Print this Article


අ.පො. ස උසස් පෙළ විභාගය 2017 : ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ඨාචාරය අභ්‍යාස - 4

අ.පො. ස උසස් පෙළ විභාගය 2017 :

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ ශිෂ්ඨාචාරය අභ්‍යාස - 4

වඩාත් නිවැරැදි පිළිතුරෙහි අංකය ඉදිරියේ ඇති වරහන් තුළ ලියන්න.

1. ස්ථානෝචිත ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ සතු විශිෂ්ට ප්‍රඥා ගුණයකි. මෙම ප්‍රඥාව අයත් වන බුදුරදුන් සතු ඥාන සම්පත්තිය වූයේ,

1. දසබල ඥානයන්ය. 2. අෂ්ඨ විද්‍යාවන්ය. 3. පසළොස් චරණ ධර්මයන්ය 4. ත්‍රිවිද්‍යාවන්ය 5. අෂ්ඨ පර්ෂද්‍ය අකම්ප්‍ය ඥානයන්ය.

2. බුදුරජාණන් වහන්සේ වෙතින්ම ශ්‍රමණ භූමියට පත්ව වැරැදි සහගත හැසිරීම්වල නිරත වූ භික්ෂූන් බුද්ධ කාලයේද විසූහ. එසේ වැරැදි සහගත හැසිරීම්වල නිරත වූ භික්ෂූන් වහන්සේ නමක් වූයේ,

1. ආනන්ද තෙරුන්ය 2. සැරියුත් තෙරුන්ය 3. සුනක්ඛත්ත තෙරුන්ය 4. අංගුලිමාල තෙරුන්ය. 5. රාහුල තෙරුන්ය

3. සිදුහත් කුමරුගේ දේහ ලක්ෂණ අනුව හෙතෙම ගිහිගෙයි වාසය කළහොත් නිතැතින්ම සක්විති රජ බවට පත්වන බව බමුණන් ප්‍රකාශ කළ අතර සිය පුත්‍රයා සක්විති රජෙකු කිරීම පියා වූ සුද්ධෝදන රජුගේ මූලික අභිප්‍රාය විය. මේ සඳහා කුමරුට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම සඳහා යොමු කරන ලද්දේ,

1. අසිත තවුසා වෙතටය 2. කොණ්ඩඤ්ඤ තවුසා වෙතය 3. ධජ බමුණා වෙතය 4. ලක්ඛණ බමුණා වෙතය 5. සර්ව මිත්‍ර බමුණා වෙතය.

4. බුදුරජාණන් වහන්සේගේ දෛනික චර්යා පිළිවෙතෙහි වර්ෂ 45ක කාලය තුළම පවත්වාගෙන ආ අපූර්ව කාර්යයක් ලෙස සැලකිය හැක්කේ,

1. සෑම දිනකම ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩීමයි.

2. සෑම මොහොතකම භික්ෂූන්ට අවවාද අනුශාසනා කිරීමයි.

3. අලුයම නැගිට මහා කරුණා සමාපත්තියට සමවැදී සත්ත්වයාගේ ස්වභාවය දෙස බැලීමයි.

4. සෑම සිද්ධියක් පාදක කරගෙන විනය නීති පැනවීමයි.

5. අලුයම නැඟිට තම වැඩ කටයුතු යුහුසුළුව කිරීමයි.

5. බුදු දහමේ දැක්වෙන සාමඤ්ඤ ඵල, මංගල, පරාභව යන සූත්‍රයන් බුදුරදුන් දේශනා කරන ලද්දේ ප්‍රශ්න ඇසූ විට ඊට පිළිතුරු වශයෙන්ය. මෙය තථාගතයන් වහන්සේ තුළ පැවැති ධර්ම දේශනා ක්‍රමයන්ගෙන් එකකි. එය නම්,

1. අත්ථජ්ඣාස දේශනා ක්‍රමයයි 2. පර්ජ්ඣාස දේශනා ක්‍රමයයි 3. පූච්ඡාවසික දේශනාක්‍රමයයි 4. අට්ඨුප්පතික දේශනා ක්‍රමයයි, 5. ඨපනීය දේශනා ක්‍රමයයි.

6. දිනක් බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ මහපටගිල්ලේ නිය පිටට පස් ස්වල්පයක් ගෙන භික්ෂූන්ට පෙන්වා දෙන ලද්දේ තම නිය පිටේ ඇති පස් ස්වල්පයට වඩා මහ පොළොවේ ඇති පස් ප්‍රමාණය ඉතා විශාල බවයි. මෙම නිදර්නයෙන් උන්වහන්සේ විදහා දැක්වූයේ,

1. මිනිසුන් අතර පැවිදි ජීවිතයට ඇතුළත් වන පිරිස නිය පිටැති පස් තරම් ඉතා අල්ප බවයි.

2. මිනිසුන් අතර සදාචාරවත් ජීවිතයක් ගත කරන පිරිස නිය පිට ඇති පස් තරම් ඉතා අල්ප බවයි.

3. සතුන් අතර සිට මිනිසුන් සේ උපදින පිරිස මගේ නිය පිට ඇති පස් තරම් සේ ඉතාම අල්ප බවයි.

4. මිනිසුන් අතර සිටින වැරැදි ක්‍රියාවල යෙදෙන පිරිස මාගේ නිය පිට ඇති පස් තරම් ඉතාම අල්ප බවයි.

5. මිනිසුන් අතර සිට සත්ත්වයන් සේ උපදින පිරිස නිය පිට ඇති පස් තරම් ඉතා ස්වල්ප බවයි.

07. අටලෝ දහමෙහි නපුර වඩාත් තදින් දැනෙන්නේ අලාභය, අයස, නින්දා හා දුක ඉදිරියේ ය. අප තථාගතයන් වහන්සේ ද එසේ මුහුණ දුන් අවස්ථා ගණනාවක්ම ත්‍රිපිටකයේ දැක්වේ. එවැනි තත්ත්වයකට ඉන්ද්‍රඛීලයක් සේ මුහුණදීමට හැකි වූ බුදුරදුන්ගේ මෙම ගුණය හඳුන්වනු ලබන්නේ,

1. මහා කරුණා ගුණය යනුවෙනි.

2. සත්ථා ගුණය යනුවෙනි.

3. පුරිස දම්ම සාරතී ගුණය යනුවෙනි.

4. අරහං ගුණය යනුවෙනි.

5. තාදි ගුණය යනුවෙනි.

08. පැවිද්ද යනු ජීවිතයට අයත් සියල්ල අත් හැරීමයි. මෙසේ ආරම්භ කරන භික්ෂු ජීවිතය අල්පේච්ඡ වූ එකකි, භික්ෂුව යනු සිවුරු දරන්නා වූ පිඬු පිණිස හැසිරෙන්නා වූ සසර බිය දකින්නා වූ අයෙකි. මුල් කල බුදුරදුන් පැවිද්ද හා උපසම්පදාව විමධ්‍යගත කළ අතර මේ නිසා පැවිද්ද හා උපසම්පදාව ක්‍රම කීපයකට සිදු විය. එම ක්‍රම අතර ඕවාදපටිග්ගහන පැවිදි උපසම්පදාවෙන් පැවිදි බව ලැබූ පළමු ශ්‍රාවකයා වූයේ,

1. සුනීතය, 2. රාධ බමුණාය 3. පිප්පලී මාණවකයාය 4. කොණ්ඩඤ්ඤ තවුසාය 5. සෝපාකය

09. “යේ ධම්මා හේතුප්පභවා - තේසංහේතු තථාගතෝ ආහ

තේසංච යෝ නිරෝධෝ - ඒ වං වාදි මහා සමනෝ”

මෙම ගාථාව දේශනා කරන ලද්දේ,

1. අස්සජිතෙරුන් විසින් කෝලිත පරිබ්‍රාජකයාටය.

2. අස්සජි තෙරුන් විසින් උපතිස්ස පරිබ්‍රාජකයාටය

3. පුණ්ණ තෙරුන් විසින් සුනාපරන්ත ජනපදවාසීන්ටය

4. ආනන්ද තෙරුන් විසින් කොසොල් ජනපද වාසීන්ටය.

5. බුදුරදුන් විසින් අස්සජි තෙරුන් හටය.

10. ගිහි අයෙකු උත්තරීතර වූ පැවිදි බව ලබා ගන්නේ පහත සඳහන් කවර පරමාර්ථයක් මුදුන් පමුණුවා ගැනීමටද?

1. ඥාති මිත්‍රාදීන්ගෙන් ගරු බුහුමන් ලැබීමටය.

2. පහසුවෙන් ජීවනෝපාය ගෙන යෑමටය.

3. මහජනයාගේ වැඳුම් පිදුම් ලබා ගැනීමටය.

4. අඹු දරුවන්ට යුතුකම් ඉටු කිරීමටය.

5. ගිහි ජීවිතය සම්බාධක සහිත කෙලෙස් ඇති වන තැනක් බැවින් ඉන් මිදීමටය.

පිළිතුරු

1 – 5 ,2 – 3 ,3 – 1 ,4 – 3 ,5 – 3 ,6 – 3 ,7 – 5 ,8 – 3 ,9 – 2 ,10- 05