Print this Article


නුවරඑළියේ ශ්‍රී චන්දජෝති මහ නා හිමියෝ ජනපති සුරතින් ශ්‍රී සන්නස් පත්‍ර ලබති

නුවරඑළියේ ශ්‍රී චන්දජෝති මහ නා හිමියෝ ජනපති සුරතින් ශ්‍රී සන්නස් පත්‍ර ලබති

උඩරට අමරපුර නිකායේ වර්තමාන මහා නායක ධුරය හොබවන නුවරඑළියේ ශ්‍රී චන්දජෝති මහ නා හිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා බුද්ධ ශාසනයේ මහා ථෙර නාමාවලියේ බැබළෙන අගනා බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලෙස සැළකිය හැකිය. මහනාහිමියන් උපත ලැබුයේ 1948 ජූනිමස 16 වැනිදා නුවරඑළියේ මාගස්තොට ග්‍රාමවරයේ දී ය.

උන්වහන්සේගේ සැදැහැබර දෙමව්පියන් වූයේ මාගස්තොට පදිංචි මීපේ අත්තනායක මුදලිගේ ජිනදාස මහෝපාසකතුමන් හා විජේසිංහ කලුආරච්චිගේ ලීලාවතී විජේසිංහ යන මහෝපාසිකා මාතාව යන දම්පතීහුය.අතිජාත පුත්‍ර රත්නය ලෙස උපන් කුමරුවා ගිහි කල හැඳීන්වූයේ මීපේ අත්තනායකගේ චන්ද්‍රරත්න යන නාමයෙනි. නිසි වයස සපිරෙනවාත් සමඟම රජයේ පාසලකට භාර දෙන ලදින් කුඩා කල සිටම අති දක්ෂ ශිෂ්‍යයෙක් ලෙස සිය කුසලතා ප්‍රදර්ශනය කළේය. කුඩා කාලයේ සිටම චන්දරත්න කුල කුමරුවා බුද්ධ ශාසනයටත් ධර්මානුකූල ගති සිරිත්වලටත් දැක්වූයේ අසීමිත ගෞරවයකි. එහි ප්‍රතිඵලයක් ලෙස ගුරු දෙගුරුන්ගේ හා වැඩිහිටියන්ගේ නොමඳ ආශිර්වාදය ඇතිව 1962 දෙසැම්බර් මස 12 වෙනිදා පැවිද්ද ලැබුවේය. ගුරුභූමිය වශයෙන් තෝරා ගන්නා ලද්දේ විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මූල මහා විහාරයයි. ආචාර්යවරයා වූයේ එවකට වැඩ සිටි නුවරඑළියේ ශ්‍රී විමලබුද්ධි මහනාහිමිපාණන් වහන්සේයි. පැවිද්දෙන් පසුව හැඳීන් වූ අර්ථාන්විත නාමය වූයේ නුවරඑළියේ චන්දජෝති යන්න යි. සසුන් ගත වූ තැන් පටන් මූලික ආරාමික අධ්‍යාපනයේ ගුරු භූමිය වූයේ ඓතිහාසික විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මූල මහා විහාරය යි. එහි වැඩ සිට හෙරණසික බණ දහම් වත් පිළිවෙත් සහිත අධ්‍යාපනයෙහි යෙදී ආරාමික ශික්ෂණය ලැබූහ.

වතින් පිළිවෙතින් පුණ්‍යවන්ත බුද්ධ පුත්‍රයෙක් වූයේ තම සහජ කුසල ශක්තීන් පෙන්වමිනි. වැඩි කලක් ගත වීමට මත්තෙන් ම ප්‍රාචීන විභාගවලින් ද වර්ගපටිපාටියෙන් උත්තීර්ණ වූහ. ශ්‍රී පියතිස්ස පිරිවෙණේ ඉතාම දක්ෂ ශිෂ්‍යයෙක් ලෙස චන්දජෝති හිමියෝ කීර්තිමත් විය. චන්දජෝති සාමණේරයන් වහන්සේ විසි වයස සපිරෙනවාත් සමඟම සුපරිශුද්ධෝපසම්පදාව ලැබූහ. ඒ 1969 දී විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මංගල උපෝසථාගාරයේ දී ය. විදුරුපොළ ශ්‍රී පියතිස්ස පිරිවෙණෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා සරසවි වරම් ලද චන්දජෝති හිමිපාණෝ 1971 දී පමණ විද්‍යෝදය විශ්ව විද්‍යාලයට තේරී පත් වූහ.

එම විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති යන උපාධි ලබා ගත්හ. තව ද ත්‍රිපිටක පොත් පෙළ හා අටුවා ටීකා දී ග්‍රන්ථ හා ධර්ම ශාස්ත්‍රීය වෙනත් බොහෝ පොත් පත් කියවා තම දැනුම පුළුල් කර ගත්හ. භාෂාන්තර දැනුමෙන් මෙන්ම ත්‍රිපිටක ධර්මඥානයෙන් ද පෝෂිත ප්‍රශස්ත භික්ෂු ප්‍රතිපත්තියෙන් අනූන වූ නුවරඑළියේ චන්දජෝති ස්වාමීන් වහන්සේ මුලින්ම ආචාර්ය වරයෙක් වශයෙන් තමන් ලත් දැනුම ශිෂ්‍ය සමූහයාට බෙදා දීම ආරම්භ කළේ 1976 දී රජයේ පාසලක පත්වීමක් ලබා බ/ විදුරුපොළ විද්‍යාලයෙනි. පසුව බ/හෙවනකුඹුර විද්‍යාලය, වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය වැනි විද්‍යාල කීපයකම ධර්මාචාර්ය වරයෙක් වශයෙන් ක්‍රියා කළහ.

දහස් ගණන් සිසු දරු දැරියන්ට නැණැස පාදා පාසල් ගුරු දිවියට සමු දී විදුරුපොළ ශ්‍රී පියතිස්ස පිරිවෙණේ පරිවේණාධිපති ධුරයට පත් වූහ. එහි දී විශාල පැවිදි සිසු පිරිසකට ධර්ම ශාස්ත්‍රය බෙදා දීමට පොහොසත් වූහ. නුවරඑළියේ චන්දජෝති ස්වාමීන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය මුළු රටටම මෙන්ම විශේෂයෙන් ඌව පළාතට සිදු වූ බව නිසැක ය. උන්වහන්සේට ආවේණික වූ සුලලිත සුගැඹුරු සුමිහිරි දේශනා කුසලත්වයකින් දෙසුම් පැවැත්වූහ. කවදත් ලේඛනයෙහි භාෂණයෙහි සුවිශේෂ දක්ෂකම් ඇති චන්දජෝති නාහිමිපාණෝ විවිධ පුවත්පත් සඟරා ආදියට ධර්ම ශාස්ත්‍රීය ලිපි ලිවීම ද සිදු කළහ. තව ද නාහිමිපාණෝ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක්ම මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. අධ්‍යාපනික මෙන්ම ශාසනික සේවාවන් ද නොපිරිහෙලා ඉටු කිරීමට පසුබට නොවූ නුවරඑළියේ චන්දජෝති හිමි උඩරට අමරපුර නිකායේ විනයවාදිනී කාරක සංඝ සභාවේ සාමාජික ධුරයක් ලබා තම සේවය පුළුල් ලෙස සිදු කොට නිකායික විවිධ තනතුරු ලබා ගෞරවයට පත් වූහ.

උන්වහන්සේගේ ශාසනික සේවාවන් අගය කළ කාරක මහා සංඝ සභාව අවස්ථා කීපයකදීම ගෞරවයට බඳුන් කර තිබේ. සාසනවංසාලංකාර සද්ධම්මභාණක යන නාම සම්මුතිය අනුනායක පදවිය හා මහෝපාධ්‍යාය පදවිය පිරිනමා ඇත. අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහනාහිමියන්ගේ අපවත් වීමෙන් හිස් වූ එම පදවියට නුවරඑළියේ චන්දජෝති අනුනාහිමිපාණෝ නිතරගයෙන් පත්වූහ. නුවරඑළියේ චන්දජෝති නාහිමිපාණන් වහන්සේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමෙන් “ප්‍රවචන කීර්ති ශ්‍රී ධර්ම ශාස්ත්‍රශූරී” යන ගරු නාම සම්මුතියෙන් ද, එම පදනමේ මහා ලේඛකාධිකාරී ධුරයෙන් ද, උත්තරීතර අනුශාසක මණ්ඩලයේ සාමාජික ධුරයෙන් ද පිදුම් ලබා ඇත. එසේම වැලිමඩ සාසනරක්ෂක මණ්ඩලයේ සභාපති තනතුර ද හොබවති. ඊට අමතරව බොහෝ සමිති සමාගම්වල අනුශාසක සභාපති ආදී තනතුරු දරා සුවිසල් සමාජ යුග මෙහෙවරක යෙදී කටයුතු සළසති. උන්වහන්සේගේ පැවිදි දිවියට ආභරණ වී ඇත්තේ පැවිද්දෙකුට අවශ්‍ය වූ ඉවසීම කරුණාව දයාව වැනි ශාන්ත තපෝ ගුණයන් ය. මඳහසින් මුව සරසා ගත් අප නාහිමි නිරහංකාරය. අපිස් සතොස් ගුණයෙන් පිරිපුන් ය. චාම් සරල දිවි පෙවෙතක් ගත කරති. උභයාංස පාරුපනය හා තුන් සිවුරෙන් සැරසීම සුවිශේෂ ලක්ෂණයකි. උන්වහන්සේගේ සීලාදී ගුණ ධර්මත්, ප්‍රවේණි ගත භික්ෂු ආකල්පත්, නිකායික ප්‍රතිපත්තිත්, සළකා බැලූ උඩරට අමරපුර මහා සංඝ සභාව උන්වහන්සේ ස්ව නිකායේ මහානායක ධුරයට පත් කර ගන්නා ලදී.

යථෝක්ත පදවිය පිළිබඳ විනයවාදිනී කාරක සංඝ සභාව විසින් ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය කර්මය අප්‍රේල් 22 දින විදුරුපොළ ශ්‍රී සුමංගලාරාමයේ දී සිදු කරන ලදී. අභිනව මහානාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය උත්සවය මෙම 22 දින නුවරඑළිය නගර සභා ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. තෛ‍්‍රනිකායික මහ සඟරුවන සමඟ සැදැහැවත් බෞද්ධ මහා ජනතාව ඉදිරියේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කෙරේ.