UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධාගම පොතපතට හා වැඳුම් පිදුම්වලට පමණක් සීමා කළ යුතු ආගමක්ද?

බුද්ධාගම පොතපතට හා වැඳුම් පිදුම්වලට පමණක් සීමා කළ යුතු ආගමක්ද?

"දරු සොවින් පෙළුනු කිසා ගෝතමියට බුදුරදුන් බණ කීවේ නැත. මරණය ගැණ ඇයටම අවබෝධවන ක්‍රමයක් සැලැස්සූහ. ඒ නිසා බණෙන් හැදිය නො හැකි මිනිසුන් හැදිය හැකි තවත් නොයෙක් ක්‍රම ඇත. අප එම ක්‍රම ගැන සොයා බැලිය යුතුය."

මේ රටේ බෞද්ධයන් දැනට බුද්ධාගම අදහා ගෙන යන තාලයෙන් පෙනී යන්නේ වැඩිකල් නො ගොසින් බුදුන් වහන්සේ බලාපොරොත්තු වුනාට වඩා හාත්පසින්ම වෙනස් වූ ඇදහිලි ක්‍රමයක් බවට බුද්ධාගම පරිවර්තනය වන බවයි. බෞද්ධයකු ගේ මූලික ගුණධර්ම පහක් වූ පන්සිල් උත්සවයක හෝ රැස්වීමක හෝ ආරම්භයේ දී කියනු ලබන පාට පහක් බවට පත්ව ඇත.

සියයට සියයක්ම ක්‍රියාවේ යෙදවිය යුතු පන්සිල් සියයට සියයක්ම ක්‍රියාවේ නො යෙදෙන පාලි වචන බවට පත්ව ඇත. මෙකල පන්සිල් ඇත්තේ පන්සිල් දෙන භික්ෂූන් වහන්සේ තුළය. හැම තැනකදී ම පන්සිල් සමාදන් වන දහසක් දෙනා ගෙන් එක කෙනෙකුට දෙන්නෙකුට පමණි. පන්සිල් ඇත්තේ. හැම වැදගත් අවස්ථාවක දී ම එදිනෙදා ජීවිතයේ සිදුවන සිදු විය හැකි වැරැදි පහක් (පව් පහක්) නොකරමි යි පොරොන්දු වන එකම මිනිස් ජනකාය බෞද්ධයෝ යි. මේ පොරොන්දු පහ ඇත්ත වශයෙන්ම කඩ නොකොට රකිතොත් ඒ මිනිස් ජනකායගේ ඇති ශ්‍රේෂ්ඨකම කිව නොහැකි තරම්ය.

බුද්ධාගම අදහන අතරම පිළිපැදිය යුතු ආගමකි. බුද්ධාගම යනු මිනිසකු ජීවත් විය යුතු හොඳම ක්‍රමයයි. ජීවිතයක් ගෙන යායුතු නියම ක්‍රමය උගන්වන ආගම, බුද්ධාගමයි. බුද්ධාගමේ සඳහන් කරුණු පොත්වල තිබීමෙන් හෝ ඒවා ගැන සිත සිතා සිටීමෙන් හෝ කිසි පලක් නැත. එහි සඳහන් ගුණ ධර්ම, ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයට යොදා අත්හදාබැලිය යුතුය. ක්‍රියාවේ යෙදවිය යුතුය. එසේ නොකොට මේ ලංකාව වෙහෙර විහාරවලින් පිරුණත්, බෞද්ධයන්ගෙන් පිරුණත්, මේ රටේ හැබෑ බුද්ධාගම නියම බුද්ධාගම ඇතැයි කියා කිව නො හැකිය. වෙහෙරවිහාරත්, පුදපූජාත්, වැඳුම් පිදුනුත් බුද්ධාගමේ හරය නොවේ. ගහට පොත්ත මෙන් ඒවා ආගමක් ජීවත්වීමට අවශ්‍ය දේයි. ආගමික ගොඩනැගිලි, පුදපූජා නැතිවන විට ආගම මිය යයි. එබැවින් ඒවා ද අවශ්‍යය. එහෙත් ඒවා ආගමක නියම පරමාර්ථය නොවේ. ආගමක් ඇත්තේ තිරිසනුන්ගේ ප්‍රයෝජනයට නොව තනි කර මිනිසා ගේ ප්‍රයෝජනයටයි. මිනිසා ආගම නො අදහයි නම්, නැතහොත් මිනිසා ආගමෙන් ප්‍රයෝජන නොගනී නම්, ආගම අනුව ජීවිතය හැඩ ගසා නොගණී නම් ඒ ආගම පොතට හා සිරිත් විරිත්වලට පමණක් සීමා වනු ඇත.

බුදුන් වහන්සේ ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වූයේ මැටියෙන්, ඉටියෙන් සිත්තමෙන්, ගලෙන්, බදාමෙන් උන්වහන්සේ ගේ රූපය අඹා ගෙණ, හදා ගෙණ, ඇදගෙණ, තනාගෙණ, ඒවාට වැඳ වැඳ සිටින, පුදපූජා කර සිටින පිරිසක් නොවේ. ඒවාට වැඳීම පිදීම හොඳය. වරදක් නැත. එහෙත් බෞද්ධයන්ගෙන් උන් වහන්සේ බලාපොරෙත්තු වූයේ එයම නොවේ. උන්වහන්සේ බලාපොරොත්තු එකම දෙය නම් උන්වහන්සේ පෙන්වු ඒ ශ්‍රේෂ්ඨ මාර්ගයෙහි ගමන් කිරීමයි. ඒ ශ්‍රේෂ්ඨ මාර්ගය නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඒ මාර්ගයේ ගමන් නො කොට උදේ සිට හැන්දෑ වන තුරු දවසක් දෙකක් නොව අවුරුදු සීයක් වැඳ වැඳ සිටියත්, පුද පුදා සිටියත්, ගරු කරමින් සිටියත් නිවන් දැක්ක නො හැකිය. නිවනට යාමට උන්වහන්සේ පෙන්වූ මාර්ගයෙහිම යා යුතුය. යමෙකු නියම බෞද්ධයකු වන්නේ බුදුන් වහන්සේ පෙන්වූ මාර්ගයෙහි එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කළොත් පමණකි.

බුද්ධාගම පුද්ගලයකු අදහන ආගමක් නොවේ. ගුණධර්ම අදහන ආගමකි. බුදුන් වහන්සේ අපේ ශාස්තෘවරයා හැටියට අප සලකන්නේ උන් වහන්සේ තුළ පැවැති ශ්‍රේෂ්ඨතම ගුණධර්ම නිස යි. අප වඳින්නේ උන්වහන්සේ ගේ සිරුරට නොව ගුණධර්මවලට යි. ඒ නිසා අපේ ශාස්තෘවරයා ශ්‍රේෂ්ඨ ගුණධර්මයි. ගුණධර්ම නැති තැන බුද්ධාගමක් නැත. බෞද්ධකමක් නැත. පරිත්‍යාගිශීලිබව, නිර්ලෝභී බව, මෛත්‍රිය, කරුණාව, දයාව, නිහතමානී බව, සමානාත්මතාව, පාරාර්ථකාමී බව, ඉවසීම, ආදි දහසක් ගුණධර්ම බෞද්ධකමෙහි අඩංගු වී ඇත. මේ ගුණධර්ම නැති තැන බෞද්ධකමක් නැත. මේ ගුණධර්ම කීයක් අප එක් එක්කෙනා තුළ අඩංගු වී තිබේ දැයි බොරුවට නොව අවංකවම සොයා බැලිය යුතුය. සිතා බැලිය යුතුය.

හොරකම, කපටිකම, වංකකම, බොරුව, තණ්හාව, ඊර්ෂ්‍යාව, ආදි දහසක් අගුණවලින් හෙවත් දුර්වලකම් වලින් බෞද්ධ නමින් සිටින වැඩි දෙනා වෙළී සිටිති. ධන ලෝභයෙන්, බලලෝභයෙන්, කීර්තිලෝභයෙන්, තනතුරු ලෝභයෙන් බොහෝ දෙන මහා සටනක් කරති. බෞද්ධකම තබා ශිෂ්ටකම හා මිනිස්කම පවා අමතක කොට ඇත. ආගම නිතර සිහි කරණ අය දුර්ලභය. පාංශුකූලයටත්, දානයටත්, පිරිතටත්, පන්සිල් සමාදන් වීමටත් එය සීමා වී ඇත. බුද්ධාගම එක් තැනකය. බෞද්ධයෝ අන් තැනකය.

ඉහත සඳහන් කරුණු ගැන කල්පනා කරණ විට බුද්ධාගම මේ රටේ මිනිසුන්ගේ දෛනික ජීවිතයේ ලා ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේදැයි සාකච්ඡා කිරීමට කාලය එළඹී ඇත. සමාජය ක්‍රම ක්‍රමයෙන් ආගම, ඇදහීම,ආගමානුකූල ජීවිතය පැත්තකට කරතොත්, දුරස් කරතොත් එයට හේතුවක් ඇත. එම හේතුව කුමක් දැයි සොයා බැලිය යුතුය. ආගම මිනිස් ජීවිතයට අවශ්‍ය පරිදි කාලයට යෝග්‍ය පරිදි සකස් කර ගත යුතුය. බණ කීමෙන් මිනිසුන් හදන්නට බැරි නම්,ඇසූ බණ පරිදි මිනිස්සු නොපිළි පදිත් නම් එය නවතා දමා එයට වඩා යෝග්‍ය ක්‍රමයක් සොයා ගත යුතුය. ක්‍රියාවේ යෙදවිය යුතුය.

දරු සොවින් පෙළුනු කිසා ගෝතමියට බුදුරදුන් බණ කීවේ නැත. මරණය ගැණ ඇයටම අවබෝධවන ක්‍රමයක් සැලැස්සූහ. ඒ නිසා බණෙන් හැදිය නො හැකි මිනිසුන් හැදිය හැකි තවත් නොයෙක් ක්‍රම ඇත. අප එම ක්‍රම ගැන සොයා බැලිය යුතුය. ගිහි, පැවිදි සම්බන්ධය දැන් මේ රටේ දුරස්ව ඇත. එයට හේතු රාශියකි. ඒවා සොයා බලා ඒ සම්බන්ධය ඇති කර ගැණීමේ ක්‍රම සම්පාදනය කළ යුතුව ඇත. භික්ෂුනමකට කළ හැකි සේවය අපරිමිතය. සමාජ සේවය භික්ෂු ජීවිතයේ ප්‍රධාන අංගයක් කළ යුතු ව ඇත. භික්ෂූන් වහන්සේ මිනිසුන්ට අවශ්‍ය වන පරිදි, නැතිවම බැරි වන පරිදි, ප්‍රයෝජනවත් වන පරිදි සකස් විය යුතුව ඇත. භික්ෂූන් වහන්සේගේ සේවය දානයට, පිරිතට හා පාංශුකූලයට පමණක් සීමිතව තිබු කාලය ගත වී ඇත. භික්ෂුන් වහන්සේ සමාජය පෙරමුණේ, සමාජයත්, සමඟම භික්ෂූත්වයද රැක ගනිමින් යා යුතුය. ජීවත් විය යුතුය.

අවංකව රට දැයට වැඩ කිරීමට හිත ඇති කාලය ඇති, ශක්තිය ඇති ඕනෑකම ඇති පිරිසක් භික්ෂූන් වහන්සේලා හැර වෙන නැත. උන් වහන්සේලා කෙරෙහි පෞද්ගලිකත්වයක් නැත. දෑවැද්ද සපයා තියන්ට, බූදල් තනා තියන්ටය, මුදල් රක්ෂණය කර තියන්ටය. භික්ෂූන් වහන්සේ ගෙන් යැපෙන බලාපොරොත්තුවන, එසේ නො කළොත් දොස් කියන, සාප කරණ පිරිසක් නැත. ඒ නිසා ම කිසිවකුට බැඳීමක් නැත. එබැවින්ම නිදහසේ සේවය කිරීමට පිළිවන්කම ඇති එකම පිරිස භික්ෂූන් වහන්සේලාය. මේ බුද්ධිමත්, භක්තිමත් පිරිසෙන් මේ රට නියම ප්‍රයෝජන නො ගන්නේ මොන අභාග්‍යයක් නිසාද?

යම් කිසි ශ්‍රේෂ්ඨ ආයතනයක් වෙනුවෙන් මුළු ජීවිතයම පරිත්‍යාග කොට සිටින, කැප කොට සිටින, බුද්ධිමත් අවිවාහක විසිදහසක් පමණ වූ සමාජ සේවක පිරිමි හමුදාවක් මේ රටේ සිටිති. ඒ බෞද්ධ භික්ෂුන් වහන්සේලායි. ගම්වල දියුණුව සඳහා උන්වහන්සේලා ගෙන් ගත හැකි ප්‍රයෝජනය අප්‍රමාණය. රජුත්, මැති ඇමැතිවරුනුත් නිලධාරිනුත් උන්වහන්සේලා කොන් කොට තබා තිබෙන තුරු මේ රට එ තරම් ලේසියෙන් හැදිය හැකි නොවනු ඇත. භික්ෂූන් වහන්සේලා ද රටට ගැලපෙන පරිදි, සමාජයට ගැළපෙන පරිදි, සමාජයේ අවශ්‍යතා විසඳා ලිය හැකි පරිදි, සමාජයට අනුශාසනා කළ හැකි පරිදි සකස් වීමට කාලය පැමිණ ඇත. බුද්ධාගම පොතපතට හා වැඳුම්පිදුම්වලට පමණක් සීමාවීම වැළැක්විය හැක්කේ එවිටය.


 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]