Print this Article


බුදු දහමට වැඩි අවධානයක්...

බුදු දහමට වැඩි අවධානයක්...

එක් එක් රටවලට ආවේණික වූ අනෙකුත් දිනයන්හි උත්සව පැවතුණත් වෙසක් දිනය ලොව සියලු බෞද්ධ රටවල ජනතාවට ඉමහත් වශයෙන් වැදගත් වනවා.

උදාහරණයක් වශයෙන් වෙසක් පොහෝ දිනය මෙන්ම පොසොන් පොහොය දිනයද ලක්වාසීන්ට අතිශයින් වැදගත් වුවත් සෙසු බෞද්ධ රටවලට පොසොන් පොහෝ දිනය ආගමික වශයෙන් හෝ එම රටවලට අනන්‍ය වූ සිදුවීම් උදෙසා හෝ වැදගත් වන්නේ නැහැ. මිහිඳු මාහිමියන් විසින් ලක්දිවට බුදුදහමේ පණිවුඩය ගෙන ආ නිසා පොසොන් පොහොය අපට වැදගත් වුවත් අනෙක් රටවලට එය තවත් බෞද්ධ සලකුණක දිනයක් පමණයි. එසේම සෝණ, උත්තර දෙනම බුරුමයට බුදු දහම ගෙන ආ දිනය ගැන අප අවධානයක් යොමු කරන්නේ නැහැ. එසේ වුවත් වෙසක් පුන් පොහෝ දිනය මේ සියලු රටවලට අතිශය වශයෙන් වැදගත් කොට සලකනු ලබන්නේ බුදුරජාණන් හන්සේගේ ඉපදීම, බුදුවිම, මෙන්ම පිරිනිවන යන අවස්ථා තුනම සිදුවූ පුන් පොහොය දිනය වන බැවින් බව අමුතුවෙන් පෙන්වා දීමට අවශ්‍ය වන්නේ නැහැ.එසේ වුවත් මෑත ඉතිහාසය දක්වාම බෞද්ධ රටවල් විසින් පමණක් වෙසක් පුන් පොහෝ දිනය අති උතුම් ලෙස සලකා සැමරුවත් ලෝකයේ අනෙක් රටවලට එම දිනය නිවාඩු දිනයක් වශයෙන් හෝ වැදගත් බවක් ඉසිලුවේ නැහැ. අභාවප්‍රාප්ත විදේශ ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඇමැතිවරයා විසින් වෙසක් පුන් පොහෝ දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් බවට පත් කර ගත්තේ ඉමහත් වෙහෙසක් දරමින්. ඒ එක්සත් ජාතීන්ගේ අනුමැතියත් අවධානයත් ඒ සඳහා යොමු කරවා ගනිමින්. ඒ 1999 වසරේදී. එතැන් පටන් ලොව වැදගත් ආගමික දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ නම් කිරීම යටතේ ලොව බෞද්ධ රටවල අන්තර්ජාතික වෙසක් උලෙළ පැවැත්විය යුතු බවට යෝජනා ස්ථිර වුණා. ශ්‍රී ලංකාවේ මේ උත්සවය පැවැත්වූයේ පළමු වරට වීම නිසා එය දේශීය වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන්ද විශාල ගෞරවයට පත් වන්නක් බව පෙන්වා දිය යුතු වනවා. මේ අවස්ථාව අපට උදා කර ගන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දරන ලද උත්සාහයත් අප මේ අවස්ථාවේදි අගය කළ යුතු වනවා. මේ අවස්ථාව අපට ලැබෙන්නට තිබුණේ මීට බොහෝ කලකට පෙරයි. අපට බුදු දහම ලබා දුන් අසල්වැසි ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයාත් බුදු රජාණන් වහන්සේ (සිදුහත් කුමරු) උපත ලද ලුම්බිණිය පිහිටි නේපාලයේ ජනාධිපතිනියත් ශ්‍රී ලංකාවේ පැවැති මෙවන් ආගමික උත්සවයකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව ලෙසින් මෙය ඉතිහාස ගත වනවා.

ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින එමෙන්ම විදේශාධාර මත යැපෙන රටක්. මෙවන් රටකට සුනාමි ව්‍යසන අවස්ථාවලදී, ගංවතුර අවස්ථාවලදි ආදී විපත් මෙන්ම වෙනත් අවශ්‍ය අවස්ථාවලදී විදේශාධාර ලැබුණා. එවන් සහන මත අපේ රට සැම විටම යැපී පවතින බව රහසක් නෙමෙයි. එවන් රටකින් විදේශ රටවලට ලබා දීමට හැකි යමක් තිබේද? ඉඳ හිට යම් හදිසි අවස්ථාවකදී ලබා දෙන තේ කොළ වැනි ද්‍රව්‍යයක් මිස වෙනත් කළ හැක්කක් අපට නැහැ. එහෙත් විදේශීය රටවල් විසින් අපට මුදලින් ලබා ගත හැකිදේ දායාද කළත් අප විසින් මුදලින් ලබා ගත නොහැකි ඉතා වටිනා යමක් විදේශීය රටවලට දායාද කර තිබෙනවා. එහෙත් මුදලින් ලබා දිය නොහැකි භාණ්ඩයක් ලෙස හැඳීන්විය හැකි ගුණධර්ම ලොවට හඬ ගා කියන්නට අපට හැකියාව ලැබුණේ අනගාරික ධර්මපාල තුමා නිසා බව බොහෝ දෙනා නොදන්නවා විය හැකියි. ඇත්තෙන්ම නොදන්නවාට වඩා ඒ ගැන අවධානයක් නැහැ. 12 වන සියවසේදී ඉන්දියාවෙන් පවා බුදු දහම අතුරුදන් වුණා. ලෝකයේ රටවල බුදු දහම සොයා ගැනීම දුෂ්කර වුණා. එසේ වුවත් පසු කලෙක අනගාරික ධර්මපාල තුමා විසින් බුදු දහමට නව ජීවයක් ලබා දුන්නා. එසේ නොවන්නට අපට අද වන විට මේ ආකාරයෙන් ලෝකය හමුවට බුදු දහමේ ආභාසය ගත් ගුණ ධර්ම පතුරුවන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. එසේ වූවා නම් අප විසින් නොමිලයේ විදේශීය රටවලට ලබා දුන් මේ දායාදය ලබා දෙන්නට හැකි වන්නේ නැහැ. එපමණක් නොවෙයි අප විසින් අවබෝධ කර ගත යුතු තවත් විශේෂ කරුණක්ද තිබෙනවා. එනම් ධර්මාශෝක රජතුමා ආසියාව පුරා ධර්මය ප්‍රචාරය කළාක් මෙන් යුරෝපය ඇමරිකාව වැනි රටවල බුදු දහම ප්‍රචාරය කෙළේ අනගාරික ධර්මපාලතුමා විසින්. එතුමා නොවන්නට බටහිර ජාතීන් බුදු දහම ගැන මේ වන විටත් නොදැන සිටින්නට ඉඩ තිබුණා. එමෙන්ම අදත් ඉන්දියාවේ සිටින සුළුතර බෞද්ධ පිරිස පවා ස්ථාපිත වුණේ අනගාරික ධර්මපාලතුමා විසින් ඇති කරන ලද බෞද්ධ ප්‍ර බෝධය නිසයි.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල් විසින් අවබෝධ කරගෙන අවසන් අප විසින් මේ ගුණධර්ම දායාදය ඔවුන්ට ලබා දී ඇති බවට. ඔවුන් විසින් මුදලින් ලබා දෙන ආහාර පාන උපකරණවටල වඩා වටිනාකමක් ඒ ගුණධර්ම වලට ඇති බවත් ලෝක නායකයින් මෙන්ම ලෝක ජනතාව විසින්ද තේරුම් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ඇත්තෙන්ම ලෝකයේ දියුණු රටවලට පවා ආදර්ශ ලබා දුන් රටක්. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ ජපානය විසින් ආරම්භ කරන ලද යුද්ධයෙන් පරාජය වීමෙන් පසු ජපානයට දඬුවම් කිරීමට එක්සත් ජාතීන් විසින් මහා මණ්ඩලය කැඳ වූ අවස්ථාවේදී අභාවප්‍රාප්ත මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් එම මණ්ඩලය අමතා ‘නහී වේරේන වේරාණී....‘ යනුවෙන් වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන්ම මේ ගැටලුව විසඳා ජපානයට සමාව දිය යුතු බවත් පැවසුවා. ඒ බුදු දහම මඟින් ලබා දුන් ඉහළම ආදර්ශයක්. ඒ ආදර්ශය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රකාශය නිසා ලොව අනෙකුත් දියුණු රටවල් ජපානයට එරෙහිව පියවර ගන්නට ඉදිරිපත් වුණේ නැහැ. මේ ආදර්ශය බුදු දහම නිසා ලබා දුන්නක්. වර්තමානයේ ලංකාවේ බුදු දහම සඳහා දක්වන දායකත්වය මෙන්ම බුදු දහම හා සම්බන්ධ ක්‍රියාකාරකම් වත් පිළිවෙත් ඉහළ මට්ටමකට පත්ව තිබෙනවා. මෙරට වයෝවෘද්ධ වයස අවුරුදු 60ක් 70ක් පමණ වූ භික්ෂූන් වහන්සේ විසින් විහාරස්ථාන පින්කම් වත් පිළිවෙත් මේ වන විට එම කටයුතු සිදු කරනු ලබන්නේ තරුණ භික්ෂූන් වහන්සේ විසින්. මේ තත්ත්වයත් ලෝකවාසී ජනතාවට පෙනෙනවා. එසේම තරුණ තරුණියන්ද මේ වන විට බුදු දහම කෙරෙහි වැඩි වශයෙන් අවධානයක් යොමු කර තිබෙන බව පැහැදිලියි. මේ තත්ත්වයත් ලෝකවාසී සියලු දෙනාට දැක ගන්නට පුළුවන්. එම නිසා ඔවුන් විසින්ද බුදු දහමේ භාවනාව මෛත්‍රිය වැනි ගුණාංග කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මේ නිසා විදේශීය ජාතීන් රැසක්ම මේ වන විට මෙරටට පැමිණ භාවනා කිරීම් සඳහා යොමුව තිබෙනවා. ලෝක සිතියමේ පුංචි තිතක් තරම් රටක් ලෝකවාසීන් ලබා දුන් ආදර්ශ අදත් බොහෝ රටවල් ආදර්ශයට ගන්නා බව අපට පැහැදිලියි. එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම යන්න වෙසක් උත්සවයෙන් අවසන් නොකළ යුත්තක්. බොදු ගුණාංග ඉස්මතු වන සේ කටයුතු කරමින් ලෝකයාට ආදර්ශයක් වන සේ කටයුතු කරමින් බුදු දහමින් අප ලැබූ පන්නරය සෙසු රටවලට ලබා දීමට කටයුතු කළහොත් එය වඩාත් අර්ථවත් වනු නොඅනුමානයි.