Print this Article


යන එන දන - මන පිනවන වා-රිය පල - බුදු පිළිමය

යන එන දන - මන පිනවන වා-රිය පල - බුදු පිළිමය

"තුන් ලොවක් ලස්සන කළ අසාමාන්‍ය රූප ශෝභාවකින් යුතු බුදුරදුන් නිරූපනය කිරීම සඳහා නිර්මිත බුද්ධ රූපය ලස්සනම රූපය වන්නේ එමගින් පිළිබිඹුවන බාහිර අංගලක්ෂණ සලකාගෙන ම නොවේ. එමගින් නිරූපනය වන අභ්‍යන්තරික ගතිලක්ෂණ සාවධානව සළකා බැලීමෙන් පසුව ය."

ලෝකයේ ලස්සනම මනුෂ්‍යයා කවුරුද යනුවෙන් ඇසුවොත් දිය හැකි නිවැරදිම පිළිතුර වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය යන්නයි. ලස්සන යන වචනයට අයත්වන සුප්‍රකට තේරුම වන්නේ චිත්තාකර්ශනීය, මනබැඳ ගන්නා සුළු යනාදී ආකල්පයන් ය. එහෙත් යම් පුද්ගලයෙකු හා බැඳුනු නියම ලස්සන විමසා බලන්නට එවැනි සරල කාරණාවක් ප්‍රමාණවත් වන්නේ නැත. චිත්තාකර්ශනීය යැයි කියා ගන්නා ඇතැම් පුද්ගල රූප දෙස තවටිකක් විමසුම් සහිතව බලන විට පෙනී යන්නේ ඒ ඒ රූප වෙතින් යම් යම් අවලස්සන සියුම් ලෙස මතුවී එන ආකාරය යි. ඇතැම් මුහුණු කාමරාගයෙන් අවලස්සන වී ඇත. ඇතැම් මුහුණුවල පවත්නේ මෝහ මූලික වූ බොළඳ ගති ලක්ෂණයන් ය. ආකර්ශනීය යැයි සිතෙන ඇතැම් පුද්ගල ප්‍රතිරූප කෙරෙන් විද්‍යමාන වන්නේ වෛරය, තරහ, දුක, වේදනාව, කළකිරීම වැනි පසුගාමී ස්වරූපයන් ය. ඒ අනුව සලකන විට යමෙකුගේ රුව ලස්සන යැයි කීම සඳහා කරුණු රාශියක් ගැන අවධානය යොමු කළ යුතුව ඇත. තුන් ලොවක් ලස්සන කළ අසාමාන්‍ය රූප ශෝභාවකින් යුතු බුදුරදුන් නිරූපනය කිරීම සඳහා නිර්මිත බුද්ධ රූපය ලස්සනම රූපය වන්නේ එමගින් පිළිබිඹුවන බාහිර අංගලක්ෂණ සලකාගෙන ම නොවේ.

එමගින් නිරූපනය වන අභ්‍යන්තරික ගතිලක්ෂණ සාවධානව සළකා බැලීමෙන් පසුව ය. බුදුරදුන්ගේ බාහිර රූපය මෙන් ම අභ්‍යන්තර රූපය කෙතරම් ලස්සන ද? කිවහොත් ඒ රූප සෝභාව කිසි අයුරකින් මූර්තිමත් කළ හැක්කක් නොවන බව ධර්‍මානුගත නියමය වි තිබේ. එහෙයින් ම ‘අප්පටිම’ යන ව්‍යවහාරය බුදුරදුන් වෙත ආරෝපනය කරනු ලැබ ඇති බව පැහැදිලි ය. ඒ අසමසම රූපකාය හැකි උපරිම ආකාරයෙන් මූර්තිමත් කිරීමට කලාකරුවා විසින් ගන්නා ලද අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලය වශයෙන් බුද්ධරූප නිර්‍මාණය ලෝකයේ පහළ වී තිබේ. එදා මෙදාතුර බුදු සසුනේ ඉතිහාසය පුරා දක්නා ලද බුද්ධ ප්‍රතිමා මගින් බුදුරජාණන් වහන්සේගේ බාහිර ස්වරූපය මතු නොව අභ්‍යන්තරික ගුණ ශරීරයත් දැක ගන්නට, එසේ දැක තම තමා තුළ පහන් සිත් වඩාගන්නට බුදුනුවන් පමණක් නොව මධ්‍යස්ථ මතධාරී බොහෝ දෙනා ද උත්සාහවත් වූ බව ප්‍රකටවම පෙනෙන කරුණයි.

බුද්ධරූපයේ අසමසම සෝභාව වඩාත් ප්‍රකට කෙරෙන්නේ එහි නිරූපිත ස්වභාවිකත්වය මගිනි. නිදසුනක් වශයෙන් විවිධ ආභරණ පළඳනා හා විසිතුරු ඇඳුම් විලාසිතාවන්ගෙන් තොර බව දැක්විය හැකිය. එසේම විවිධාකාර අවි ආයුධ හා ප්‍රසන්න හෝ අප්‍රසන්න සංකේත බුදුරුවට ඈඳා නැතිකම ද දැක්විය හැකිය. තම බලශක්තිය වඩා වර්‍ධනය කෙරෙන ආකාරයේ ගුප්ත බල සහිත සත්ව වාහන ආදියකින් ද බුදුරුව වෙර ගන්වා නැති කම ද දක්නට හැකි ය. මේ අස්වාභාවික බලගැන්වීම් ආදියෙන් තොරව බුදුරුව ස්වාභාවික ලෙස ස්වයං ස්වරූපයෙන් මූර්තිමත් කිරීම මගින් බුදුරදුන්ගේ අසහාය චරිත ලක්ෂණය මැනවින් ප්‍රකට වෙයි.

එයම බුද්ධ රූපයේ අනූපම සුන්දරත්වයට සාධක වෙයි. යථාර්ථවත් වූ සහ යථාවාදී වූ කරුණු එසේ වූයේ වී නමුදු අසමසම බුද්ධ ස්වරූපයට හානිදායක වූ නිර්‍මාණ ද ඇතැම් තැන්හි දකින්නට ලැබෙන බව අප අපතුළම විය යුතු ස්වයං විවේචනයක් ලෙසින් සඳහන් කළ යුතු ය. බුද්ධ ප්‍රතිමා නිර්‍මාණය තබා සත්ව රූපයක්වත් නිසි අයුරු මූර්තිමත් කරගත නොහැකි ශිල්පීන් යැයි කියාගන්නා අදක්ෂ මිනිසුන් අතින් නිමැවුනු විකෘති රූප ද බුද්ධ ප්‍රතිමා ලෙසින් හුවා දක්වනු ලැබ මහජන පූජෝපහාරයට යොමුකර තිබෙනු තැන් තැන්හි දක්නට ලැබෙන වේදනාකාරී දර්ශනයකි. එබඳු ඇතැම් ප්‍රතිමාවන්හි ආරෝහ පරිනාහ ලක්ෂණ නැත. කඩවසම හෝ සමතුළිත භාවය නැත. කරුණා ප්‍රඥාදී ආධ්‍යාත්මික පුරුෂාර්ථ සහිත බව නැත. මේ ශෝචනීය තත්ත්වය වැඩිපුරම ප්‍රදර්ශනය වන්නේ අවුකන ප්‍රතිමාවේ අනුරූ නිර්මාණය කරන්නට ගන්නා උත්සාහයන් මගිනි. ශිල්පියා නිර්මාණය කරන ඕනෑම රූපයක් බුද්ධ රූපය ලෙසින් හිතා ගන්නා අනුවණ පැවිදි ගිහි ඇත්තන් සිතන්නේ ප්‍රතිමාවේ අඩුපාඩු දැක්වීම හා ඒ ගැන කථා කිරීම පව් සිදුවන වරදක් ලෙසිනි.

එවන් මෝඩ පරිසරයක විකාරරූප තව තවත් ගොඩනැගෙනු නොවැළැක්විය හැකිය. එනිසා බුද්ධශාසන අමාත්‍යංශයවත් මේ කරුණු නිවැරදි කිරීමට ඉදිරිපත් විය යුතුව ඇත. මෙවන් පරිසරයක බුදුරදුන්ගේ අපරිමිත ශාන්ත ස්වරූපය මොනවට පිළිබිඹු කෙරෙන අසමසම නිර්මාණයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දක්නා ලැබේ. යන එන දන මන සනසන අයුරින් ශ්‍රී ලංකාවට පැමිණෙන හා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන හැමදෙනාගේ ම අවධානයට යොමුවන ආකාරයෙන් ඉදිකරනු ලැබ ගෞරවණීය ලෙස පිහිටුවා ඇති මේ සම්මා සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ සෑම ආකාරයෙන් ම පරිපූර්ණ හා අතිශය සම්භාවිත අයුරින් සම්පාදනය වූවක් බව නොපැකිල ව සඳහන් කළ යුතු ව ඇත. අප රට තුළට පැමිණෙන අමුත්තෙකු ගුවන් තොටුපළේ පිවිසුම් පර්යන්තයේ ගමන් කරමින් ආගමන අංශය වෙත මුහුණලා ඉදිරියට පිය නගන විට ප්‍රථම කොට දෑස් යොමුවන ආකර්ශනීය දර්ශනයක් වන්නේ මේ ප්‍රතිමා වහන්සේ ය. සුදු මුදු පැහැය මගින් ආධ්‍යාත්මික පිවිතුරු බව මැනවින් පළ කරන ධර්‍මචක්‍ර මුද්‍රාවෙන් වැඩහිඳීන පිළිමය මේ ලෝකයට මේ යුගයේ වඩාත් අවැසිව පවත්නා සාමය මූර්තිමත් කරමින් අසීමිත ආශ්වාදපූර්‍වක ආශිර්‍වාදයක් ගෙන හැර දක්වයි. අප රට තුළට දිනපතා පැමිණෙන දහස් ගණනක් වූ බෞද්ධ ජනතාවගේ සිත්තුලට නම් මේ දර්ශනය මගින් ජනිත කරවන්නේ අපමණ බැතිබර හැඟීමකි. එයට ප්‍රධාන හේතුව ශ්‍රී ලංකාව සතුව පවත්නා ජාත්‍යන්තර කීර්තිධර බෞද්ධ ආධ්‍යාත්මිකත්වය පිළිබඳ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ගුවන්තොටේදීම අවබෝධ කරගත හැකිවන බැවිනි. තමන් පිළිගැනීමට තම අසහාය ශාස්තෘවර ශාක්‍ය මූනීන්ද්‍රයන් වහන්සේ පෙරමගට වැඩමවා ආශිර්‍වාද කරන ස්වරූපයක් ඒ මගින් හැඟීයන බැවිනි. රට තුළට පිවිසෙන අන්‍ය ආගමික හෝ අනාගමික ඇත්තන් තුළ වුවද මේ සාන්තිනායක දර්ශනය මගින් ප්‍රසන්න හැඟීම් ජනිත වනු නො අනුමාන ය. කාර්ය බහුලතාවක සිටගෙනත් මේ අපූරු දර්ශනය ළඟ මොහොතකට නැවතී හිඳ පින්තූරයක් ගන්නට බොහෝ දෙනා පෙළඹී ඇති සැටි දැකීමෙන් ඒ බව සිතාගත හැකි ය. ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමේදී පිටත්වීමේ පර්යන්තය හරහා ගුවන්යානය දක්වා ගමන් කරන අයට ද මේ සාමකාමී පිය දසුන ආශීර්වාදයක් ව පවතින බව සත්‍ය ය. මේ ප්‍රතිමා වහන්සේ වෙත මෑතක සිදුකෙරුනු සත්කාරය ද මෙහිලා අගය කළ යුතු කරුණකි. එනම්, ප්‍රතිමා ශිර්ෂය ඉහළින් ස්වර්‍ණාලේපිත නෙලුම් මල් සහිත ඉතා අලංකාරවත් මෙන් ම ඉතා වටිනා උඩු වියනක් සවිකරලීම යි. ඒ සමගම මේ ප්‍රශාන්ත දර්ශනය වඩාත් උද්දීප්තිමත් වන ආකාරයෙන් හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව හා සාභිමානී ආධ්‍යාත්මික හරපද්ධතීන් ලොවට දක්වාලීම සඳහා ඒ අවට පරිසරය තවදුරටත් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යව පවත්නා බව ද මෙහිලා සඳහන් කළ යුතු ය. මේ අද්විතීය වූත් අපූර්‍ව වූත් සම්මාසම්බුද්ධ උපහාරය වෙනුවෙන් බෞද්ධයන් වූ පැවිදි ගිහි අප හැමදෙනා විසින්මත් අනිවාර්යයෙන් ම ඉටු විය යුතු අත්‍යවශ්‍යම යුතුකමක් වන්නේ ය. එනම්, මේ පූජනීය ස්ථානය ළඟ මොහොතක් නතර වී අංජලීකරණීයව දෑත් නළලත තබා වැඳගෙන චිත්ත සමාධිය ඇතිකර ගැනීම යි.

 (මේ ලිපියේ මාතෘකාව සඳහා යෙදී ඇති ‘වා-රිය පල’ යනු වාතාධාරයෙන් දිවෙන රථවල මධ්‍යස්ථානය යන්නයි. එනම් ගුවන්යානා තොටුපල යි. )