Print this Article


සතර ආකාර උතුම් පැවතුම්

සතර ආකාර උතුම් පැවතුම්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් කළ ධර්මානුශාසනාවක් ඇසුරිනි

මානුෂීය ධර්ම ලෙස පුරුදු පුහුණු කර ගත හැකි සතර ආකාර උතුම් පැවතුම් ‘සිව් බඹ විහරණ’ ලෙස සම්බුදු දහමේ ඉගැන්වෙනවා. ඒ පැවතුම් අතර ‘මෙත්තා’ හෙවත් මෛත්‍රිය යන්න අපට හුරු පුරුදු වචනයක්.එහෙත් ,හිතන තරම් පහසුවෙන් පුරුදු පුහුණු කළ නොහැකි ගුණයක්.

මෛත්‍රි ගුණයෙහි ඇල්මක් නෑ. බැඳීමක් නෑ. පිරිසුදුයි. ‘සියලු සත්ත්වයෝ සුවපත් වේවා!යි කියන විට අපි සියලු සතුන් කෙරෙහි ඇළෙන්නේ නෑ. පේ‍්‍රමයෙන් බැඳීමක් නෑ. එසේ නොඇළුණු සිතින් අනුන්ගේ සැනසීම ප්‍රාර්ථනා කරන විට අපේ සිතත් සැනසෙනවා. නිරෝගී වෙනවා.

අන් දුකේදී සිත කම්පාවීම කරුණාවයි. දුකෙන් මුදවා ගැනීමට තිබෙන ඕනෑකමයි. ‘මුදිතා’ නම් මොළොක් බවයි. අනුන්ගේ දියුණුව දැක සතුටුවීමයි. දරුවන් හොඳින් නම්, දියුණු වෙනවා නම් මවුපියන් තරම් සතුටුවෙන වෙනත් කෙනෙක් නෑ.මවක් පියෙක් දරුවෙකුගේ දියුණුව දැක සතුටු වෙනවා වගේ අන් අයගේ දියුණුවේදීත් මුදිතා ගුණය ඇති කරගන්නට ඕනෑ.

‘උපේක්ෂාව කියන වචනයෙන් අදහස් කරන්නේ සමානව බැලීමයි. සතුරන්ටත්, මිතුරන්ටත් සාධාරණය කිරීමයි.පෘථග්ජන සත්ත්වයන් කෙරෙහි ඇළෙන ස්වභාවය තිබෙනවා. තමන් ආදරය කරනවා නම්, හිතවත් නම් ඇළෙනවා. අකැමැතිනම් ගැටෙනවා. ඇළීමයි, ගැටීමයි, මේ ලෝකයේ සාමාන්‍ය ස්වභාවයයි. ඇල්මක් ආදරයක් තිබෙන විට වැරැදි හරි ලෙස පෙනෙනවා. යුතුකම මඟ හැරෙනවා. සාධාරණත්වය නොපෙනී යනවා. වළාකුළක් ආවා වගේ. පෘථග්ජන දෝෂය එයයි. එය නිවැරැදි නෑ. උපේක්ෂාවේ ස්වභාවයත් සත්ත්වයන් කෙරෙහි, වස්තූන් කෙරෙහි මධ්‍යස්ථව බලන්නට පුළුවන්කමයි. මිතුරන්ටත්,සතුරන්ටත් සාධාරණව බැලීමයි.

සිව් බඹ විහරණයන්ට විරුද්ධ පැත්තක් ද තිබෙනවා. මෛත්‍රියේ විරුද්ධ පස ක්‍රෝධයයි. කරුණාව හිංසාවේ විරුද්ධ පැත්තයි. එය කනගාටුව ලෙස වරදවා වටහා නොගත යුතුයි. සමහරු කනගාටුව ගුණයක් ලෙස සැලකුවද කරුණාව යනු කනගාටු ස්වභාවය නොවේ. කරුණාව තුළ ඇතිවන්නේ සෝමනස්ස සහගත සිතිවිල්ලක් .

මුදිතාවෙහි විරුද්ධ පස ඊර්ෂ්‍යාවයි. කෙනෙක් තවත් කෙනෙකුගේ දියුණුව දැක මිතුරු මුහුණින් සතුටු ස්වභාවයක් පෙන්වනවා. ඒ ප්‍රහාසයයි. එය පිරිසුදු නෑ. ඒ සිනහව අවඥා සහගතයි. තෘෂ්ණා සහගතයි. බිළිඳුම දරුවෙක් කතා කරන්නත් කලින් කරන්නේ සිනහවීමයි. ඒ සිනහව දකින අම්මගේ, තාත්තගේ හදවත සතුටින් පිරී යනවා. එහි ඊර්ෂ්‍යාවක් නෑ.

උපේක්ෂාවට සතුරු වන්නේ අඥාන උපේක්ෂාවයි. එනම් කරුණු තේරුම් ගන්නට බැරි නිසා ඇතිවන ස්වභාවයයි. මුළා වූ ස්වභාවයයි. උපේක්ෂාව නුවණට අනුව ඇතිවන හැඟීමක්. එහි සතුරු මිතුරු භේදයක් නෑ. ස්නේහයෙන් බැඳීමක් නෑ. සාධාරණ ව, අපක්ෂපාතීව බලන්න පුළුවන් තත්ත්වයක්. එය පටලවා ගත්තේ නම් වංචනික ධර්මයන්ට හසුවෙනවා. තමන්ට තමන් තේරුම් ගන්නට බැරි වෙනවා.තමන් ගැන තේරුම් ගන්නට නම් තමන්ගේ ම සිත දෙස බලන්නට ඕනෑ. එවිට තමන්ට තමා ම පෙනීයනවා. තරමක් හෝ පෙනෙනවා. අපි බොහෝවිට නොබලන්නේ ද සිත දෙසමයි. අපි පංචේන්ද්‍රියන්ගෙන් නොයෙක් විදිහේ කෑම ගන්නවා. ඇහෙන් බලනවා. කනෙන් අසනවා. ඒ වගේ සිත දෙසත්,බලන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සේ ඉතා අවධාරණයෙන්, නැවත, නැවත උගන්වා වදාළේ තමන්ගේ සිත දෙස බලන ලෙසයි. එවිටයි අවංකවම, අපගේ ඍජු චිත්‍රයක් පෙනෙන්නේ. අපේම ස්වභාවය තේරුම් ගන්නට හැකි වන්නේ.

‘අත්තානං ගවේස්‍යොත’ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් සොයන ලෙසයි. ඒත් අපි බොහෝ දෙනෙකුට එය වුවමනා කරන්නේ නෑ. ඊට ඇල්මක් නෑ. එහෙත් පිටස්තර බොහෝ දේ අපි බලනවා. නැවත, නැවත බලනවා. අනුන්ගේ අඩුපාඩු සොයනවා. ඒවා සාකච්ඡා කරනවා. ළාමක විනෝදයක් විඳිනවා. මොන අර්ථයක්ද පින්වතුනි, අනුන්ගේ දේ සොයනවිට පිරිහෙන්නේ අපි මිස අදාළ පුද්ගලයා නොවේ. එහෙත් කෙනෙකුගේ අඩුපාඩුවක් දැක, ‘අනේ! මොහුට මේ නිසා හොඳක් වෙන්නේ නෑ නේද?යි” සංවේගයෙන් කරන කතාව මෛත්‍රී සහගතයි. එසේ නැතිව කාලය කා දමමින් ඕපාදූප කියවනවානම් තමන්ගේම හිත දූෂණය වෙනවා. ඒ නිසයි බුදු හාමුදුරුවෝ ඉගැන්වූවේ තමන්ගේ සිත දෙස බලන්න කියලා. සමහරු අන් අයට සිත පාලනය කර ගන්න ආකාරය කියා දෙනවා. සිත නිරෝගීව තබා ගැනීමේ වටිනාකම කියා දෙනවා. එහෙත් තමන්ගේ සිතේ පාලනයක් නෑ. හරියට ආහාරයක ගුණ කියනවා වගේ. මේ ආහාර හොඳ නෑ. මේවා නිසා ලෙඩ රෝග හැදෙනවා. මේ ආහාර හොඳයි. ලෙස විවරණය කරනවා. එහෙත් හොඳ දේ ආහාරයට නොගත්තේ නම් ප්‍රයෝජනයක් නෑ. විස්තරය පමණයි. මේ නිසා තමන්ගේ ඍජු චිත්‍රය අවංකව දකින්නට ඕනෑ. අඩුපාඩු පෙනෙනවා නම් කලකිරෙන්නට, කනගාටුවෙන්නට ඕනෑ නෑ. අඩුපාඩු වීම පෘථග්ජන දෝෂයයි. කරන්නට ඕනෑ වැරැදි අඩුපාඩු නැවත හදා ගැනීමයි. ඒ වගේම තමන්ගේ හොඳ දකින්න ඕනෑ. ගුණධර්ම, කළ පින්දහම් දකින්න ඕනෑ. ඒ ගැන ආඩම්බර නොවී මම මෙලෙස කර තිබෙනවා යැයි සතුට ඇති කරගන්නට ඕනෑ. ඒ වගේම ඒ ගුණ ධර්ම දියුණු කරගන්නට තවත් උත්සාහ වන්නට ඕනෑ. එය නිරාමිස පී‍්‍රතියක්. ඒ සතුට කාගේවත් සාක්කුවකින් ගන්නට නොහැකියි. මුදලට ගත නොහැකියි. එලෙස තමන් කළ හොඳ දේ නිතර කල්පනා කරන විට එය තමන්ටම යහපතක් පිණිස පවතිනවා. බෙහෙතක් වගේ. ශක්තියක් ගෙන දෙනවා.

අඩුපාඩු දුටුවා නම් පශ්චාත්තාප නොවී එයින් ඉවත් වෙන්නට ඕනෑ. අඩුපාඩු, වැරැදි අවම කරගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනෑ.

මෙත්තා, කරුණා, මුදිතා ,උපේක්ඛා කියන මේ ගුණධර්ම වර්ධනය කරගන්නට හොඳ අවවාද,යහපත් ආශ්‍රය, මනා ඉගෙනීම උපකාරී වෙනවා. පුංචි දරුවකු පෝෂණය කරන්නට ආහාර දෙනවා වගේ ඒ දරුවගේ සිතටත් කෑම බීම දෙන්නට ඕනෑ. ගහෙන් ගෙඩි එනවා වගේ එකවරම ගුණධර්මවලට හුරු වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් මනුෂ්‍යයාගේ සිත වැඩිපුරම ඇදී යන්නේ නරක පැත්තටයි. පාපයටයි. කුඩා කාලයේ සිටම නරකට ඇදී යන සිත, නවතන්නට ඕනෑ. ආරක්ෂා කරගන්නට ඕනෑ. පුංචි දරුවෙක් නරක දේට, නොහොබිනා දෙයට ලෙහෙසියෙන්ම ඇදී යන්නට පුළුවන්. මේනිසා මවුපියන් බොහොම කල්පනාකාරි වන්නට ඕනෑ. හොඳ ආශ්‍රයක්, යහපත් ආදර්ශයක්, අවවාද අනුශාසනාවන් දරුවාට ලබා දෙන්නට ඕනෑ.