Print this Article


තැනට සුදුසු මුදු ගුණය

කරණීය මෙත්ත සූත්‍රයෙන්...

තැනට සුදුසු මුදු ගුණය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රී මූර්ති මහා නා හිමි

‘දයාදාක්ෂිණ්‍ය’ යනු අපගේ භාෂා ව්‍යවහාරයේ එන වචනයකි. ‘දයා’ නම් දයාවය. කරුණාව, මෛත්‍රිය, ආදරය, යහපත් අදහසට එකඟවීම ආදි ගුණයන්ගෙන් යුතුවීමය. ‘දාක්ෂිණ්‍ය’ නම් අනුන් සතුටුවන ආකාරයට කටයුතු කිරීමය. දයාදාක්ෂිණ්‍ය, මුදුගුණයට සමානය. මුදු ගුණ ඇත්තෝ කීකරු වෙති. ආදරණීය වෙති. අවවාද අසති. පිළිගනිති. හොඳ දෙයට කන්දෙති.වරද අමතක කරති. ළතෙත් හදවත් වූවෝ වෙති. දුකේදී ළඟ හිඳිති. විපතේදී පිහිට වෙති. මුදු මොළොක් වදන්ම කියති. දරදඬු නොවෙති. ප්‍රතිපත්ති රකිති.

කරණීය මෙත්ත සූත්‍රයේදී මෙත් වඩන්නෙකු තුළ තිබිය යුතු ගුණයක් ලෙස පුරුදු පුහුණු කරන්නට පෙන්වාදුන් මුදුගුණය සාමාන්‍ය ජීවිතයේද සාර්ථකත්වයට හේතුවන උතුම් ගුණධර්මයකි.

පදම් කළ සමක් කැමැති අතකට නැමිය හැකිය. රත්කළ යකඩයකට කැමැති හැඩයක් දීමට පුළුවන. උණුකළ රන් පිඬකින් නේක හැඩයේ අභරණ නිර්මාණය කළ හැකිය. ප්‍රයෝජනවත් බවක් දීමට පුළුවන. ජීවිතයටද එවැනි නම්‍යශීලි බවක් අවැසිය. දරදඬු වූයේ නම් ඔවුනොවුන් හා පැවැත්ම අසීරුය.

පුංචි දරුවන්ට, තරුණ තරුණියන්ට, අඹු සැමියන්ට, මවුපිය දෙපළට, වැඩිහිටියන්ට නම්‍යශීලි බවක් නොවේ නම් ඔවුන් දිවි ගෙවන ගෘහය සුවදායක නොවන්නේය. එවැන්නන්ගෙන් සැදුණූ ගම,රට සාමකාමී නොවන්නේය.

වඩාත් මුදු ගුණ ඇත්තෝ පුංචි දරුවෝය. හරියට උණුකළ රත්‍රන් පිඬක් සේය.ආදර්ශයෙන්, අවවාදයෙන් ඔවුන්ට හොඳ නිමැවුමක් දෙන්නට පුළුවන. සරලව කියනවා නම් අනාගතයට හොඳ පුරවැසියෙක් නිර්මාණය කරන්නට පුළුවන. පුංචි දරුවා ජීවිතය ඉගෙන ගන්නේ ඇසෙන දකින දෙයිනි. මවුපියන් මුදු ගුණ ඇති නම් දරුවෝද ඒ මඟ යති. දරදඬු නම්, දරුවෝද දරදඬු වෙති. අනුකරණය ඔවුන්ගේ ස්වභාවය වන බැවිනි.

ආදරයට, සෙනෙහසට, කරුණාවට, දයාවට පුංචි දරුවන්ගේ සිත ක්ෂණයකින් නැමේ. වචනයෙන්, පෙනුමෙන් මනිනවා මිස කෙනෙකුගේ අභ්‍යන්තර සිතිවලි, කපටිකම් ,බොරු වංචාකාරකම් තේරුම් ගන්නට දරුවන්ට අවබෝධයක් නැත.මේ නිසා බාහිරින් පෙන්වන මුදු බව හමුවේ ඔවුන් වංචනිකයන්ට හසුවීමට ද ඉඩ ඇත.

නිදිකුම්බා පැළෑටිය යාන්තමින් ස්පර්ශ කළද හැකිළේ. කරදරයක් නොවේ. තදින් ස්පර්ශ කළද හැකිළේ. එහෙත් විෂ කටු ඇනේ.තුවාල සිදුවේ. වේදනා විඳින්නට සිදුවේ. සමහර මනුෂ්‍යයෝ ද එවැනිය. නැමෙන බව පෙන්වමින් අනෙකක් කරති. උපායෙන් රවටති. විපත් ගෙන දෙති. මේ නිසා මව්පියන් දරුවන් පසුපසම හිඳිමින් ඔවුන් ආරක්ෂා කළ යුතුවේ.

අඹු සැමියන් ඔවුනොවුන්ට මුදු නොවූ තැන විවාහ දිවිය නීරසය. බිරියගේ මුදු මොළොක් වචනය, සැමියාගේ මුදු මොළොක් වචනය දෙදෙනාගේම සිත නිවයි. තැවුල් සෝ දුක් නසයි. ප්‍රශ්න, ගැටුම් දුරදිග නොයවයි.

නැන්දම්මා ලේලියටත්, ලේලිය නැන්දම්මාටත් මුදු මොළොක් වූයේ නම් ඒ පවුලේ කිසිවෙක් ඔවුනොවුන් නිසා අසරණ වන්නේ නැත.

ගුරුවරයා සිසු දරුවන්ට මුදු සිතින්, වචනයෙන් ඔවදන් , දෙන්නේ නම්, ශිෂ්‍යයා ගුරුවරුන් වෙත මුදු වන්නේ නම් පැහැබර වන්නේ හෙට රටේ අනාගතය ය.

මුදු මොළොක් වචනය ගැටුම් දුරදිග නොයවන්නේය. කෝපයෙන් දැවෙමින් ගිනියම් වූ සිතකට වුවද මුදු මොළොක් වචනය සිහිලැල් දිය බිඳකි. නිවීම ඇති කරන්නකි.

දිනක් එක් කුමාරයෙක් සිය මව සහ තවත් පිරිසක් සමඟින් ගමනක් යමින් සිටියහ. පුතු මුදු මොළොක් ගති ඇතත් මව දරදඬුය. සැරපරුෂ අමිහිරි වදන් ඇත්තීය. කිසිවෙක් පි‍්‍රය නොකරන්නීය. මහ වන මැදදී කෑරලයෙක් හැඬුවේය. ඒ අමිහිරි අසුබ හඬෙකුයි සියල්ලෝ දෙකන් වසා ගත්හ. අම්මා ද පුතුද එසේම කළෝය. තවත් ටික දුරක් යන විට කොවුලෙකුගේ මිහිරි නාදයක් ඇසුණි. ඒ කන්කළු හඬට ඉතා ආශාවෙන් ඇහුම්කන් දෙමින් පිරිස සතුටුවූහ.

‘පෙනේද මෑණියනි, කෑරලාගේ අමිහිරි හඬ නිසා දෙකන් වසා ගත් සැටි. කෝකිලයාගේ මිහිරි නාදය අසා සතුටු වූ හැටි” පුතු මවට කීවේය. කටුක වචනයෙහි, සැරපරුෂ බිණීමෙහි වරද අම්මා තේරුම් ගත්තාය. ජාතක පොතේ එන මේ කතා පුවත දෙන පණිවුඩය අපූර්වය.

මුදු ගුණයට ස්ථානෝචිත ප්‍රඥාවද ඇවැසිය. මෘදු නොවිය යුතු අවස්ථාද තිබේ. අයහපතට, නරකට, මෘදු නොවිය යුතුය. නොනැමිය යුතුය. ප්‍රතිපත්තිගරුක විය යුතුය. යහපත අයහපත තෝරාගන්නට ප්‍රඥාව තිබිය යුතුය. ජීවිතය වඩාත් සාර්ථක වන්නේ එවිටය.