Print this Article


බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය උත්කර්ශවත් අන්දමින් පවත්වනවා ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය උත්කර්ශවත් අන්දමින් පවත්වනවා - ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් තිබෙන බව ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රකාශ කළහ.

ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් එසේ ප්‍රකාශ කළේ ඉකුත් (20දා) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති හමුවකට සහභාගි වෙමිනි.

ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙසේද පැවසූහ. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය ආරම්භ කළේ ඉතා කුඩාවට. වර්තමානයේ මෙම වෙසක් මංගල්‍යය නැරඹීම සඳහා විශාල ජනතාවක් සහභාගි වෙනවා. මෙය ඉතාමත්ම විචිත්‍රත්වයෙන් යුත් උත්සවයක් බවට වර්තමානයේ පත්වෙලා. ගංගාරාම විහාරස්ථානයත්, අග්‍රාමාත්‍ය කාර්යාලයත් ඒකාබද්ධවයි මෙය පවත්වන්නේ.

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අප මෙම වෙසක් මංගල්‍ය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. මේ අවස්ථාව සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය, විහාරස්ථ දායක සභාවේ සාමාජිකයින්ද සහභාගි වුණා. එක්සත් ජාතින්ගේ වෙසක් දින උත්සවයට සමගාමීව පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ වැදගත්කම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා අපට පැහැදිලි කළා. විදේශීය නියෝජිතයින් විශාල පිරිසක් මෙය දැකබලා ගැනීමට පැමිණෙන බව පෙන්වා දුන්නා.

බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය දහවන වරටයි මෙවර පවත්වන්නේ. මැයි මස වෙසක් පුන් පොහෝ දිනෙන් ආරම්භ වී 14 දිනෙන් මෙය අවසන් වෙනවා. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ හා දෙස් විදෙස් ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් උත්සවය ආරම්භවන බව පැවසූහ.