළැදි විද්‍යාර්ථින්ට ඒ සඳහා පුළුල් අවකාශය සලසමින් බෞද්ධ අධ්‍යාපනයේ ජගත් මධ්‍යස්ථානය බවට පත්වීමට දරනු ලබන උත්සාහය අතිශය ධෛර්ය සම්පන්නය. එවන් අපේක්ෂා පෙරදැරි කරගත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික මෙහෙවර සාක්ෂාත් කරනු පිණිස ඇපකැපවන අධ්‍යයන කාර්යය මණ්ඩලයටද අද දින උපාධිය ලබන ගිහි පැවිදි සියලු විද්‍යාර්ථීන්ටද පාලක මණ්ඩලයටද සියල්ලන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


ඉටු කරනුයේ යුග මෙහෙවරකි

බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිතව පවත්වා ගැනීමේ සහ තවදුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරනු ලබන විශ්වවිද්‍යාලයකි. අප රට තුළ පමණක් නොව විදෙස් රටවලද බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා මෙම විශ්වවිද්‍යාලය දරන ප්‍රයත්නය අතිශය ප්‍රශංසනීය ය.

මුළු මහත් මිනිස් සංහතියට කරුණාව, දයාව, මෛත්‍රීය දැක්වීමේ වැදගත්කම පසක් කරගත යුතු මෙවන් යුගයක එම ගුණධර්මවලින් පිරිපුන් විද්‍යාර්ථීන් පිරිසක් බිහි කිරීමට උරදෙමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඉටුකරනුයේ යුග මෙහෙවරකි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 20 වැනි උපාධි ප්‍රදානෝත්සවය තුළ උපාධි ලබන ශාස්ත්‍රවේදී සහ පශ්චාත් උපාධිධාරී සැමදෙන, බුද්ධ ධර්මයේ ගැඹුරු හරය, මානුෂීය වටිනාකම් ස්වකීය ජීවිත තුළ ප්‍රායෝගිකව ජීවත්වෙමින් අන් අයගේ ජීවිතවලට ආලෝකයක් වනු ඇතැයි ද, එමගින් යහපත් ගුණගරුක සමාජයක් බිහිකිරීමට උරදෙනු ඇතැයි ද අපේක්ෂා කරමි. ඉදිරියටත් ධර්මධර, විනයධර උගතුන් සමාජගත කරන්නට විශ්වවිද්‍යාලයේ සැමට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමින්, උපාධි ප්‍රදානෝත්සවය සර්වප්‍රකාරයෙන් සාර්ථක වන්නට සුභාශිංසන එක්කරමි.


මෙහෙවර අතිශය ප්‍රශංසනීය වේ

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 20 වැනි උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම සතුටට කරුණකි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා නව රජය කැපවී කටයුතු කරන මෙවන් සමයක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිදයාලයේ උපාධි පාඨමාලාව සාර්ථකව නිම කළ සියලු විද්‍යාර්ථීන්ට මාගේ සුබ පැතුම් පිරිනමමි.

උතුම් වූ බෞද්ධ දර්ශනයේ සර්ව කාලීන වූ මඟ පෙන්වීම පරපුරෙන් පරපුරට සුරැකීමට පෙරමුණ ගත් අනුබුදු මිහිඳු මහරහතන් වහසන්සේගේ මඟ පෙන්වීමෙන්, හෙළ බොදු යතිවරුන්, වියතුන් මුල්ව ඇරඹූ ආගමික අධ්‍යාපනය මහාවිහාර සමයේ සිට අභයගිරි, ජේතවන ආදී බෞද්ධ ශාස්ත්‍රාලයන් ඔස්සේ පෝෂණය වී ඇත. පුරාණයේ සිට පැවත එන එම සම්ප්‍රදාය අදට ගැළපෙන අයුරින් දෙස් විදෙස්හි පතල කරනු වස් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මෙහෙවර අතිශය ප්‍රසංශනීය වේ.

ගිහි පැවිදි බෞද්ධ බුද්ධි ගවේෂකයින්ගේ දැනුමින්, විනයෙන් හා ශික්ෂණයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් සිය බුද්ධි මෙහෙවර ඉටු කරන මෙම සරසවිය තුළින් දෙස් විදෙස් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ගිහි සිසුන් අති විශාල ප්‍රමාණයක් දැනුම ගවේශනයේ නිරත වේ. ඒ හේතුවෙන්ම ලොව පුරා බෞද්ධ, අබෞද්ධ සියල්ලන් අතරම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබා ඇති කීර්ති නාමය හා ගෞරවය පිළිබඳ උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා ලෙස මම ඉතා සතුටට පත්වෙමි. ඉදිරියේදී ද ඔබගේ මෙහෙවර වඩාත් පුළුල් කිරීම උදෙසා රජය වෙනුවෙන් ලබා දිය හැකි සෑම ශක්තියක්ම ලබා දීමට නව රජය කටයුතු කරන බවද මෙහිදී සිහිපත් කරමි.

භෞතික මෙන්ම ආධ්‍යාත්මිකවත් දියුණු සමාජයක් ගොඩනැඟීම උදෙසා බෞද්ධ අධ්‍යාපනය නඟාසිටුවීමට ඔබ දරනා වෑයම තුළින් දැනුමින්, විනයෙන් හා ශික්ෂණයෙන් වඩාත් යහපත් විද්‍යාර්ථීන් පිරිසක් බිහි කිරීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි.


සැමට මහත් අභිමානයක්

20 වැනි උපාධි ප්‍රදානෝත්සවය සඳහා සිය කාර්යය මණ්ඩලය සමඟ පණිවුඩයක් නිකුත් කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වශයෙන් අතිශය කෘතඥ වෙමි.

20 වැනි උපාධි ප්‍රදානෝත්සවය විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යයයන් වහන්සේ වන සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවේ. ප්‍රථම වතාවට උපාධි ප්‍රදානෝත්සවයට චීනයේ Hangzhou Buddhist Academy යෙහි මණ්ඩපාධිපති Most Venerable Shi Guangquan නායක ස්වාමීන් වහන්සේ විසින් උපාධි දේශනය පවත්වනු ලැබේ.

දේශීය මෙන්ම විදේශීය සිසුන්ගේ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පෙරමුණ ගෙන තිබීම ශ්‍රී ලංකාවාසී සැමට මහත් අභිමානයක් වේ. විදේශීය සිසුන් වැඩිම ප්‍රමාණයක් උසස් අධ්‍යයන කාර්යයෙහි නියැළෙන මෙම විශ්වවිද්‍යාලයෙහි විදේශීය අනුබද්ධායතන දොළහක් විදේශ රටවල පවතී. එම රටවල් නම් සිංගප්පූරුව, මැලේසියාව, ජර්මනිය, ස්කොට්ලන්තය, ඔස්ට්‍රියාව, හොංකොං, බංගලාදේශය, දකුණු කොරියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍ය වේ. ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් සතු ගොඩනැගිලි ඉදිවී තිබෙන අතර, ඒ සඳහා රජය ලබා දී ඇති අනුග්‍රහය ප්‍රශංසනීයයි.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධිලාභීන් පන්සිය විසි පහක් (525) ක් විදේශීය සිසුන් සමඟ උපාධි ලැබීමට නියමිතව ඇත. විදේශීය භාෂා දැනුම, නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ලෝකවාසී ජනතාව අතර නිර්මල බුදුදහම ප්‍රචාරය කිරීමට සහ ශිෂ්ට සම්පන්න සමාජයක් ලොවට දායාද කිරීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය උත්සාහ ගනිමින් පවතී.


විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය උදෙසා ලබා දිය යුතු සියලු පහසුකම් නොමදව ලබා දී ඇත

එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් රට පුරා බෞද්ධ පුනරුදයක් ඇති වී ඇති මෙවන් අවධියක බෞද්ධ දර්ශනය ලොව පුරා පතුරවමින් බුදුදහමේ හරය මැනවින් වටහා ගත් විද්‍යාර්ථීන් රැසක් ලොවට බිහි කිරීමට පුරෝගාමී වූ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විසිවන උපාධි ප්‍රදානෝත්සවයට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කිරීම මම ලැබූ භාග්‍යයක් ලෙස සලකමි. ශ්‍රී ලංකාව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අරමුණ යථාර්ථයක් කර ගැනීමට උත්සාහ දරන මෙවන් යුගයක උපාධි පාඨමාලා සාර්ථකව නිම කර අද දින අභිසෙස් ලබන සියලු විද්‍යාර්ථීන්ට මාගේ සුභාසිංශනය පිරි නමමි.

බෞද්ධ දර්ශනය පිළිබඳ ලෝකවාසී ජනතාව තුළ පිබිදීමක් ඇති වී ඇති මෙවන් අවධියක ශික්ෂාකාමී, සියලු සතුන්ට යහපත උදා කරලීමේ චින්තනයක් සහිත උතුම් දර්ශනයක් ප්‍රගුණ කරන විද්‍යාර්ථීන් ලොවට දායාද කිරීමේ අරමුණ පෙර දැරි කොට ගෙන පිහිටුවා ඇති මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා සෑම වර්ෂයකම විදේශීය භික්ෂූන් වහන්සේලා සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරටට පැමිණෙන බව විශේෂයෙන් සඳහන් කරනු කැමැත්ෙමි. එතුමන් වහන්සේලා ලෝකය වෙත නැවත ගෙන යන්නේ මේ පින්බිමේ සුරැකිව පවතින උතුම් ථෙරවාදී බුදු දහමේ මහත් වූ දැනුම් සම්භාරයයි. වර්තමානයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දෙස් විදෙස්හි ලබා ඇති ගෞරවය, කීර්තිය පිළිබඳව මම අතිශයින් පී‍්‍රතියට පත් වෙමි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය උදෙසා ලබා දිය යුතු සියලු පහසුකම් නොමදව ලබා දී ඇති බව ද මම මෙහිදී සඳහන් කරන්නෙමි. උත්තරීතර බෞද්ධ දර්ශනය ලොව පුරා පතුරුවා හරිමින් එනයින් ලෝකය තුළ රජ කරන අවිදු අඳුර දුරු කිරීමට හැකි මනා ශික්ෂණයකින් යුත් විද්‍යාර්ථීන් ලොවට බිහි කරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දින දින බැබළේවායි මම ප්‍රාර්ථනා කරමි.