Print this Article


ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්.....

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්.....

එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ ප්‍රධාන උත්සවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (12) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආරාධිතයින් විසින් චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය. මල්වතු, අස්ගිරි උභය මහා විහාරයීය මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ද, ලෝකයේ බෞද්ධ රටවලින් වැඩම කළ විදේශීය භික්ෂූන් වහන්සේලාද, අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් ද, කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමැතිවරු සහ දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයින් රැසක් එම උත්සවයට සහභාගී විය.