Print this Article


සන්සුන් සිතකට ...

සන්සුන් සිතකට ...

සෝණ හාමුදුරුවෝ ඉතා සියුමැලි , මුදු මොළොක් ස්වභාවයෙන් යුක්ත ජීවිතයක් ගත කළ හාමුදුරු කෙනෙක්. එක් කලෙක සීත වනයට වැඩම කළ උන්වහන්සේ ‘සක්මන් භාවනාව’ පුරුදු පුහුණු කළා. සක්මන් භාවනාව කියන්නේ ඇවිදින විට සිහිය පිහිටුවා ගැනීමයි.

දිගින් දිගටම භාවනාවේ යෙදුණත් සෝණ හාමුදුරුවන්ට කිසිම මාර්ගඵලයකට පත්වෙන්නට හැකි වුණේ නෑ. චිත්ත සමාධියක් ඇති වුණෙත් නෑ. එහෙත් උත්සාහය අත් නොහළ උන්වහන්සේ මොනතරම් සක්මන් භාවනාවේ යෙදුනාද කියනවා නම් දෙපා පැළී ලේ ගලන්නට පටන් ගත්තා. දෙපයින් සක්මන් කිරීම නවතා දණගාමින් සක්මන් කරන්නට පටන් ගත්තා. දෙදණත් පැළී රුධිරය ගලා ගියා. මේ විදිහට මොන තරම් උත්සාහ කළත් සෝණ හාමුදුරුවන්ට තමන්ගේ අරමුණට ළඟා වෙන්නට හැකි වුණේ නෑ.

‘මම මොනතරම් උට්ඨාන වීර්යයෙන් වැඩ කළත් බලාපොරාත්තු ඉටු කරන්නට බැරි වුණා.’එසේ සිතමින් සෝණ හාමුදුරුවන් සිවුරු හැර නැවත ගිහිගෙදරට යන්නට කල්පනා කළා. මේ අවස්ථාවේ රජගහ නුවර ගිජු කුළු පව්වේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පරචිත්ත විජානන ඥානයෙන් සෝණ හාමුදුරුවන්ගේ අදහස දැන ඉතා වේගයෙන් සීත වනයට වැඩම කළා.

“හැබෑද සෝණ, ඔබට මෙවැනි සිතක් පහළ වුණා නේද?”

බුදු හිමියන් විසින් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.සෝණ හිමියෝ බොහොම අවංකයි. බොරු කියන්නේ නෑ. ඒ නිසා පැකිළීමක් නැතිව “එහෙමයි බුදුරජාණන් වහන්ස” යනුවෙන් පිළිතුරු දුන්නා.

බුදුහිමියන් සෝණ හාමුදුරුවන්ගේ අධික උත්සාහය ලස්සන උපමාවකින් පැහැදිලි කර දුන්නා.

සෝණ හාමුදුරුවෝ ගිහි කල දක්ෂ වීණා වාදකයෙක්. එම නිසා බුදුරජාණන් වහන්සේ අහනවා, “සෝණ වීණාවේ තිබෙන තත් අධික ලෙස තද කර වාදනය කළොත් වීණාවෙන් ලැබෙන්නේ කුමන නාදයක්ද?”

“බුදුරජාණන් වහන්ස, එලෙස වීණා වාදනය කළොත් එහි තත් කැඩී යා හැකියි. මිහිරි නාදයක්ද ලැබිය නොහැකියි.”

“එසේ නම් සෝණ, වීණාවේ තත් බුරුල් ලෙස වාදනය කළේ නම් එයින් ලැබෙන්නේ කුමන නාදයක් ද?”

“භාග්‍යවතුන් වහන්ස, එය බොල් හඬකි.”

“එසේ නම් සෝණ, වීණාවේ නියම නාදය ලබා ගැනීමට කුමක් කළ යුතු වන්නේ ද?

“වීණාවේ තත් අධික ලෙස තද නොකොට, අධික ලෙස බුරුල් නොකොට වාදනය කළ යුතු වෙනවා”. “ ඒ වගේ තමයි සෝණ, පමණට වඩා අධික උත්සාහයෙන් , වීර්යයෙන් වැඩ කළොත් සිත නොසන්සුන් වෙනවා. එනම් "උද්දච්ච කුක්කුච්ච" ස්වභාවයට පත් වෙනවා. ඒ වගේම අධික කම්මැළිකමින්, කුසීතකමින් වැඩ කළොත් සිතේ "ථීනමිද්ධය" ඇතිවෙනවා. සිත විසිරෙනවා. එවිට විමුක්තිය ලබාගත හැකි වන්නේ නෑ.”

බුදු හාමුදුරුවන්ගේ අවවාදයෙන් පසු සෝණ හාමුදුරුවෝ ඉන්ද්‍රිය ධර්ම සම මට්ටමේ පිහිටුවාගෙන භාවනා කර උතුම් මහ රහත් තත්ත්වයට පත්වුණා. සෝණ හාමුදුරුවෝ තමන්ගේ අරහත් ප්‍රතිවේදය බුදුරජාණන් වහන්සේට මෙසේ පැහැදිලි කළා.

“තථාගතයන් වහන්ස! නැවත ඉපදීම නැති කළෙමි. මැදුම් පිළිවෙත නිම කළෙමි. නිවන විෂයෙහි කළ යුතු කිසිවක් නොමැත.”

මේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ සෝණ සූත්‍රයේ එන සෝණ හාමුදුරුවන්ගේ කතාවයි.

රහතන් වහන්සේ නමකගේ සිත හරියට මහා කළු ගල් පර්වතයක් වගේ. සැඩ සුළගකටවත් සෙළවිය නොහැකියි. ඒ වගේ ඉන්ද්‍රියන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු මගින් උන්වහන්සේගේ සිත සොළවන්නට නොහැකියි. උන්වහන්සේ කැමැති අරමුණුවල ඇළෙන්නේ නෑ. අකැමැති අරමුණුවල ගැටෙන්නේ නෑ. උන්වහන්සේගේ සිත ස්ථාවරයි. අරමුණුවල නොඇළෙන නිසාත්, නොගැටෙන නිසාත්, උන්වහන්සේට කිසිම දුකක් ඇති වන්නේ නෑ. මේ ආත්මභාවයේ දීම නිවුණු උතුම් පුද්ගලයෙක් බවට පත්වෙනවා.