UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සමාරම්භය ඉන්දීය අගමැතිතුමාගේ සහභාගීත්වයෙන්

ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සමාරම්භය ඉන්දීය අගමැතිතුමාගේ සහභාගීත්වයෙන්

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවය මෙයට පෙර දහතුන් වරක් පවත්වා තිබේ.ඉන් එකොළොස්වරක් තායිලන්තයේදී සහ දෙවතාවක් වියට්නාමයේදීය. ජාත්‍යන්තර වශයෙන් වෙසක් දින සැමරීමක් අවශ්‍යය යන යෝජනාව 1999 දී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක්. හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා විසින් කළ එම යෝජනාව මහා මණ්ඩලයෙන් අනුමත වු වසරේ සිට මෙම ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය පැවැත්වේ. අප කලක සිට මේ උත්සවය ලංකාවේදී පැවැත්වීමට උත්සාහ කළද එය සාර්ථක කර ගැනීමට කල්ගත විය.

පසුගිය වසරේ තායිලන්තයේදී පැවැති 13 වන සම්මේලනයේදී අප ඉදිරිපත් කළ කරුණු අනුව ථෙරවාදී දහම, ත්‍රිපිටකය ලේඛනාරූඪ කර ආරක්ෂා කළ රට ලෙස අපේ රටට පවතින උරුමය පිළිබඳ කල්පනා කර ඒකමතිකව තීරණය කළේ වෙසක් කමිටුව මගින් ශ්‍රී ලංකාවට එම අවස්ථාව ලබාදීමටය. ඒ අනුව සියලු කටයුතු සූදානම් කර ඇත.


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි

බුද්ධ ශාසන අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, ස්වදේශ කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඇතුළු බොහෝ රාජ්‍ය ආයතන මීට සම්බන්ධ වී කටයුතු කරනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උත්සවයේ ආරම්භක දිනය මැයි මස 12 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය හරේන්ද්‍ර මෝදි මැතිතුමා සහභාගි වේ.

මැයි මස 14 වනදා මහනුවර මහමළුවේදී එම උත්සවයේ අවසන් උත්සවයට නේපාලයේ ජනාධිපතිතුමිය ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වේ. බුදුදහමට සම්බන්ධ එම රටවල් දෙකෙහි රාජ්‍ය නායකයන් මේ සඳහා සහභාගි වීම ඉතා උසස් කොට සලකනු ලැබේ.

රටවල් අසූ පහක් සඳහා එම උත්සවයට ආරාධනා කර ඇති අතර මේ වන විට රටවල් හැත්තෑ දෙකක සහභාගිත්වය තහවුරු කර තිබේ.

මෙම 12 වනදා සමාරම්භක උළෙලින් පසු සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වේ. එදින රාත්‍රී විශේෂයෙන් දියවන්නා වෙසක් කලාපය පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි කටයුතු කථානායක කරු ජයසූරිය මහතා සහ මහ නගර සහ බස්නාහිර සංවර්ධන, සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යතුමාත් භාරගෙන ඇත. දහතුන වනදාද දවස පුරා සම්මන්ත්‍රණය පැවැත්වේ. එදින සන්ධ්‍යා භාගයේදී සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වෙන අතර ඊට රටවල් තුනකින් හෝ හතරකින් සහභාගිවන අතර දේශීය අනන්‍යතාවය සුරැකෙන පරිදි සංස්කෘතිකාංග කීපයක් අපේ රට වෙනුවෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සංස්කෘතික සංදර්ශනය අවසානයත් සමඟ බෞද්ධයා මාධ්‍ය ජාලයේ දස වස් සැමරුම් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන පෙරහර එම විදේශීය අමුත්තන්ට නෙළුම්පොකුණ අසලදී දර්ශනය කර ගැනීමටද කටයුතු යොදා ඇත.

14 වනදා දුම්රියෙන් මහනුවර වෙත සංචාරය කර අවසන් උත්සවය මහමළුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම විදේශීය අමුත්තන් වෙත විශේෂ දළදා සමිඳු ප්‍රදර්ශනයක් පැවැත්වීමටද සැලසුම් කර ඇත. ඊට අමතරව දළදා පෙරහරක්ද පැවැත්වේ.

පිළියන්දල කහපොල ඩිජිඩෙල් වත්තෙහි අක්කර හැත්තෑහතරක පමණ භූමි භාගයක ශාක්‍ය ජනපදය ඉදිකිරීමට ආරම්භ කළ අතර ලයිට් ඔෆ් ඒෂියා පදනම ඒකරාශිවී මේ වන විට ඉදිකිරීම් අරඹා තිබෙන අතර මැයි මස 11 වනදා සුද්ධෝදන මාලිගය සහ ලුම්බිණි උයන යන දෙක පමණක් විවෘත කිරීමට අපේක්ෂා කෙරේ. සම්පූර්ණ ශාක්‍ය ජනපදය ඉදිකර ලබන වසරේ වෙසක් සමයට පෙර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. බුද්ධගයාව, කුසිනාරාව ආදි අසිරිමත් බුදුසිරිතට අදාළ බොහෝ ස්ථාන එකම ස්ථානයකදී දැක බලා ගැනීමට මෙය ඉදිකරනු ලැබේ. දස දහසකට වැඩි පිරිසකට භාවනා පහසුකම් එහි සැපයීමටද බලාපොරොත්තු වේ. ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මාධ්‍ය ජාලයක් සහ පුස්තකාල පහසුකම්ද එහි සැපයීමට සැලසුම් කර ඇත.

ඉදිරි වසර ගණනක් සඳහා එක්සත්ජාතීන්ගේ සංවිධානය ඉලක්ක කර ඇති මාතෘකාව තිරසර සාමයයි. දහම අනුවත් අතීත අත්දැකීම් අනුවත් බලන විට ලෝක තිරසර සංවර්ධනය මිථ්‍යාවක් බවට පත්වනුයේ ලෝක තිරසර සාමය ආරක්ෂා කරගත නොහැකි වුවහොත්ය. බුදුරජාණන් වහන්සේගේ පණිවුඩය ලොව තුළ සමාජ ගත කිරීම සඳහා ලෝක තිරසර සාමය ගොඩනැගීමේ පණිවුඩය බෙදාදීම අපගේ අරමුණ වේ. විශාල උත්සවයක් පැවැත්වූයේ යැයි ඉතිහාසගත වීම අදහස නොවේ.

සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් මහ ලේකම්තුමාගේ මූලිකත්වයෙන් තෝරාගත් එක් විහාරස්ථානයකත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම තෝරාගත් එක් විහාරස්ථානයකත් ඊට සමගාමීව වෙසක් උත්සව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහායෙන් පැවැත්වේ.

වෙසක් කලාප හා සාකච්ඡා කර එම වෙසක් කලාප ඒකාබද්ධව කටයුතු කෙරේ. ඒ අතර ගංගාරාමය ආශි‍්‍රත බුද්ධ රශ්මි වෙසක් කලාපය, බෞද්ධාලෝක මාවත ආශි‍්‍රත වෙසක් කලාපය, ලේක්හවුස් ආශි‍්‍රත වෙසක් කලාපය ඊට ඒකරාශි වී කටයුතු කරනු ලැබේ. ඊට අමතරව කෝට්ටේ මහරගම ආදි වෙසක් කලාපද ඊට සමගාමීව පැවැත්වේ.

 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]