Print this Article


වෙසක් උත්සව පුරාණය සහ බෞද්ධ පුනරුදය

වෙසක් උත්සව පුරාණය සහ බෞද්ධ පුනරුදය

වෙසක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ මැයි මාසය හෙවත් චන්ද්‍ර මාසයේ නමයි.එයම වෛශාඛ යනුවෙන් සංස්කෘත භාෂාවෙන් හඳුන්වයි. උතුරු ඉන්දියාවේදී “වෛශාඛ පූර්ණිමා” යනුවෙන් පූර්ණ චන්ද්‍රයා පායන දවස ලෙස හඳුන්වයි.

බක් පොහොයෙන් පසුව යෙදෙන වෙසක් පොහොයෙන් උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කරයි. මහා වංශය ඇතුළු වංශ කතාවල සඳහන් පරිදි අපගේ රජවරු වෙසක් උත්සවය උත්කර්ෂවත්ව සැමරූ බව සඳහන් වෙයි.පස්වන සියවසේ දී පාහියන් භික්ෂූන් වහන්සේගේ දේශාටන වාර්තාවල වෙසක් පොහොය උත්සව පැවැත්වූ බව සඳහන් වෙයි. එම වාර්තා අනුව සෑම වර්ෂයකම දෙවන මස පෙරහරක් පවත්වා රෝද හතරක් ඇති රථයක් සාදා එකට බඳින ලද බටවලින් පස්මහල් තට්ටුවක් සාදති.රත්රන් සහ රිදී වලින් දේව රූප සාදති. සතර පැත්තෙන් කුහර හතරක් සාදා එහි බෝධ්සත්ත්ව රූපද තැන්පත් කරති. ඇතැම් විට සිත්තම් කළ ප්‍රතාපවත් රථ විස්සකට වඩා ඇත. එහෙත් එකක් අනෙකකට වඩා වෙනස්ය.යනුවෙන් සඳහන්වෙයි. ඉන්දියාවේ ක්‍රමයට අනුව වෛශාඛ යනුවෙන් හඳුන්වන දෙවන මාසයෙහි පැවැත්වූ බව පාහියන් භික්ෂුවගේ වාර්තාවල සඳහන් කරයි. ඇතැම් විට පාහියන් භික්ෂූන් වහන්සේ දකින්නට ඇත්තේද සියවස් හතකට පෙර අශෝක අධිරාජ්‍යයා විසින් පවත්වනු ලැබූ උත්සවයක, නොකඩවා පැවැත්වීමක් ලෙස විය හැකි බව ඇතැම් තැනක සඳහන් වෙයි. මහජනතාවට දිව්‍යමය දර්ශන ලබාදෙන රථවල පිහිටවූ දේව රූප සහිත පෙරහර සහ දර්ශන අශෝක අධිරාජ්‍යයා පටන් ගත් බව හතරවන අශෝක සෙල්ලිපියෙහි සඳහන් වෙයි.

ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය වන ක්‍රි.පූ 101-77 අතර කාලයෙහි වෙසක් උත්සව විසිහතරක් පැවැත්වූ බව මහා වංශයෙහි දෙවන පරිච්ඡේදයේ සඳහන් වෙයි . ඇතැම් විට පෙර තිබූ උත්සවයක් පනගන්වා විසිතුරු ලෙස පැවැත්වූවා විය හැකියි.

දුටුගැමුණු රජතුමාගෙන් පසුව රජවරු හත්දෙනෙක් පිළිබඳව කරුණු සඳහන් වෙයි. භාතිය රජුගේ කාලයෙහි ක්‍රි. ව. 38-67 වෙසක් උත්සව විසි අටක් පැවැත් වූ බවත්,බුද්ධ රූප තනා රථයක තැනැපත් කර වීදී සංචාරය කරමින් ගිහිජනතාවගේ යහපත අරමුණු කරගෙන ආහාර ද්‍රව්‍ය, රෙදිපිළි ලබාදෙමින් වෙසක් උත්සවය පැවැත්වූ බවත් සඳහන් වෙයි. ක්‍රි. ව. 127-17 වසභ රාජ්‍ය සමයෙහි වෙසක් උත්සව 24 ක් පැවැත්වූ බව සඳහන් වෙයි. ක්‍රි.ව. 269-261 වෝහාරතිස්ස රාජ්‍ය කාලයෙහි වෙසක් උත්සව පවත්වා ලක්දිව සියලු භික්ෂූණ් වහන්සේලාට තුන් සිවුරු පිදූ බව සඳහන් වෙයි. ක්‍රි.ව. 323-336 ගෝඨාභය රාජ්‍ය කාලයෙහිත් ජෙට්ඨතිස්ස රාජ්‍ය සමයෙහිද දල්ල මොග්ගල්ලාන රජුද දෙවන සේන රජුද, දෙවන පරාක්‍රමබාහු රජතුමා යන රජවරු භික්ෂූන් වහන්සේලාට චීවර පූජා පවත්වමින්ද ,සතුන් නිරාහාරව නොතබා සතුන්ට ආහාර ලබාදුන් බව සඳහන් වෙයි. එම ක්‍රමය අනුගමනය කරමින් වර්තමානයෙහි දන්සැල් පවත්වයි.වෙසක් උත්සව පිළිබඳව පූජාවලියෙහි මෙලෙස සඳහන් වෙයි. දවස් මේඝ රාජයාණන් හස්තිරූප ව්‍යාජයෙන් බුදු මඟුලට බැස මිහි මඬළෙහි ඇවිදිනා සේඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්තිරූප සංස්කෘතීන් හා පූජා ලෝලීන් දි වූ සමුදු රාජයාගේ මහ රළ පෙළසේ ඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පන්තීන් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර හරහා සතන් සුවහස් ගණන් සංඝයා හා මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස් කොට වෙහෙර සිසාරා ගවු මානයෙහි පූජා පෙළහරින් මිටගත් මනුෂ්‍ය සේනාවම අතුරු නොදී සිටිනාසේ නියෝග කොට යනුවෙන් එම වෙසක් උත්සවයක තිබිය යුතු සියලුම අංගයන් ප්‍රකාශ වෙයි. පුරාණයෙහි වෙසක් උත්සවයක පැවැති ස්වරූපය වෙයි.

කෝට්ටේ යුගයේ වෙසක් උත්සවයක් පැවැත්වූ බවට විශේෂ සඳහනක් නැහැ. නමුත් නූතනයෙහි කොළඹ යුගය වන විට වෙසක් උත්සව පැවැත්වූ බවට ලිපි ලේඛනවල කරුණු සඳහන් වෙයි. මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාගේ ලිපියෙහි සඳහන් ආකාරයට වෙසක් “කැරොල් ගීතයෙහි විකාශනය” යන ලිපියෙහි තොරතුරු සඳහන් වෙයි. කැරොල් ගී කතෝලික ආගමට අයත් වුවත්, එම කැරොල් ගීත දෙස බලාගෙන භක්ති ගීත ගායනා කළ බව සඳහන් වෙයි. ස්ටීල් ඕල්කොට් තුමාගේ පැමිණීමෙන් පසු කොළඹ ඇතිකරනු ලැබූ ඉංගී‍්‍රසි පාඨශාලාව පසුව ආනන්ද විද්‍යාලය බවට පත් විය. පීටර් විදුහල්පතිතුමාගේ කාලයෙහි දරුවන් කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේට වන්දනා පිණිස ඉංග්‍රීසි සහ සිංහල ගීත පිටකොටුවෙහි ගායනා කළ බවට තොරතුරු ලැබෙයි. "අප සමිඳා බුදු රජිදා ඔබයි ලොව ඉහළම විරුවා" යන ගීතයද,"බුදුවනි , අදයි වෙසක් පොහොදා"යන ගීතයද ගායනා කළ පළමු භක්ති ගී කණ්ඩායම එය බව සඳහන් වෙයි. මහාචාර්ය ගුණපාල මළලසේකර මහත්මයා සමස්තලංකා බෞද්ධ සම්මේලනය ඇතිකරමින් එහි සභාපති ලෙස පත්විය. බෞද්ධ සම්ෙමිලනය 1918 දී බිහි වුණි. සර් .බාරොන් ජයතිලක මහත්මාගේ කාලයෙහි ඇති වුණත් ඊට පෙර තරුණ බෞද්ධ සංගමය බිහිව තිබුණි. එම සංගම් සමඟ කොළඹ නගරයෙහි ව්‍යාපාරිකයන් හා උගතුන් ඒකරාශීව බුද්ධ ශාසනය දියුණු කිරීමට කටයුතු කළ අතර මේ සඳහා පංච මහා වාද සමඟ පෙළගැසීමක් සිදුවුණි. මෙගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන් පංච මහා වාදය සිදු කරන අවස්ථාවෙහි අනගාරික ධර්මපාල තුමා කුඩා අවධියෙහි එය අසාගෙන සිටි බව ස ඳහන් වෙයි. ධර්මාරාම ස්වමීන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළ අතර හික්කඩවේ සුමංගල නා හිමියන් විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළ බවත් උන්වහන්සේලා දෙනමටම ගුරුවූ ස්වාමීන් වහන්සේ පරමධම්මෙචිතිය පිරිවෙන ආරම්භ කළ බව සඳහන් වෙයි. මේ සමඟ ලොකු බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවූ අතර සරණංකර සංඝරාජ ස්වාමීන් වහන්සේගේ කටයුතු සමඟ නැතිව ගිය උපසම්පදාව තායිලන්තයේ සියම් දේශයේ උපාලි තෙරුන් වහන්සේගේ ආරම්භ වු බව සඳහන් වෙයි. සියම් මහා නිකාය 1853දී ආරම්භ වූ බවත්, 1802 දී අමරපුර නිකාය ආරම්භ වු බවත්, 1864 දී රාමඤ්ඤ නිකායත් බිහි විය. මෙම ප්‍රබෝධයත් සමඟ වර්තමාන ප්‍රබෝධය කරා අඩු වැඩි වශයෙන් දියුණු වුණා. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1885 දී එවකට ආණ්ඩුකාරයාගෙන් වෙසක් දිනය පොහොය දිනය නිවාඩු දිනයක් බවට පත්කරන ලෙසට පළමු ඉල්ලීම සිදුකළා. ඒ අතර රාජ්‍ය මන්ත්‍රණ සභාෙවිදී පැවැති සාකච්ඡාවට හික්කඩුවේ සුමංගල ස්වාමීන් වහන්සේ පොන්නම්බලන් රාමනාදන් තුමාට ලියන ලද ලිපියකට අනුව වෙසක් පොහොය නිවාඩු දිනයක් කරන ලෙසට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ඉල්ලීමක් කළ බව සඳහන් වෙයි. ඒ අනුව අපට නිවාඩුව ලැබුණ අතරම පසුකාලීනව ලෝක බෞද්ධ සම්මේලනය ආරම්භ විය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ ලිපියක සඳහන්ව තිබූ ආකාරයට සන්දේශය වැඩ සටහන බ්‍රිතාන්‍ය පාලකයන් පවත්වන විට ආනන්ද ගුරුගේ ආචාර්යතුමා ,සද්ධාතිස්ස හාමුදුරුවන් සමඟ සාකච්ඡා කර වෙසක් උත්සවය අන්තර්ජාතික නිවාඩු දිනයක් කළ යුතු බවට ඉල්ලා සිටි බවට සඳහන් වෙයි. එය එසේ සිදු නොවුණත් 1998දී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවේදී යෝ ජනාවක් සම්මත කරගනු ලැබීය. ඒ අනුව එවකට විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාමර් ඇමැති තුමා තායිලන්තයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහභාගිව ජිනීවාහිදී මේ බව ප්‍රකාශ කළා. තායිලන්තය වැනි රටවල එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය ආරම්භ කරනු ලැබූ අතර මෙවර 14 වෙනි වතාවට ලංකාෙවි එම වෙසක් උත්සවය පැවැත්වෙයි. එම උත්සවය ආමිස හා ප්‍රතිපත්තිමය පූජාවන් වශයෙන් ලංකාව තුළ සිදුකෙරෙයි. වෙසක් උත්සවයට සමගාමීව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාපරිශ්‍රයෙහිදීත්, නෙළුම් පොකුණ රඟහලෙහිදීත් ,මහනුවර ඓතිහාසික සෙංකඩගල දළදා මාලිගාවේදීත් මැයිි 12දා සිට 14 වනදා දක්වා ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි ඉදිරිපත් කරමින් සමුළුවක් පැවැත් වෙයි. මැයි10 දිනට යෙදී තිබෙන වෙසක් පොහොය දිනට බොහෝ විහාරස්ථානවල සැදැහැවතුන් සීල සමාදාන වැඩ සටහන්වලට සහභාගි වෙයි.

එම අවස්ථාව පසුකරමින් වෙසක් සිරි නැරඹීමට තොරණ නැරඹීමට මිනිසුන් කොළඹට සහ තදාසන්න ප්‍රදේශවලට පැමිණෙයි. වෙරි මතින් ඔළු බක්කන් නටන සැණකෙළියක් නොවන බවත් ,පුණ්‍ය උත්සවයක් බවත් අවබෝධ කරගත යුතුයි. ඇතැම් තරුණ කණ්ඩායම්වල හැසිරීම එතරම් සුදුසු නැහැ. අසීලාචාර ලෙස හැසිරෙමින් කාන්තාවන්ට හිරිහැර කරන තත්ත්වයට පවා පවත්වෙන අවස්ථා නැතිවා නොවෙයි. එවිට වෙසක් උත්සවයේ ගැඹුරු අර්ථය මැකී යයි. වෙසක් උත්සවය බොහොම සංයමයෙන් සිත පහන් කරන පින්කමක් ලෙස රැගෙන ආ බව දැන ගත යුතු කරුණක් . තමන්ගේ ගමේ පන්සල අඳුරෙහි නොතැබීමට කටයුතු කළ යුතුයි. රජ කාලයෙහි සිටම මෙවැනි දේ සිදුවෙලා තිබෙන නිසාත් වෙසක් ඉතා වටිනා ආගමික උත්සවයක් බව අවබෝධ කරගත යුතු කාරණාවක්

. එහිදී සිංහල බෞද්ධ කුඩා කණ්ඩායමක් ජීවත් වුණත්, අනෙකුත් ජාතිකයන්ද බොහෝ අවස්ථාවල දන්සැල් දෙමින් , පහන්කූඩු නැරඹීමෙන් ,වෙසක් උත්සවය සඳහා උපකාර කරයි. එවැනි ක්‍රම තුළින් ආගමික සංහිඳියාවක් ඇති වෙයි.එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයෙහි මෙවර තේමාව වූයේද , බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලින් ගත හැකි ප්‍රයෝජන කුමක් සඳහාද? සමාජ සාධාරණත්වය සහ තිරසර සාමය උදෙසා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රධාන තේමාව කරගෙන ඇත. එම තේමාව සඳහා ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්,බුද්ධ ශාසන ඇමැති තුමා ඇතුළු රජය කළ ඉල්ලීමකට අනුව අපට මෙවර ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවට ලැබුණා. ශාස්ත්‍රීය පොතපත මුද්‍රණය වෙන අතරම ශාස්ත්‍රීය සාකච්ඡා , ධර්ම සාකච්ඡා පවත්වමින් නොයෙක් ආකාරයේ අසිරිමත් බවක් උසුලයි. ජාත්‍යන්තර වශයෙන්ද ජාතික වශයෙන්ද මෙම උත්සවය වැදගත් අවස්ථාවක් වන බවට විශ්වාස කළ හැකියි.