Print this Article


පහන් සිතක කවි

 

බුදුසරණ

සදහම් භාණ්ඩාගාරය නම දරණ
මසකට සිවුවරක් නිරතුරු එළි දකින
සම්බුදු රජුන්ගේ රුව විනිවිද පෙනෙන
මට නම් මගෙ පණයි පත සම්බුදු සරණ

මහ නා හිමිවරුන්ගේ ලිපි ඇතුළත්ය
ගිහි පඬිවරුන්ගේ අදහස් ඇත්තේය
පහන් සිතක කවි වෙනුවෙන් පිටුවක්ය

දිවි සකසා ගන්න ඔවදන් මිණි මුතුය
සම්බුදු පතේ ඉඩ ගන්නා කතු වැකිය
සාරධර්ම යළි සිහිපත් කරන්නේය
සෑම දනන්ගේ හදවත පිබිදේය
කියවිය යුතුම පත බුදු සරණම වේය


බුදුන් දකින මල් පිපුණා

ගසක් සෙවණ දුන් බව මුදු සිසිල පෙරා
ඇසක් පුරා බුදු රැස් පෙළහරක් දරා
දොසක් නොමැති ලෙස අමයුරු මියුරු පුරා
වෙසක් මල් පිපෙයි සම්බුදු ගුණ සමරා

මරු පරදවන්නට නිසි දස පෙරුම් පිපී
අරුණා ලෝකයක් ලෙස හැම නෙතම හැපී
කරුණා ගුණෙන් සපිරුණු මෙත් දියෙන් දැපී
තෙරුවන් සරණ යමු මුළු හදවතින් අපී

මැදුම් මඟ සොයා දුන් දම් ඇසක් සැදේ
රිදුම් සියලු දුක් නිවනා ලොවක් රැඳේ
මුදුන් අත් තබා වඳිනා රුවක් ඇඳේ
බුදුන් දකින මල් පිපුණා වෙසක් සඳේ


පාරිලෙය්‍ය ඇතු

පහන් සිතක කවි අමුණමි මෙලෙස ලියා
බුදුන් උවටැනේ පිහිටී ඇතෙකු සොයා
කොසඹෑ නුවර ඇති වූ ගැටලු නිසා
බුදුන් වැඩියේ පාරිල්‍යෙ වනය සොයා

බුදුන් දුටුව ඇත් රජ තෙම ඉපිල ගියා
වැඩ හිඳිනා සල් ගස මුල දෙදණ තියා
නමස්කාර කළ ඇත් තෙම සරණ ගියා
බුදුන් ළඟට වී ඇත් රජ පින් වැඩියා

මුහුණ දොවමි පැන් සපයමි හැකි ලෙසට
සිහිල් පැන් ද උණු පැන් හෙම දුණි හිමිට
මිහිරි ඵල ද රස බොජුන් ද ගෙන වනට
පූජා කරන ඇතු යන්නේ දම් මඟට

බුදු හිමි නුවර දෙස බලමින් වැඩිය සඳ
ඇත් තෙම කඳුළු පිරි දෑසින් හැඬූ සඳ
වාවාගත නොහැකි දුක ඇතුගේ සිතක හිඳ
මිය ගිය ඇතු ගියේ තව්තිස දෙව් ලොවට එද


මෙලොවින් පරලොවට

මෙලෝ ජනයා
දුක් විඳින්නේ
වස්තු දේපල රැස් කරන්නයි
එක් දිනක පරලොවට යන විට
වෙන්නෙ මේ සැම අතැර යන්නයි
මක් කරන්නද සියලු නෑයොත්
යන්නෙ සුසානයට පමණයි
නික්ම යන විට මෙලොව අතහැර
යන්නෙ පව හා පිනම විතරයි