Print this Article


අසිරිමත් බුදු සිරුර

අසිරිමත් බුදු සිරුර

මෙම ලිපියෙහි කොටසක් වෙසක් පුර පසළොස්වක පෝදා (මැයි 10) පත්‍රයේ පළවිය.

15. සෘජු සිරුරක් ඇති බව .

බුදුරජාණන් වහන්සේගේ සිරුර සෘජුව පිහිටා තිබෙයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයාගේ ශරීරය පිටි පැත්තට නැමී හෝ ඉදිරියට නැමී පවතින ස්වභාවයක් දක්නට ලැබෙයි. තථාගත සිරුරෙහි එවැනි ස්වභාවයක් දක්නට නොලැබෙයි.

16. සත්තුස්ද ලකුණ ඇති බව

බුදුරජාණන් වහන්සේගේ සිරුරෙහි සත්තුස්සදෝ ලක්ෂණය දක්නට ලැබෙයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුගේ ශරීරයෙහි පිටි අත් දෙක පිටි දෙපතුල් උරහිස් දෙක යන ස්ථානාවල අස්ථි පෑදී ඇති බව දක්නට ලැබෙයි. තථාගත සිරුරෙහි එවැනි ස්වභාවයක් දක්නට නොලැබෙයි.

17. පිරුණු සිරුරක් ඇති බව

බුදුරජාණන් වහන්සේගේ සිරුර සිංහයාගේ ශරීරයෙහි ඉදිරිපස පෙනුම මෙන් පරිපූර්ණ ස්වභාවයක් පෙන්නුම් කරයි. සිංහයාගේ ශරීරයෙහි ඉදිරිපස පෙනුම සම්පුර්ණ වන අතර පිටිපස පෙනුම අසම්පූර්ණ ස්වභාවයක් පෙන්නුම් කරයි.

18. ච්න්තන්න රංසෝ

සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුගේ සිරුර පිහිටා තිබෙන ආකාරය දෙස බලන විට පිට මැදින් වල ගැසීමක්ද සහිතව පිට දෙපැත්තට බෙදී පවතී. බුදුරජාණන් වහන්සේගේ සිරුර පිට මසින් පිරී දෙකට නොබෙදී සමානව පිහිටා තිබෙන බව දක්නට ලැබෙයි.

19. නිග්‍රෝධ පරිමණ්ඩල සිරුරක් ඇති බව

බුදුරජාණන් වහන්සේගේ සිරුර නුග ගසකට සමාන කරයි. නුග ගස උසෙහි ප්‍රමාණයට පුළුල් වීම නුග ගසට අනන්‍ය ලක්ෂණයක් වෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයද එබඳු ආකරයක් පෙන්නුම් කරයි. බුදුරජාණන් වහන්සේගේ සිරුරේ උස යම් පමණ නම් බඹයක්ද, උස එපමණම වෙයි. සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ගේ සිරුරෙහි එවැනි ස්වභාවයකින් පිහිටන්නේ නැත.

20. ගෙල මනාව පිහිටා ඇති බව

බුදුරජාණන් වහන්සේගේ ගෙල රන්කළසක කරසේ වටවී පිහිටා ඇති බවක් පෙන්නුම් කරයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගේ් ගෙල දිගය. ඇතැම් විට වක් වී පිහිටයි. පුළුල්වී පිහටයි. කතාබහ කරන විට ගෙළෙහි නහර ඉස්මතු වෙයි. කටහඬ මිහිරිව ඇසෙන්නේ නැත. නමුත් තථාගතයන් වහන්සේගේ ගෙලෙහි විශේෂත්වයක් දැකිය හැකි වෙයි.

21. මනාරස රස නහර පිහිටා ඇති බව

බුදුරජාණන් වහන්සේගේ සිරුරෙහි රස නහර සියුම්ව පිහිටා තිබෙයි. තල ඇටයක් පමණ කුඩා ආහාරයක් ගනු ලැබුවත් ශරීරය පුරාම ගමන් කරන්නේ එම නිසයි. තථාගතයන් වහන්සේට කුඩා ආහාරයකින් පවා යැපීමට හැකි වන්නේ එම ලක්ෂණය නිසයි. සාමාන්‍ය පෘතග්ජන සිරුරක එවැනි ආකාරයෙන් රස නහර පිහිටන්නේ නැත.

22. හණුව මනාව පිහිටා ඇති බව

බුදුරජාණන් වහන්සේගේ උඩ යට හණු දෙකම සම්පූර්ණව පුරහඳ මෙන් පිරී පවතින බව දක්නට ලැබෙයි. සිංහයාගේ යටි හක්ක සම්පූර්ණ වුවත්,උඩු හක්ක අංගසම්පූර්ණ පෙනුමක් දක්නට නොලැබෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ එවැනි ස්වභාවයක් දක්නට නොලැබෙයි. එයද මහා පුරුෂ ලක්ෂණයකි.

23. දත් සතළිහක් ඇති බව

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි එක් හණුවක දත් විස්ස බැගින් හණු සම්පූර්ණවන ආකාරයෙන් දත් හතළිහක් පිහිටයි.සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගේ හණුවල දත් විසිඅටක් තිහක් වැනි ප්‍රමාණයක් පිහිටමින් අංගසම්පුර්ණ බවක් පෙන්නුම් නොකරයි.

24. දත්දෙපළ සමානව පිහිටා ඇති බව

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි දත් හතළිහක් සමානව පිහිටා තිබෙයි.සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ගේ කටෙහි දත් විවිධාකාරයෙන් අසමානව පිහිටයි.

25. දත් අතර විවර නැති බවයි.

බුදුරජාණන් වහන්සේගේ ශි‍්‍ර මුඛයෙහි දත් අතර විවර දක්නට නොලැබෙයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගේ දත් අතර විවර ස්වභාවයක් දක්නට ලැබෙයි.

26. සිරි දළදා මනාව පිහිටා ඇති බව

දාඨා යනුවෙන් හඳුන්වනු ලබන තොල් කෙළවර පිහිටා ඇති දන්තයන් හතරෙන් සියුම් කිරණක් විහිදෙයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවෙහිදීත් සිනහසෙන අවස්ථාවෙහිදීත් දක්නට ලැබෙන බව සඳහන් වෙයි. එය මහා පුරුෂ ලක්ෂණයකි.

27. දිග දිවක් ඇති බව

බුදුරජාණන් වහන්සේගේ දිව දිග්ව, පුළුල්ව , මෘදුව ,සමව,පිහිටි නිසාම මිහිරි හඬක් පවතියි. තථාගතයන් වහන්සේගේ දිවෙන් නාස්පුඩු මෙන්ම කන් සිදුරු පිරිමැදිය හැකි වෙයි. නමුත් සාමාන්‍ය පෘතග්ජනයන්ට දිව ගණව හෝ කුඩාව පිහිටා තිබීම නිසාම පිරිසුදු ලෙස වචන උච්චාරණය කළ නොහැකි වෙයි.

28. බ්‍රහ්මස්වර

බුදුරජාණන් වහන්සේගේ හඬ ඉමිහිරි රිද්ම ලක්ෂණ අටකින් සමන්විත වෙයි. තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන අවස්ථාවෙහි එම ලක්ෂණය හඬෙහි දක්නට ලැබෙයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකු කතා කරන හඬෙහි ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් බුදුරජාණන් වහන්සේගේ හඬෙහි දක්නට ලැබෙයි.

29. මනාව පිහිටි ඇස් ඇති බව

බුදුරජාණන් වහන්සේගේ නෙත් සුවිශේෂී පෙනුමකින් යුක්ත වන නිසාම බැලු පුද්ගලයෙකුට නැවත හැරී බැලීමට සිතෙන ආකාරයට සිත්ගන්නා සුළුවෙයි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ නෙත්වල එබඳු ස්වභාවයක් දක්නට නොලැබෙයි.

30. ප්‍රසන්න ඇස් ඇති බව

තථාගතයන් වහන්සේගේ නෙත් රස පද්‍යයෙන් යුක්ත වෙයි. සාමාන්‍ය පුද්ගලයන්ගේ ඇස් එවැනි ආකාරයෙන් මනාව පිහිටන්නේ නැත. විවිධාකාර ස්වරූපයෙන් හැඩයෙහි වෙනස්කම් ඇතිව පිහිටයි.

31. ඌර්ණ රෝම ඇති බව

බුදුරජාණන් වහනසේගේ සිරුරෙහි මහා පුරුෂ ලක්ෂණයක් ලෙස දෙබැම සහ නළල මැද දකුණට කැරකුණ ආකාරයෙන් පිහිටා තිබෙන ඌර්ණ රෝම ලක්ෂණය දක්නට ලැබෙයි.

32. නළල් තළ මනාව පිහිටා ඇති බව

නළල වසා දෙකන් දක්වා සුවිශේෂී පිහිටීමක් බුද්ධ ශරීරහෙි දක්නට ලැබෙයි.

බුදුරජාණන් වහන්සේගේ පෙර පුණ්‍ය මහිමය නිසා තථාගත ශ්‍රී ශරීරයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් ශෝභාමත් වෙයි. ඒ අසිරිමත් බුදුසිරුරෙහි ස්වභාවය වෙයි.