UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම නිමිත්තෙන් සුභපැතුම්

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම නිමිත්තෙන් සුභපැතුම්

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

සමස්ත ලෝවැසි බෞද්ධයන් ශ්‍රද්ධා භක්තියෙන් සමරන උතුම් දිනයක්

තිලොවට තිලක වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම හා පිරිනිවීම යන ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය, සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධා භක්තියෙන් සමරන උතුම් පූජෝපහාර මංගලෝත්සව දිනයකි. මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනය, දානාදී ආමිෂ පූජාවෙන් පමණක් නොව, ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙහි හැසිර පූජෝපහාරය දැක්වීම වඩාත් අග්‍රගණ්‍ය වේ.

උත්තරීතර බුදුදහම බෞද්ධයන්ට පමණක් නොව සමස්ත මිනිස් සංහතියටම උරුම වූවකි. බෞද්ධ අබෞද්ධ නිදහස් චින්තනයන්ගේ හා විද්වතුන්ගේ පැසසුමට පාත්‍ර වූ බුදුදහම අවබෝධයෙන් හා ප්‍රඥාවෙන් ළඟා කරගත හැකි විමුක්ති මාර්ගයකි. වෛරයෙන්, හිංසනයෙන්, භීෂණයෙන් කැළඹුණු වර්තමාන ලෝකයට සාර්ථකව මුහුණ දීමට බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මය මහත් රුකුලකි. යථාවාදී සනාතන බුදුදහම නිවැරැදිව අවබෝධ කරගනිමින් ධර්මානුකූලව ජීවත්වන්නේ නම් ජීවිතය සාර්ථක කර ගැනීමට සදාචාරවත් ජීවිතයක් ඇතිකර ගැනීමට ලැබෙන පිටිවහල අපමණය. මෝහයෙන් මුලා නොවී දැහැමි ජීවිතයක් ඇතිකර ගැනීමට බුදුදහමේ ඇති පරිපූර්ණ සාරධර්ම මහත්සේ උපකාරී වේ. උතුම් බුදුදහමට අනුව සුචරිතයෙහි හැසිරී ධර්මචාරිකව කටයුතු කරන තැනැත්තාට මෙලොවත් පරලොවත් සුවසේ වාසය කළ හැකි ය.

එබැවින් සර්වඥයන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ දැන, ශ්‍රද්ධාව තහවුරු කොටගෙන බුද්ධ ගෞරවය ඇතිව, බුද්ධානුශාසනාවට අනුව ධර්මය නුවණින් දැන ප්‍රඥාවෙන් යුතුව බොදු දහමේ පිළිවෙතෙහි හැසිරීම බෞද්ධයින් සතු පරම යුතුකමකි. අවට ලෝකය සමඟ නොගැටී, නොඇලී සදාචාරවත් ප්‍රතිපත්ති මත පදනම් වූ ජීවිතයක් ගතකර සතුටින් ජීවත්විය හැකි ධර්ම මාර්ගය බුදුදහමින් මනාව උගත හැකි ය.

“සබ්බ දානං ධම්ම දානං ජිනාති” “ධර්ම දානය සියලු දානයන් පරදවයි” යන බුදු වදනට අනුව බුදුදහමේ චිර පැවැත්ම හා බොදුනුවන්ගේ ධර්ම ඥානය වඩා වර්ධනය කිරීම අරමුණු කොට ලේක්හවුස් ආයතනයේ බුදුසරණ පුවත් පත මගින් කලක සිට එළිදක්වනු ලබන වෙසක් කලාපය මෙවරත් නිකුත් කිරීමට කටයුතු යෙදීම අගය කොට සලකමු. ත්‍රිවිධරත්නයේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට සුබ වෙසක් මංගල්ලයක් වේවායි කරුණාධ්‍යාශයෙන් ආශිංසනය කරම්හ.


මෙම වසරේ වෙසක් මංගල්‍යය ශ්‍රී ලාංකික අපට වඩාත් සුවිශේෂී වේ

මහා කාරුණික සම්බුදු අමාමෑණියන් වහන්සේගේ ලොව පහළ වීම, බුදු වීම, පිරිනිවන් පෑම යන අසිරිමත් ත්‍රිවිධ මංගල්‍යය සිදු වී පූජනීයත්වයට පාත්‍ර වූ වෙසක් පුන් පොහෝ දිනය තුන් ලෝවාසී සියලු වැසියන්ගේ හිත පිණිස සුව පිණිස හේතුවීමෙන් පරම පූජනීය ශ්‍රේෂ්ඨ දිනයක් බවට පත් විය. මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම උත්තරීතර ආගමික දිනය මෙන්ම ලක්වැසි ජනතාවගේ ජාතික දිනය ද වන්නේ ය.

සමස්ත ලෝකවාසී බෞද්ධයෝ මේ උදාර ශ්‍රේෂ්ඨ දිනයේ දී බුදුහිමියන්ගේ ශ්‍රී නාමයට ආමිෂ පූජාවෙන් හා ප්‍රතිපත්ති පූජාවෙන් කෘතවේදී පූජෝපහාරය දක්වති. අතු පැළෙහි වෙසෙන්නාගේ සිට මහා මන්දිරයේ වාසය කරන්නා දක්වා සියලු දෙනා විසින් විසිතුරු සැරසිල්ලෙන්. ප්‍රදීපාලෝකයෙන්, මනහර තොරණින් අලංකාර කොට පරිසරය ශ්‍රී ශෝභාමත්කරන අතර දාන, සීල, භාවනාදී කුසල ධර්මයන්හි හැසිරෙති.

මෙසේ කුසල ධර්මයන්හි හැසිරීමට වෙසක් දිනය පමණක් යොදා නොගෙන දෛනික ජීවිතයේ හැම මොහොතකම තෙරුවන් කෙරෙහි අචල විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන් පින්දහම්හි නිරතවීමට බෞද්ධයන් වගබලා ගත යුතු ය. තෘෂ්ණාවෙන්, ද්වේශයෙන්, මෝහයෙන් සිත මුදවාගෙන, කුසල් දහම්හි හැසිර මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය ද යහපත් කර ගැනීමට මෙම උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ අදිටන් කර ගත යුතු ය.

ජාත්‍යන්තර වෙසක් උළෙල මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබීම හේතුවෙන් මෙම වසරේ වෙසක් මංගල්‍යය ශ්‍රී ලාංකික අපට වඩාත් සුවිශේෂී වේ. ලොව අන් කිසිදු රටකට වඩා ථෙරවාදී බුදුදහම අදටත් නිවැරැදිව සුරක්ෂිත කර ගැනීමේ ගෞරවය දිනාගෙන ඇති අප රට කෙරෙහි, ජාත්‍යන්තර ගෞරවය හා විශ්වාසය දිනාගත හැකි පරිදි අප රට තුළ පවත්නා ලෝක සාම ලැදියාව හා සාමකාමී සහජීවන පැවැත්ම වඩාත් ඉස්මතු කොට දැක්වීමට මෙම ජාත්‍යන්තර වෙසක් දිනය උපයෝගී කර ගැනීමට උත්සාහ විය යුතු ය.


ජාත්‍යන්තර වෙසක් දිනය මෙරටදී සැමරීම අප රටට ගෞරවයක්

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට අත්‍යුත්තම දිනය වූ වෙසක් පොහොය අදයි. තෛ‍්‍රලෝක්‍ය තිලක වූ, කරුණා නිධාන වූ, ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ ලොව පහළවීම, සම්බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිදුවූ මේ උතුම් දිනය ලෝකවාසී බෞද්ධයන් විසින් මෙම වසරෙහි ශ්‍රී ලංකාව කේන්ද්‍රකර ගනිමින් සැමරීමට තීරණය කිරීම ථෙරවාද බුද්ධ ධර්මයේ මූලස්ථානය ලෙස අප රටට දැක්වූ ගෞරවයක් සේ සලකමි.

දානාදී දස පෙරුම් ධර්මයන් අසංඛෙය්‍ය සංඛ්‍යාවෙන් පූරණයකොට සම්බුද්ධත්වයට පැමිණි අප ගෞතම ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ සෙසු දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා මෙන්ම සකල බුද්ධ කෘත්‍යයන් සම්පූර්ණ කළ නමුදු කල් විපතින් මඬනාලද සේක්ම අල්පායුෂ්ක වූ සේක. එසේ වුවද ශාන්තිනායක වූ ඒ ලෝකනාථයන් වහන්සේගේ ලොව පහළවීම නරකාන්තිය නිවා සිහිල් කිරීමෙන් දැක්වූ පෙර නිමිති සේ, මතු තුන් ලෝ සතුන් සිත් තුළ කෙලෙස් ගිනි නිවා සනහා පන්දහසක් අවුරුදු සත්වයන්ට අමා නිවන් පුර රුවන් දොර විවරවෙයි.

දෘෂ්ටි වශයෙන් ශාස්වත, උච්ඡේද යන අන්තද්වයට හා පිළිවෙත් වශයෙන් අත්තකිලමථානු, කාම සුඛල්ලිකානු යන අන්තද්වයට බැස පාපයෙහි නිමග්නව අපාය පූර්වකව විසූ මහාජනයා අරි අටඟි මඟ දක්වා වස්සවන ලද දහම් අමා වැස්සෙන් සෝදා පිරිසුදු කොට ලෝකෝත්තර සම්‍යයක් දෘෂ්ටි පථයට පමුණුවා අමා සෙත් පුර දර්ශනය කරවූ ඒ අප ලෝකස්වාමීන්ද්‍රයන් වහන්සේ කලියුගයෙහි ලොව උපන් එකම ශාස්තෘන් වහන්සේ ද, ලෝකෝත්තර මාර්ග දේශකයන් වහන්සේද වූ සේක.

තථාගතයන් වහන්සේගේ දේශනාවක් වූ ‘යො පන භික්ඛු ධම්මානු ධම්ම පටිපන්නො විහරති සාමීචි පටිපන්නො අනුධම්මචාරී සො තථාගතං සක්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති, පරමාය පූජාය පටිපත්ති පූජාය’ යන බුදු වදන සිත තබා බුදුරදුන් ප්‍රතිපත්ති පූජාවෙන්ම පුදා නිවන් පසක් කරගනු සඳහා උත්සාහ දැරීම ආත්මාර්ථ, පරාර්ථ සිද්ධියෙහි තත්පරවූ සැදැහැවත් ගිහි පැවිදි සියලු දෙනාගේ පරම යුතුකම වන්නේ ය. විශේෂයෙන්ම නොකළ ඒවා නොකිරීමට, පුරුදු පව්කම් දුරලීමට හා නොරැකි සිල් රැකීමට, නොකළ පින් කිරීමට, නොපිහිටි උසස් සීලයෙහි පිහිටීමට තම තමන් රකින උසස් ගුණධර්මයන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට මේ ආදි උසස් කුශල පාක්ෂික වූ උතුම් ගුණ දියුණුකර ගැනීමට අධිෂ්ඨානයත්, මේ උතුම් බුද්ධෝත්පාද දිනයෙහි සිත් තුළ පහළ වේවායි ප්‍රාර්ථනා කරම්හ.


ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙරටදී පැවැත්වීම බලවත් සතුටක්

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම හා පිරිනිවීම යන තෙමඟුල සිදු වූ වෙසක් දිනය සමස්ත ලෝක බෞද්ධයන්ට අනුස්මරණීය දිනයකි. එම දිනය ජාත්‍යන්තර අනුස්මරණීය දිනයක් බවට පත්කිරීමෙන් පසු මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය ලෝක බෞද්ධ නායකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම අපගේ බලවත් පී‍්‍රතියට හේතුවේ.

ලෝකයේ පහළ වූ ශාස්තෘන් වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය වනුයේ උන්වහන්සේගේ මහා කරුණාව සියලු සත්වයන් වෙතම පතළ වූවක් වීම හා සියලු ධර්මයන්ම අවබෝධ කළ මහා ප්‍රඥාවකින් යුත් ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ වීමයි.

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඇතැම් ආගම්වලින් කෙරෙන පුද්ගලයන් බෙදා වෙන් කිරීම බැහැරකර සියලු දෙනාටම ධර්මාවබෝධය ලබාදී සියලු දුකින් මුදවා ගැනීමට ක්‍රියා කළ ආකාරය බුද්ධ චරිතය විමර්ශනය කරන සියලු දෙනාම දනිති. දෙව්, මිනිස්, බඹ සියලු දෙනා පැමිණ සත්වයා හා ලෝකය පිළිබඳ කවර හෝ ගැටලුවක් ගැන විමසුවොත් එයට ක්ෂණිකව යථාර්ථවාදී පිළිතුරක් සැපයීමට සමත් මහා ප්‍රඥාවකින් උන්වහන්සේ යුක්ත වූ බව ත්‍රිපිටක ධර්මය පිළිබඳ ගවේෂණය කිරීමේදී කාටත් වැටහෙනු නියතයි. සර්වකාලීන අගයකින් යුත් බුද්ධ ධර්මයෙහි වත්මන්හි ලෝකයේ ඇති දේශපාලනික, ආර්ථික, සාමාජික, පාරිසරික ගැටලුවලට හා පුද්ගල සන්තාන ගැටලුවලට ද විසඳුම් අන්තර්ගතවේ. ලොව පුරා අද නිරන්තරයෙන් සිදුවන යුද්ධ, කලකෝලාහල, මිනිස් ඝාතන හා දරිද්‍රතාව නිසා වන පීඩන දුරු වු සාමය, සතුට පිරි ලෝකයට මග බුදු මග යාමයි. අන් විසඳුමක් නැත. මෙම අනගි දහම ලොවට දායාද කළ බුදුරජාණන් වහන්සේ වෙත හා උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය වෙත ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා ජාත්‍යන්තර වෙසක් දිනය උත්කර්ශවත් ලෙස පැවැත්වීමට උපකාරි වේ.

ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීම සඳහා වසර දහස් ගණනක් නිර්මල බුද්ධ ධර්මය ආරක්ෂා කළ අප ශ්‍රී ලංකාවට පැමිණෙන බෞද්ධ නායකයන් සියලු දෙනාම එකතුව ශ්‍රෙෂ්ඨ බුද්ධ ධර්මය ලොව ව්‍යාප්ත කිරීමේ හා ආරක්ෂා කිරීමේ සාමූහික වැඩ පිළිවෙලක් ආරම්භ කරන්නේ නම් මැනවි. එයට නායකත්වය දෙන ලෙස ගරු ජනාධිපති තුමන් වෙත සිහිපත් කර සිටිමි.


බුදු දහමේ සැබෑ අරුත එතෙර ජනතාවට පසක් කර දෙමු

එක්සත් ජාතීන්ගේ වෙසක් උළෙල මෙවර ලංකාවේ පැවැත්වීම නිසා බෞද්ධ රටක් වශයෙන් අපට ලෝකයේ රටවල ඇති සැලකිල්ල මැනවින් පෙන්නුම් වුණා. විශේෂයෙන්ම වෙසක් දිනය අන්තර්ජාතික වශයෙන් සැමරීම ශ්‍රී ලංකාව නිසා සිදු වූවක් බවත් අප සිත්හි තබා ගත යුතු වෙනවා. සිංහලයකු මෙන්ම බෞද්ධයකුත් නොවන ලක්ෂ්මන් කදිරගාමර් මහතා විසින් මේ සම්බන්ධව විශේෂ උනන්දුවක් ගෙන කටයුතු කළ බවත් අප මෙහිදී පෙන්වා දිය යුතුයි.

ථෙරවාදී බෞද්ධ රටවල් අතර ප්‍රමුඛස්ථානයක් හිමිවන ලංකාවට මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් සමරන්නට ලැබීම විශේෂත්වයක් බව අප තේරුම් ගත යුතු වනවා. අප විසින් විශේෂයෙන්ම වෙසක් දිනවලදී විශේෂ සැලකිල්ලක් දක්වන තොරණ, වෙසක් පහන් කූඩු, ඇතුළු සැරසිලිවලට වඩා මෙවර බුදු දහම විදේශීයන්ට දැනෙන්නට සලස්වන්නේ නම් එය අප බුදු රජාණන් වහන්සේ උදෙසා කරනු ලබන උත්තම පූජාවක් වෙනවා.

විශේෂයෙන්ම අප තෙමඟුල සමරා සිදු කරනු ලබන අනෙකුත් පුණ්‍ය කටයුතු විශේෂයෙන්ම දන්සල් පැවැත්වීම බෞද්ධාලම්භන සතුට දනවන බැති ගී සංදර්ශන ඇතුළු සියල්ලටම වඩා අන්තර්ජාතික වශයෙන් බුදු දහම එතෙර ජනයා අතරට යවන්නට නම් බුදු දහමේ සැබෑ අරුත ඔවුන්ට දැනවිය යුතු වනවා. විශේෂයෙන්ම බුදු දහමේ ඇති සුවිශේෂත්වය බටහිර ලෝකයාට දැන්විය යුතු වනවා. බෞද්ධ රටවලට බුදු දහමේ පණිවුඩය අමුතුවෙන් ලබා දිය යුතු නැහැ. අප බුදු දහම ලබා දිය යුත්තේ බෞද්ධ නොවන රටවලටයි. විශේෂයෙන් බටහිර ලෝකයාට බුදු දහමේ හරය ලබා දීමෙන් අපේ ගුණ ධර්ම ඔවුන් විසින් අනුගමනය කිරීමෙන් අප නොදැනුවත්වම බටහිර ලෝකයා විසින් අපට ගෞරවයක් දක්වනු ලබනවා.

වෙසක් දිනයේ සුවිශේෂී කටයුත්ත ලෙසින් අප සිහි තබා ගත යුතු අනෙක් කරුණ වන්නේ අපේ බොදු සිරිත් විරිත් ලෝකයා හමුවට එක් කිරීමයි. දානය, ශීලය, මෙන්ම සමඟිය, කරුණාව වැනි සියලු ගුණ ධර්ම අප විසින් පෙන්නුම් කළ යුත්තේ ඒ ගුණ දහම් මඟින් අප ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස හැඩ ගැසී ඇති බව පෙන්වමින් බවත් අප සිහි තබා ගත යුතු වනවා. එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම මේ වන විට වසර 13ක් පවත්වා තිබෙනවා. අපට ඒ අවස්ථාව ලැබුණේ ප්‍රථම වතාවට වන අතර මේ අවස්ථාව ඉදිරියේදීත් ලබා ගැන්මට අප කටයුතු කළ යුත්තේ ලෝකයාගේ අවධානය යථාර්ථවාදීව අප දෙසට යොමු කර ගනිමින්. එසේ කළහොත් අපට උතුම් වෙසක් මංගල්‍යයක් අන්තර්ජාතික වශයෙන් සැමරීම අපහසු නොවේවි.


ජාත්‍යන්තර වෙසක් උළෙල පැවැත්වෙන රට ලෙසින් මෙවර පිදුම් ලැබීම අප ලද විරල භාග්‍යයක්

ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට එක්වැන්න එළැඹෙන්නේ ශ්‍රී ලාංකීය බෞද්ධ වංශකතාවේ ස්වර්ණමය පරිච්ඡේදයක සමාරම්භය සලකුණු කරමිනි. තෙවරක් සම්බුද්ධ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් අප මාතෘභූමිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් උළෙල පැවැත්වෙන රට ලෙසින් මෙවර පිදුම් ලැබීම, අප ලද විරල භාග්‍යයක් ලෙසින් සලකමි. එය සම්බුදු දහමේ ආශිර්වාදය ලැබූ පසු ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව හිමිකරගත් විශිෂ්ට ජයග්‍රහණයක් ද වේ.

එක්සත් ජාතීන්ගේ දාහතරවන ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රමුඛ භූමිකාව අපට පිරිනැමීම තුළ, අප මෑත අවධියේ දිනාගත් සියලු ජයග්‍රහණයන් ද පෙළගැසී සිටින බව නිසැකය. එකී ජයග්‍රහණ උදෙසා සම්මාදම් වූ ශ්‍රී ලාංකීය සමස්ත ජනතාව යුගයක් වර්ණවත් කළ පින්වතුන් ලෙසින් ඉතිහාසයට එක්වනු ඇත.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ මෙවර ප්‍රමුඛ තේමාපාඨය වනුයේ ‘සමාජ සාධාරණත්වය සහ තිරසර ලෝක සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්’ යන්නය. සමාජ සාධාරණත්වය සඳහා වන මූලික කොන්දේසිය සමානාත්මතාවයයි. බුදු සමයෙහි මූලික හරය පදනම් වන්නේ ද සමානාත්මතාවය නම් විශ්ව සාධාරණ සංකල්පය මතය. අද දවසේ ලෝකය විසින් දැඩිව අයැද සිටින සමානාත්මතාවය, සම්බුද්ධ භාෂිතයෙහි මූලික කියැවීමක් බවට පත්වූයේ වසර දෙදහස් පන්සිය හැට එකකට ඈත, බුදුරජාණන් වහන්සේ ධරමාන සමයේය. මානව පැවැත්මේ මහා පොදු සාධකය වන, සාමය ගොඩනැගෙන්නේ සමානාත්මතාවය, නිරෝගීව ස්ථාපිත සමාජයක බැව් බුදුරජාණන් වහන්සේ අනුදත් සේක.

ත්‍රිවිධ මංගල්‍යය අතුරෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංගල්‍යයත් සමඟ ඇරඹෙන අපේ ජාතික වංශ කතාව, මෙවර ජාත්‍යන්තර වෙසක් උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම ඔස්සේ ධරණීය අවකාශයේ නව මානයකට දිසාගත වනු ඇත. එකී අභිමානය, සමග සියලු පටු සීමාවන් අභිබවමින් රටක් ලෙස ගෝලීය සංසදය තුළ වඩා සාඩම්බරව නැගීසිටීමට කැපවීම මෙවර අපගේ වෙසක් අදිටන බවට පත් කර ගනිමු.

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ශුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා!

තෙරුවන් සරණයි!


වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව පවත්වන්නට හැකිවීම අගනා අවස්ථාවකි

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරමපූජනීය ආගමික දිනය වන වෙසක් උත්සවය ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි සම සමව යෙදෙමින් මහත් බැතිබරව සමරන සුවිශේෂ ආගමික උත්සවයකි. මෙවර වෙසක් දින සැමරුම ලක්වැසි අපට උදාවන්නේ තවත් සුවිශේෂ වූ වැදගත්කමකින් යුතුවය.

සියවස් ගණනාවක් නිර්මල ථෙරවාදී බුදුදහම රැක ගනිමින්, සෙසු ලෝකයාටද ධර්මය ප්‍රචාරය කිරීමෙහි ප්‍රමුඛව කටයුතු කළ අප රට තුළ, මෙවර එක්සත් ජාතීන්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව පවත්වන්නට හැකිවීම අගනා අවස්ථාවකි.

මෛත්‍රීය පදනම වූ බුද්ධ ධර්මය නුවණින් දැන ප්‍රඥාසම්පන්නව, ප්‍රායෝගිකව ජීවිතයට බද්ධ කරගනිමින් එහි දාර්ශනික හරය, විශ්වීය වැදගත්කම වඩ වඩාත් ලෝකය වෙත ගෙන යන්නට අපි පිළිවෙතින් පෙළ ගැසිය යුතු වෙමු.

මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැමරුම අප හමුවේ තබන ප්‍රබලතම අභියෝගය එයයි. සත් සිතින් ලොව දකින, මෙත් සිතින් දිවි ගෙවන එක්සත් සමාජයක් ගොඩනගන්නට කැපවෙමු.

සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

 


බුදු දහමේ ධාර්මික අගය ලොව පුරා ප්‍රචලිත කරමු
 

මහාවංශයට අනුව ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවයක් ගැන මුල්වරට සඳහන් වන්නේ ක්‍රිස්තු පූර්ව 161 දී දුටුගැමුණු රජ දවස පැවති වෙසක් උත්සවය පිළිබඳවයි.

ඒ අතීතයේ සිට වර්තමානය දක්වාම අපේ අගනාම වූ ආගමික උත්සවය රාජ්‍යත්වයේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වාගෙන එන්නකි.

බුදුදහම ලොවට දේශනා කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය, පරිනිර්වාණය සිහිපත් කිරීම වෙසක් උළෙලේ මුලික පරමාර්ථයයි.

එහෙත් දීර්ඝ ඉතිහාසයක් පුරා බුදුදහම හා බැඳුණු ශී‍්‍ර ලාංකිකයාගෙන් වෙන්කළ නොහැකි මහා සංස්කෘතියක් අපට උරුමව තිබේ. බුදුදහම යනු ආගමක් පමණක් නොව ඊට අයත් ඓතිහාසික පසුබිම්, සාහිත්‍ය කලාවන්, දර්ශනය, සමාජ දේශපාලනය,ආර්ථික හා අධ්‍යාපන ආදි ක්ෂේත්‍ර සලකන කළ එය සම්පූර්ණ ශිෂ්ටාචාරයකි.

බුදුදහමේ ධර්ම අගය සනාතන වූවකි. එය සර්ව කාලීනය. සකල ජාතීන්ට පොදුය. කිසිදු සමාජ බෙදීමකට අනුගත නොවු බුදුදහම මනුෂ්‍ය සන්තානයේ පවතින හොඳ , නරක, යහපත, අයහපත, ධර්මය අධර්මය ආදි විවිධාකාර චේතනාවන්හි සුඛාන්තයන් මනාව අවබෝධ කරන දෙලොව සෙත සලසා දෙන හේතු ඵල න්‍යාය මත පදනම් වූ එකම පටිපදා මාර්ගයයි.

මනුෂ්‍යවර්ගයාගේ යහපත වෙනුවෙන් දේශනා කළ ඒ උතුම් වූ ධර්මය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත වී ඇත. එහිලා ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කිරීමටත්, එහි ප්‍රථම සම්මේලනය 1958 වසරේ මහනුවර දී පැවැත්වීමටත් මූලික වු සම්මේලනයේ ප්‍රථම සභාපති දිවංගත මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර මැතිතුමා සහ වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස පිළිගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාව ඉදිරිපත් කළ දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා ද ශී‍්‍ර ලංකාවේ පවත්වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේදි කෘතවේදීව සිහිපත් කළ යුතුව ඇත.

වෛරය, ඊර්ෂ්‍යාව හා තෘෂ්ණාවෙන් දූෂිත නොවූ බලය සඳහා උනුන් වනසා ගන්නා සටන් නැති අධර්මය ධර්මයෙන් ජයගන්නා මානව සමාජයක් උදා කිරීමට බුදුදහමේ ධාර්මික අගය ලොව පුරා ප්‍රචලිත කිරීමට මෙම ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය හේතු වේවායි ප්‍රාර්ථනා කරමි.

බුදුදහම පෙන්වා දෙන සියලු සත්ත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගි වෙත්වා, නිවන් දකිත්වා යන මෛත්‍රි සහගත භාවනාමය සිතුවිල්ල මෙලොව ජීවත් වන සෑම මනුෂ්‍යයෙකු තුළම වර්ධනය වේවා.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!


බුදු වදන විශ්වීයයි

ලොව කිසිදු ආගමකට හෝ ජාතියකට පමණක් සීමා නොවූ බුදුදහම මුළු විශ්වයටම පොදු වූ ධර්මයකි. එවන් වූ නිර්මල දහමක් ලොවට දායාද කළ අප මහා තථාගතයන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් 2017 වෙසක් පොහොය දිනයට සමගාමීව ජාත්‍යන්තර වෙසක් දිනය මෙරට පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති මොහොතක, බුදු දහමේ යථාර්ථය ලොවට ගෙන හා හැකි අතිශය වැදගත් අවස්ථාවක් ලෙස මම සළකමි. වාර්ෂිකව පවත්වන්නාවූ මෙම උතුම් දිනය සැමරීම උදෙසා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ද පිළිවෙතින් පෙළගැසී, නිර්මල බුදු දහමේ අසිරිය දසත පතුරුවාලන්ට හැකි සෑම අංශයකින්ම දායක වී සිටී.

නූතන සමාජය දිනෙන් දින දියුණු වෙමින් තාක්ෂණයේ පරතෙරට යමින් සිටී. මේ නූතන විද්‍යාවට සමාන්තරව හා ඉන් ඔබ්බට දිවෙන පරිදි මේ සියල්ලම අචේතනික බලවේගයන්ගේ ප්‍රතික්‍රියා මත පූර්වයෙහි පැවති හේතුවක ඵලයක් නිසා හට ගැනීම, නැසීම, යළි හට ගැනීම ඇතුළු විශ්ව ක්‍රියාකාරීත්වයේ යථා ස්වරූපය අතිශය නිවැරදිව අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුදු වදන තුළ ගැබ්ව තිබේ.

මීට වසර 2600 කට පමණ පෙර අප මහා තථාගතයන් වහන්සේ, වත්මන් ලෝකයේ ස්වරූපය තම නුවණින් දැක තිබෙන බව අප හට මනාව වැටහේ. මන්ද, මිනිසා ඇතුළු සියලු සත්ත්වයන් මිහිතලයෙන් වඳවී යන තරමේ පරිසර හානියක් වර්තමානය වන විට ලොව පුරා දක්නට ලැබේ. මෙසේ භෞතික පරිසරය අසීමිත ව පාලනය හා අසීමිතව පරිභෝජනයට පෙළඹවීමෙන් ස්වභාවධර්මයේ අවාසනාවන්ත ලෙස අහිමි වී යමින් පවතී. තවද සමාජ පද්ධතිය තුළ වෛරය, ක්‍රෝධය මුල් බැස ගනිමින් එකිනෙකා වෙත අවි ආයුධ එල්ල කර ගන්නා සමයක මිනිස් ක්‍රියාකාරීත්වය තවදුරටත් සංකීර්ණවී ඇත. මිනිසාද, පරිසරය ද සෑම ක්ෂේත්‍රයකින්ම අවරට ඇදී යන මොහොතක ද බුදු දහමේ මඟ පෙන්වීම මුළු මහත් විශ්වයටම අත්‍යවශ්‍ය වී තිබේ.

මේ විශ්වයේ ඇති හොඳ නරක ඉතා නිර්මාණශීලීව පෙන්වා දුන් අප මහා තථාගතයන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සැමරීම, උදෙසා පෙළ ගැසෙන මෙරට හා ලෝකවාසී බෞද්ධ ජනතාවට අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවායි පතමින් ඒ වෙනුවෙන් සංවිධානය කරන්නාවූ ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජාවන් ගෙන් සකල ලෝවැසි ජනයාගේ හදවත් නිවි සැනසේවා යැයි පතමි.

තෙරුවන් සරණයි.


ලෝවැසි බොදු ජනතාව සමඟ එක්වන අවස්ථාවක්

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන වෙසක් උත්සවය ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාවේ දී මෙවර පවත්වන්නට ලැබීම මහත් භාග්‍යයකි. පින් සිතුවිලි තුන් සිතෙහිම ජනිත කරන ආමිස ප්‍රතිපත්ති යන උභය පූජාවන්ට අනුගතව වෙසක් උළෙල සැමරීමට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ලෝකවාසී බෞද්ධ ජනතාව සමඟ එක්වන අවස්ථාවක් මෙවර උදාවේ.

එක්සත් ජාතීන්ගේ සහභාගිත්වය ඇතිව අප අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පවත්වනු ලබන ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙල සමාරම්භක වැඩසටහන ‘බුදුන් දැකීම’ තේමා කරගනිමින් දේශීය සාම්ප්‍රදායික නර්තන කලා අංග සහිතව 2017 මැයි මස 12 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මුද්‍රා නාට්‍ය හා ඔපෙරා ස්වරූපයේ සංස්කෘතික සංදර්ශනයක් මැයි මස 13 වන දින නෙළුම් පොකුණ රඟහලේ දී ජාත්‍යන්තර සංස්කෘතික සංදර්ශනයක් මැයි මස 13 වන දී නෙළුම් පොකුණ රඟහලේ දී ජාත්‍යන්තර නියෝජිත භවතුන් හමුවේ ප්‍රදර්ශනය වේ. මේ මඟින් ශ්‍රී ලාංකික බෞද්ධ චින්තනයත්.

සංස්කෘතික කලා කුසලතාවේ බෞද්ධ දාර්ශනික පදනමක් පිළිබිඹු කරයි. ජාත්‍යන්තර වෙසක් උළෙල ශ්‍රී ලාංකික බෞද්ධ චින්තනයක්, සංස්කෘතික කලා කුසලතාවේ බෞද්ධ දාර්ශනික පදනමක් පිළිබිඹු කරයි. ජාත්‍යන්තර වෙසක් උළෙල ශ්‍රී ලංකාවේ සමරන අවස්ථාවේ දී සමස්ත ලෝකවාසී ජනතාවට තෙරුවන් සරණින් සියලු කටයුතු වේවායි ප්‍රාර්ථනා කරමි.

 


 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]