Print this Article


හොඳ දෙය, හොඳ ලෙස අගයමු

හොඳ දෙය, හොඳ ලෙස අගයමු

යම් කෙනෙකුගේ හොඳ ගැන සිතන මොහොතක් පාසා හොඳ වෙන්නේ අපේ සිතමයි. ඒ වගේම නරක ක්‍රියාවක්, නරක ගුණයක් ගැන හිතන වාරයක් පාසා නරක් වන්නේ ද අපේ සිතමයි. සාමාන්‍යයෙන් අන් අයගේ හොඳ අහන්නට, කියන්නට බොහෝ දෙනෙක් අකැමැතියි. තවත් කෙනෙක් වර්ණනා කරනවා නම් අහගෙන ඉන්නේද ඉතා අපහසුවෙන්. තවත් කෙනෙකුගේ හොඳ අහනවා නම් තමන්තුළ මුදිතා ගුණය ඇතිවෙනවා. අන් අයගේ ගුණ අසා මුදිතාවට පත්වෙනවා වගේ ඒ අයගේ ගුණ තමන්ගේ ජීවිතයට ද ආරෝපණය කරගත යුතු වෙනවා.

ජීවමාන බුදුරදුන් දවස චූළ ගෝසිංග නම් සල් වනයක් තිබුණා. අනුරුද්ධ, නන්දිය කිම්බිල කියන මහ රහතන් වහන්සේ එහි වැඩ සිටියා. දිනක් බුදුරජාණන් වහන්සේ චූලගෝසිංග වනයට වැඩම කළා. අර ස්වාමීන් වහන්සේලාගේ දුක සැප සොයා බලන්නට, බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාගෙන් සැප සනීප විමසා සිටියා. එකිනෙකාට මෛත්‍රියෙන් යුතුව, මෛත්‍රී සහගත කයින්, වචනයෙන්, සිතින් වැඩ වෙසෙන බවට උන්වහන්සේ පිළිතුරු දුන්නා. ඒ කෙසේද කියනවා නම්, ඔවුනොවුන් ඉදිරියෙන් සිටින වේලාවේදී ද, නොසිටින වේලාවේ දී ද මෛත්‍රී සිතින් සිටිනවා යැයි ප්‍රකාශ කළා.

පින්වතුනි, අද බොහෝ විට දකින්නට ලැබෙන්නේ තමන් ඉදිරිපිට දී, සමීපයේ දී කරන වර්ණනාවන්, නැති වූ විගස කරන විවේචනයන්. ඒත් මේ හාමුදුරුවන් වහන්සේ ඇතත්, නැතත් ඔවුනොවුන් වහන්සේගේ ගුණයන් මෛත්‍රී සිතින් යුතුව වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ නැවත මෙසේ විමසුවා. “ඔබ වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිත අලවාගෙන සිටිනවා ද?”

“එහෙමයි බුදුරජාණන් වහන්ස. අපි විමුක්තියට සිත අලවාගෙන සිටිනවා. සීල, සමාධි, ප්‍රඥා නුවණින් ප්‍රත්‍යක්ෂ කොට, මෙනෙහි කර එහි සුව විඳිමින් සිටිනවා.” නැවත බුදුරජාණන් වහන්සේ විමසනවා. “කෙසේද, අප්‍රමාදීව කටයුතු කරන විට කාලය කළමණාකරණය කර ගන්නේ,?” කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේට කියනවා.

“සමහර වෙලාවට අපි තුන් නමම එකට පිණ්ඩපාතයේ වඩිනවා. සමහර වෙලාවට එක හාමුදුරු නමක් කලින් පිණ්ඩපාතයේ වඩිනවා. එසේ කලින් පිණ්ඩපාතයේ වඩින හාමුදුරුවෝ කලින්ම සල් වනයට වැඩම කරලා අනිත් දෙනමට දානය වළඳන්නට පැන් හා ආසන පනවා තිබෙනවා.” බුදුරජාණන් වහන්සේ නැවත විමසනවා, “ඔබ වහන්සේලා යම් කිසි උත්තරීතර මනුස්ස ධර්මයකින් යුතු වෙනවාද? සාමාන්‍ය මිනිසෙකුට වැඩිය උසස් තත්ත්වයකින් ඉන්නවාද?” කියලා. “බුදුරජාණන් වහන්ස, අප සියලු කෙලෙසුන් ප්‍රහීණ කරලා තියෙන්නෙ, ඒ නිසා අපට විමුක්තිය විෂයෙහි නැවත නැවතත් කළ යුතු දෙයක් නෑ.” උන්වහන්සේලා තමන්ගේ අර්හත් ප්‍රතිවේදය පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ මෙම ස්වාමීන් වහන්සේලා තුන් නමට ආශිර්වාද කර එතැනින් වැඩම කළා.

පසුව අනෙක් හාමුදුරුවරු දෙදෙනා, නන්දිය හා කිම්බිල කියන හාමුදුරුවෝ අනුරුද්ධ හාමුදුරුවන් වහන්සේගෙන් අහනවා,

“අප දෙදෙනා උතුම් මහරහත් තත්ත්වයට පත්වුණා යැයි ඔබවහන්සේ දැන ගත්තේ කෙසේද?” කියලා. අනුරුද්ධ හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා,

චේතෝපරිය ඥානයෙන් අනුන්ගේ සිත් පිරිසිඳ ගැනීමේ නුවණින් එය දැනගත් බව. “ඒ විතරක් නෙවෙයි. ඔබ වහන්සේගේ ගුණයන් පිළිබඳව සම්‍යක් දෘෂ්ඨික දෙවියන් පවා මට කියා තිබෙනවා” යි අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා.

මේ කතාව අන්තර්ගත වන්නේ චූළගෝසිංග සූත්‍රයේ, චූළ කියන්නේ පුංචි කියන අර්ථය ‘ගෝ’ කියන්නේ ගවයායි’ ‘සිංග‘ කියන්නේ අඟ කියන අර්ථයයි. චූළගෝසිංහ නමින් එකල සල් උයනක් තිබුණා. එහි දේශනා කරන ලද සූත්‍රයක් නිසා මේ නම එම සූත්‍රයට යොදාගෙන තිබෙනවා. එය දේශනා කරන්නට යෙදුනේ ‘තර්ජන’ කියන යක්ෂයාටයි.

මෙසේ අනුරුද්ධ, නන්දිය, කිම්බිල මහරහතන් වහන්සේගේ ගුණ දැනගත් දීඝ නමැති යක්ෂ ග්‍රෝත්‍රයට අයත්, තර්ජන නම් යක්ෂයා බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට මෙලෙස කියනවා.

“අනේ බුදුරජාණන් වහන්ස, මේ හාමුදුරුවන් තුන්නම වගේ සිල්වත්, ගුණවත්, ප්‍රඥාවන්ත, ස්වාමීන් වහන්සේ තුන්නමක් වැඩ සිටීම මෙම වජ්ජි ජනපදයටත් මහා ආශිර්වාදයක්.”

මේ කතාව අසාගෙන සිටි භූමාටු දෙවියන් සාධු කාර දුන්නා. ඒ සාධු නාදය අසා සදෙව් ලෝකයේ දෙවියන් මහත් සතුටින්, අනුපිළිවෙලින් සාධු නද දෙන්නට පටන් ගත්තා. ඒ සාධු නාදය බ්‍රහ්ම ලෝකය දක්වා විසිරී, පැතිරී ගියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙම යක්ෂයාට පැහැදිලි කර දුන්නේ සිල්වත් ගුණවත් ප්‍රඥාවන්ත ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් යම් කුලයක, පරම්පරාවක, පවුලක, ගමක උපදිනවාද ඒ සියල්ලම බබළනා බවයි. පින්වත් ඔබත් මේ ලැබූ දුර්ලභ මිනිස් බවින් ඔබටත්, රටටත්, සමාජයටත් වැඩදායි මිනිසකු ලෙස ජීවිතය සකස් කර ගන්න.