Print this Article


පූජාච පූජනීයානං

වසර විසි පහකට පෙර අපවත් වී වදාළ මාපලගම සෝමිස්සර නා හිමි

ආගමික හා අධ්‍යාපනික වශයෙන් උදාර මෙහෙවරකට අනුග්‍රහය දැක්වීම ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේට පාරම්පරික වශයෙන් උරුම වූ වගකීමකි. ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය තුළින් මෙන්ම ධර්මානුකූල චර්යාව මගින් තමන් සුදුසු බවට පත්ව පරාර්ථය සඳහා තම කුශලතා උපයෝගී කිරීම තුළින් බොහෝ දෙනාගේ හිත සුව පිණිස උදාර සේවයක් සිදුකොට ඇති මාපලගම සෝමිස්සර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත් වී විසිපස් වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොහුවල ධාතුමළු විහාරාධිපති ශාස්ත්‍රපති පිටිගල සෝනුත්තර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දායක පිරිසද සම්බන්ධ කොටගෙන ගුණානුස්මරණ පින්කම් මාලාවක් සංවිධානය කොට තිබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරි තනතුරෙහි යෙදෙමින් උතුම් ශාසනික කාර්යයක උන්වහන්සේ යෙදී සිටින අතර තුර හදිසි අනතුරකින් අපවත් වීම සම්බුද්ධ ශාසනයටත් භික්ෂු අධ්‍යාපන ක්ෂේත්‍රයටත් සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවක් විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම තම ජන්ම භූමිය කර ගනිමින් 1923 අපේ‍්‍රල් මස 05 වන දින ජන්ම ලාභය ලැබූ කුල කුමරුවෙක් මාපලගම මහා විද්‍යාලයෙහි අධ්‍යාපනය ලබමින් සිටියදී වයස එකොළොස් වැන්නේ දී මාපලගම විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම සිරි සුනන්දාසභ නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බව ලැබීය. එසේ සසුන්ගත වූයේ මාපලගම සෝමිස්සර හිමිය. ගුරුදේවයන් වහන්සේ ඇසුරෙහි සාමණේර බණදහම් හා ධර්මානුධර්ම ප්‍රතිපත්තීන්හි පුහුණුව ලැබූ සෝමිස්සර සාමණේරයන්ට ශාසනික අධ්‍යාපනයෙහි ගුරු කුලය වූයේ කොළඹ වැල්ලවත්ත ශී‍්‍ර ධර්මෝදය පිරිවෙනයි. එහිදී භාෂාත්‍රය හා ත්‍රිපිටක ධර්මය පිළිබඳ ප්‍රවීණත්වයක් ලැබු උන්වහන්සේට රාජකීය පඬිවරයෙකු බවට පත්වීමට රස්නකවැවේ සිරි සද්ධම්මවංස අනුනා හිමියන්ගේ මෙන්ම අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශාස්ත්‍රීය ඇසුර බෙහෙවින් ඉවහල් විය.

මාපලගම සෝමිස්සර ස්වාමින් වහන්සේ ධර්මවිනය හා ශබ්දශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණත්වය ලබා අවශ්‍ය ශාසනික යෝග්‍යතා සපුරා සුපරිශුද්ධෝපසම්පත්තියට පත්වූවාහු 1946 දීය. ඒ ගාල්ල මහමෝදර ගිං ගඟ උදකුක්ඛේප සීමාමාලකයේදීය. අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගත් උන්වහන්සේ අධ්‍යයනයෙහි දී අවශ්‍ය සුදුසුකම් සාධනය කරගත් යතිවරයාණ කෙනෙකි. සාමාන්‍ය හා විශේෂවේදි යන අධ්‍යාපන ක්ෂේත්‍ර දෙකෙහිම ප්‍රවීණත්වයට පත් උන්වහන්සේ තමන් ලද දැනුමින් ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසකගේ ගුණ නැණ වර්ධනයෙහි ලා අනුග්‍රහයක් දැක්වීමට සමත් වූ ආචාර්යවරයාණ කෙනෙකි. ගිහි පැවිදි ශිෂ්‍ය පිරිස වෙනුවෙන් මාහැඟි අධ්‍යාපන සේවයක නිරතවීමට උන්වහන්සේ සමත් වූයේ තම අධ්‍යාපනය මුදුන් පමුණුවා ගත් පරිවේණස්ථානයෙහිම ආචාර්ය පදවියක් ලැබීමෙනි. එවකට ගිහි පැවිදි අධ්‍යාපනයෙහි ප්‍රමුඛස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ මරදාන ශී‍්‍ර ලංකා විද්‍යාල මහ පිරිවෙණට ආචාර්යවරයෙක් වශයෙන් බැඳී ක්‍රියා කළහ. 1963.09.03 දින සිට 1979.12.31 දින විශ්‍රාම දිවියට පත් වන තෙක්ම එම පිරිවෙණෙහි පරිවෙනාචාර්යවරයෙකු වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට විශිෂ්ඨ සේවාවක් සිදු කළහ.

කොහුවල ධාතුමළු විහාරස්ථානයේ විහාරාධිපති පදවියට 1969 වර්ෂයේදී පත්ව විහාරස්ථානය සියලු අංගවලින් සම්පූර්ණ කිරීමට උන්වහන්සේට හැකි විය.

එමෙන්ම බෞද්ධ දූ දරුවන්ගේ ධර්ම ඥානය වර්ධනය හා සිරිත් විරිත් පිළිබඳ පුහුණුවක් ලබා දීමේ අරමුණ ඇතිව දේවානන්ද ධර්ම විද්‍යාලය ආරම්භ කොට දියුණුවට පත් කළහ. දෙහිවල ශාසනාරක්ෂක බල මණ්ඩලය තුළ ගුණාත්මක බවින් හා ප්‍රමාණාත්මක අතින් ප්‍රධානම දහම් පාසල බවට තම දහම්පාසල සංවර්ධනය කිරීමට උන්වහන්සේ සමත් වූහ. වස්කාලය මුළුල්ලේ පැවැත්වෙන ධර්ම දේශනා මාලාවද උන්වහන්සේගේ අදහසක ප්‍රතිඵලයකි. දශක හතරකට ආසන්න කාලයක් එක් වසරකට ධර්ම දේශනා සියයකට ආසන්න ප්‍රමාණයක් විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේ ලවා සිදු කරවීමද එම විහාරස්ථානයේ ඇති විශේෂතාවයකි.

සොමිස්සර නාහිමිපාණන් වහන්සේ පොත් පත් රාශියක් සම්පාදනය කරන්නට යෙදුනි. ඒ අතර ත්‍රිපිටකයට අදාළව ලියවී ඇති පොත් පෙල වියතුන්ගේ සම්භාවනාවට වර්තමානයේ ද පාත්‍රවීම උන්වහන්සේ සතු ගත් කරණයේ දක්ෂතාවය කදිමට කියාපන්නකි. බෞද්ධ ධර්ම සංග්‍රහය, අගාරික ප්‍රතිපදාව, අනගාරික ප්‍රතිපදාව, බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය, සුත්‍ර ධර්ම හා ශාසන ඉතිහාසය, බෞද්ධ ධර්ම මාර්ගය, පොහොය වර්ණනාව, සිදත් සඟරා විමසුම ආදිය ඒ අතර ප්‍රධානය. මෙරට පැවැත්වෙන ප්‍රධාන විභාගයන්හි බුද්ධ ධර්මය විෂය සඳහා නිර්දිෂ්ට ග්‍රන්ථ ලෙස උන්වහන්සේ විසින් රචිත පොතපත නිර්දේශ වීමෙන් මෙරට ශිෂ්‍ය ප්‍රජාව තුළ ප්‍රසිද්ධියට පත් ගත් කතුවරයෙකු බවට පත් වීමට උන්වහන්සේට හැකිවිය.

මාපලගම සෝමිස්සර නාහිමියන් සමාජය තුළ කීර්තියට පත්වීමට තවත් හේතු කාරණා රාශියක් ඉවහල් විය. ඒ අතර රජයට සම්බන්ධ ආයතන රාශියක ගරු තනතුරු හෙබවීම ප්‍රධානය. බුද්ධශාසන උත්තරීතර මණ්ඩලයේ ගරු සාමාජිකත්වය, ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපදේශක මණ්ඩලයේ සාමාජික ධුරය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ග්‍රන්ථ සමීක්ෂණ මණ්ඩලයේ සාමාජික ධුරය, ශී‍්‍ර ලංකා පුස්තකාල සේවා මණ්ඩලයේ සාමාජික ධූරය ආදිය ඉන් කිහිපයකි.

පූර්වෝක්ත සුදුසුකම් වටහා ගත් ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායද උන්වහන්සේ වෙත කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ ලේකම් ධුරය පිරිනැමීය. ඉන් නොනැවතී පාලක කාරක සංඝ සභාවලටද පත් කෙරිණි.

මාපලගම සෝමිස්සර නාහිමිපාණන් වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයෙකු ලෙසද කාගේත් ගෞරවාදරයට පාත්‍ර වී සිටියහ. ඒ නිසාම උන්වහන්සේගේ ධර්ම දේශනාවන් නිරන්තරයෙන් ගුවන්විදුලියෙහි ප්‍රචාරය විය. එපමණක් නොව ධම්මචින්තා, දහම්විද්‍යාලය වැනි වැඩසටහන්ද ඒ අතර විය. කොහුවල ධාතුමළු විහාරය සකලාංගයන්ගෙන් සම්පූර්ණ කළා පමණක් නොව විහාරස්ථානයෙහි මතු පැවැත්ම උදෙසා සමත් දක්ෂ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා කිහිප නමක්ද ශාසනයට දායාද කළහ. වර්තමාන ධාතුමළු විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුවිජ්ජක ශාස්‍්‍රපති පිටිගල සෝනුත්තර ස්ථවිරයන් වහන්සේ උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේය.


ගල්කිරියාගම සිරිසුමන රේවත සෝරත නා හිමි

අනුරාධපුර නුවරගම් පළාතේ ප්‍රධාන සංඝ නායක ගල්කිරියාගම සිරිසුමන රේවත සෝරත නා හිමිපාණන් වහන්සේගේ තෙමස්පූර්ණ පුණ්‍ය මහෝත්සවය අනුරාධපුර අටමස්ථානාධිපති , උතුරු මධ්‍යම දිසාවේ, ප්‍රධාන සංඝ නායක, ආචාර්ය පල්ලේගම සිරි නිවාස නාහිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි, නුවර කළාවියේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මැයි මස 13,14 යන දෙදින තුළ අනුරාධපුර ථූපාරාම චෛත්‍යාරාමයේදී සිදු කෙරිණි. එම තෙමස්පූර්ණ පුණ්‍ය මහෝත්සවය සංවිධානය කරන ලද්දේ අභිනව ථූපාරමාධිකාරි ශාස්ත්‍රපති කහල්ලේ ඤාණින්ද හිමියන් ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව විසිනි.

ගල්කිරියාගම සෝරත නාහිමිපාණන් වහන්සේ අවුරුදු 101 ක් ආයු වළදා 2017.02.13 වැනි දින අපවත් වූ සේක.

උඳුරුව කෝරළේ ගල්කිරියාගම ග්‍රාමයේ විසූ ඒකනායක මුදියන්සේලාගේ පුංචි අප්පුහාමි සහ ඒකනායක මුදියන්සේලාගේ කිරිමැණිකා දම්පතීන්ට දාව උපන් දරුවන්ගෙන් අටවැන්නා වූයේ සෝරත නා හිමියන් වහන්සේය. 1917 අපේ‍්‍රල් මස 14 වැනි දින උපත ලැබූ උන්වහන්සේ ගිහි කල ගල්කිරියාගම විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූහ.

ඒකනායක කුමරුවාට පැවිදිවීමේ ආශාව ඇතිවූයේ කුඩා කල සිටමය. වයස 11 දී පමණ විජිතපුර රජමහා විහාරයට ගොස් එවක එහි වැඩ සිටි උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝ නායක උඳුරුව ශී‍්‍ර සුමන නාහිමියන්ගේ ඇසුරට පත් ඒකනායක කුමරුවා වයස 12 දී ගල්කිරියාගම සෝරත නමින් සසුන්ගත වූහ. 1929 වසරේදීය.

1931 තම ගුරුදේවයන් අපවත්වූයෙන් සෝරත පොඩි හාමුදුරුවන් අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍යරාමයට වැඩමකළේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා යම් කැපකිරීමක් සිදු කිරීමේ අටියෙනි. එවක රුවන්වැලි මහා චෛත්‍යරාමයේ වැඩ සිටියේ අපවත්වී වදාළ නුවරගම් පළාතේ ප්‍රධාන සංඝ නායක ධුරය ඉසුලූ උඳුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත නාහිමියන්ය. උන්වහන්සේගේ අනුශාසනා සෝරත නාහිමියන් අපවත් වනතෙක්ම කෘතඥතාවයෙන් සිහිපත් කළේය.

අනුරාධපුර මහාවිහාර පිරිවෙනට ඇතුළත් වී ධර්මඥානය ප්‍රගුණ කළ සෝරත හිමියෝ 1938 මල්වතු මහා විහාරස්ථ උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූහ. උපසම්පදාව ලැබීමෙන් පසුවත් සෝරත හිමියන් වැඩවාසය කළේ රුවන්වැලි මහා සෑරදුන් සෙවනේය. 1942 අනුරාධපුර ජේතවනාරාමයට වැඩම කළ සෝරත හිමියෝ එදා වනගතව තිබූ ජේතවනය යළි කලඑළි කිරීමේ දැවැන්ත මෙහෙවරේ පුරෝගාමී වූහ.

උන්වහන්සේ ථූපාරාමයට වැඩම කළේ 1972 වසරේදීය. ථූපාරාම චෛත්‍යරජාණන් වහන්සේ වර්තමාන තත්ත්වයට ගෙනඒම සඳහා මහත් කැපකිරීමක් සිදු කළ ගල්කිරියාගම සිරිසුමන රේවත සෝරත හිමියන්ට අනුරාධපුර නුවරගම් පළාතේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනමන ලද්දේ 1980 දීය.

අනුරාධපුර ථූපාරාමාධිපතිව වැඩ වාසය කළ අපවත්වී වදාළ නුවරගම පළාතේ ප්‍රධාන සංඝ නායක ගල්කිරියාගම සිරි සුමන රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව අත්වේවා.