UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක්සත්ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනය සැමරීමේ උත්සවය ශ්‍රී ලංකාවට ආශිර්වාදයකි

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනය සැමරීමේ උත්සවය ශ්‍රී ලංකාවට ආශිර්වාදයකි

" අප රට තුළ සිදුකරන මෙම ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමාවත් සමඟ ශ්‍රී ලංකාව බෞද්ධ ලෝකයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවාට කිසිම සැකයක් නොමැත. ඒ අතරම ලෝක ප්‍රජාවගේ පණීවුඩය තුළින් අප රටේ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික ප්‍රගතිය සඳහා මෙම උත්සවය මහත්සේ උපකාරි වනු ඇත."

නිර්මල සම්බුදුදහම මීට වසර 2500 කට ඉහතදී මහා භාරතයේ ආරම්භ වු අතර දැනට විසි එක්වන ශත වර්ෂය වන විට මුළු විශ්වයම පිළිගත් පිරිසුදු නිරවුල් දර්ශනයක් හා ආගමික ප්‍රතිපදාවක් බවට බුදුදහම පත්වී ඇත. ජාත්‍යන්තර ප්‍රජාවගේ අසීමිත භක්තියට බුදුදහම පත්වීමට බොහෝ හේතු සාධක ඇත.

ඒ අතරින් බුදුරදුන් වදාළ ධර්මයේ අන්තර් ගත සාමය, සමාදානය, සිතීමේ හා අවබෝධ කර ගැනීමේ නිදහස වැනි උසස් මානුෂික ගුණාංග මුළු විශ්ව තලයටම සාධාරණවු හෙයින් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත්ජාතීන්ගේ මූලස්ථානයේදී 1999 දී පැවැති මහා සම්මේලන සැසිවාරයේදී බුදුරජාණන් වහන්සේට ලෝක ප්‍රජාවගේ ඉමහත් ගෞරවය ප්‍රදානය කරන අරමුණින් වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් සැලකීමට ඒකමතිකව තීරණය කරන ලදී.

මෙම ශ්‍රේෂ්ඨ කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකා ජනරජය මූලිකව ක්‍රියා කිරීමත්, එවකට විදේශ කටයුතු භාර අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමන් ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම සභාගත කරන ලද බවත් මෙහි සඳහන් කරන්නේ ශ්‍රී ලාංකික අප තුළ පවතින සාඩම්බර හැඟීම අමතක නොකරමිනි.

ඉන් පසු වසර 2000 සිට 2016 දක්වා කාලය තුළ එක්සත්ජාතින්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය දහතුන් වතාවක් ඉතා සාර්ථකව සිදු කරන ලදී. මෙම මහත් ශාසනික කර්තව්‍යය සඳහා මහත් කැප කිරීමක් සිදුකරන ලද්දේ තායිලන්ත රජය හා තායි බෞද්ධ ජනතාව විසිනි. ඒ සඳහා පසුගියදා පරලොව සැපත් භූමිභෝල් අදුල්යදේජ් මහරජතුමාගේ අනුශාසකත්වය ඉතා ඉහළින් ලැබුණු අතර තායිලන්ත සංඝරාජ මාහිමිවරුන්ගේ ආශිර්වාදය නොපිරිහෙලා ලැබුණි. මෙම ජාත්‍යන්තර වෙසක් උත්සවය සාර්ථකව සංවිධානය කිරීම සඳහා තායිලන්ත රාජධානියේ මහා චූලාලංකාර බෞද්ධ විශ්ව විද්‍යාලය හා එහි අධිපති මහාචාර්ය පූජ්‍ය බ්‍රහ්ම පණ්ඩිත් නාහිමියන් ඇතුළු රාජ්‍ය සංවිධාන හා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් කමිටුව මෙම උත්සවය උත්කර්ෂවත් අයුරින් සිදු කළේ මුළු මහත් බෞද්ධ ලෝකයටම ගෞරවයක් ලබා දෙමිනි. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ නොමසුරු සහාය තායිලන්තයට ලබා දුන් බව මෙහි සඳහන් කරන්නේ මහත් බැති සිතිනි. ඊට අමතරව 2008 වසරේ හා 2014 වසරේදී වියට්නාම් රජය මගින් දෙවතාවක් මෙම උත්සවය එම රටෙහි ඉතාම සාර්ථක අන්දමින් සිදුකළ බව සඳහන් කරන්නේ ඉතාම සතුටිනි.

ශ්‍රී ලංකාව බෞද්ධ ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබා ඇති අතර පසුගිය කාලය තුළ අප රටට මුහුණදීමට සිදුවු අවාසනාවන්ත සිදුවීම් නිසා ලෝක ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණීමට හෝ ආයෝජනය කිරීමට මහත් බියක් දක්වන ලදී. එහෙත් වසර 30 කට ආසන්න අවාසනාවන්ත කාලය නිමවා සාමය උදාවීමත් සමඟ අප රට පිළිබද ජාත්‍යන්තර මතය සුබදායක විය.අනතුරුව වසර 2015 දී රාජ්‍ය පරිපාලනය හා නායකත්වය වෙනස්වීමත් සමඟ ලෝක ප්‍රජාවගේ මහත් අවධානය අප රටට යොමු විය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මුලිකත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවට මෙම ජාත්‍යන්තර උත්සවය ලබා ගැනීමට අවස්ථාව ලැබුණි. මෙම වැදගත් තීරණය ලංකාවට ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කමිටුව හා එහි විධායක සභාව අනුමැතිය ලබා දුන්නා පමණක් නොව මෙම උත්සවය සාර්ථක කර ගැනීමට මහත් උත්සාහයක යෙදෙන බව ඉතා සතුටින් සඳහන් කිරීමට කැමැත්තෙමි. එදා මෙදා කාලය තුළ ජාත්‍යන්තර වෙසක් කමිටුව ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ රටවල් අසූපහක සාමාජිකත්වය මේ සඳහා ලබාගැනීමට හැකිවීම බෞද්ධ ලෝකයට මහත් ආඩම්බරයකි.

2017 මැයි මස 12,13,14 යන දිනයන්හි අප රටේ මෙම උත්සවය ඉතා ඉහළින් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර 12,13 දෙදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී රාජ්‍ය නායකයන්ගේ හා සංඝරාජ හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් රටවල් 75 කට අධික බෞද්ධ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම ඉතිහාසගතවන සිද්ධියකි.

මේ සඳහා අපගේ ගරුතර තෛ‍්‍රනිකායික මහානායක මා හිමිපාණන් වහන්සේලා හා අනුනායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදය හා සහයෝගය ලබාදීම ගැන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් කමිටුවේ අනුමෝදනාත්මක ස්තුතිය මෙහිලා සඳහන් කරමි. මෙම ජාත්‍යන්තර වෙසක් සමුළුවේදී බෞද්ධ චින්තනයේ ඉගැන්වෙන ‘සමාජ සාධාරණත්වය හා තිරසර ලෝක සාමය” යන මාතෘකාව යටතේ ශාස්ත්‍රීය දේශන හා වැඩමුළු පැවැත්වීමට කටයුතු යොදා ඇත. මැයි මස 14 වනදා සෙංකඩගල රාජධානියට ගමන් කරන ජාත්‍යන්තර බෞද්ධ ජනතාව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා මහ මලුවේදී ලෝක සාමය පතා අධිෂ්ඨාන පූජාවක් පවත්වන අතර එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර වෙසක් සමුළුවේදී ප්‍රතිඥාවක් ඉදිරිපත් කිරීමෙන් පසු මෙම ඓතිහාසික ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමාවට පත්වෙනවා ඇත.

අප රට තුළ සිදුකරන මෙම ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමාවත් සමඟ ශ්‍රී ලංකාව බෞද්ධ ලෝකයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවාට කිසිම සැකයක් නොමැත. ඒ අතරම ලෝක ප්‍රජාවගේ පණීවුඩය තුළින් අප රටේ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික ප්‍රගතිය සඳහා මෙම උත්සවය මහත්සේ උපකාරි වනු ඇත.


 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]