Print this Article


කරණීය මෙත්ත සූත්‍රයෙන් : සිහියෙන් අසන්න අවබෝධයෙන් දරන්න

කරණීය මෙත්ත සූත්‍රයෙන් :

සිහියෙන් අසන්න අවබෝධයෙන් දරන්න

සුවච බව නම් ඇහුම්කන් දීමය. තවත් කෙනෙකුට යමක් කීමේ පහසුව ඇති කරවීමය. තමන්ගේ වරදක්, අඩුපාඩුවක්, මඟ හැරවීමක් පෙන්වා දෙන විට එය පිළිගන්නට සූදානම් නම් ඒ පුද්ගලයා සුවච ගුණයෙන් යුතුය.

සමහරු තමන්ට වරදින බව නොදනිති. වැරැදි යැයි පෙන්වා දුන්නද පිළිගන්නට මැළිවෙති. ‘මම වැරැදි කරන බව ඔබ දන්නේ කෙලෙසද?” ‘කවුරුද කීවේ, කවද ද කීවේ.” ‘මාගේ අඩුපාඩු කියන්නට ඔබ කවුරු යැයි සිතුවාද ? එවැනි අවස්ථාවන්හි තවත් සමහරෙක් ප්‍රතිචාර දක්වන්නේ මේ ලෙසය. මේ අතර තවත් කෙනෙක් ඇහුම්කන් දෙති.ධාරණයට නොගනිති. පිළිගන්නා බව පෙන්වමින් නොපිළිගනිති. වරද පෙන්වාදුන් කෙනාම විවේචනය කරති.

අකීකරු සිතිවිලිවලින් මෙහෙයවන මෙවැනි ගති ස්වභාවයන් නිසා, සුවච ගුණය නැති නිසා ජීවිතයම වරදා ගත් අය අප අතර වෙති. එහෙත් සම්බුදු දහමේ අවධාරණය කරන්නේ වඩාත් යහපත් වූ ,නිවැරැදි ජීවිතයක් සඳහා ලොකු කුඩා කවුරු තුළත් අනුන්ට ඇහුම්කන් දීමේ ගුණය වර්ධනය කරගත යුතු බවය.

ඇහුම්කන් දීම තුළ අපට නොපෙනෙන වැරැදි හඳුනා ගන්නට ලැබේ. වැරැදි අඩුපාඩු නිවැරැදි කරගන්නට අවස්ථාව ලැබේ. විශේෂයෙන් කුඩා දරුවන්ට, යොවුන් වියට තරුණ දරුවන්ට මඟ පෙන්වීම අත්‍යවශ්‍යය. ඔවුන්ට අත්දැකීම් අඩු නිසාය. අම්ම, තාත්තා, එසේත් නැතිනම් දැන උගත් වැඩිහිටියෙක් දරුවෙකුට අවවාද දෙන්නේ අවුරුදු ගණනාවක් ජීවත් වීමෙන් ලද අත්දැකීම් ඇසුරෙනි. එහෙත් අද සමහර මවුපියන්ට දරුවන්ගේ වැරැදි පෙන්වා දෙන්නට ශක්තියක් නැත. බිය ගන්නේය. යහළුවන් ලවා, වෙනත් වැඩිහිටියන් ලවා දරුවා යහමඟට ගන්නට බලනවා හැර වෙනත් විකල්පයක් නැත. මවුපියන් එලෙස අසරණ වන්නේ දරුවන් දැඩි තීරණවල එල්බ සිටින නිසාය. අකීකරු නිසාය. සත්‍ය තේරුම් ගන්නා කාලය වන විට නිවැරැදි කළ නොහැකි ලෙස වැරැදී අවසන්ය. මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

සැරියුත් හාමුදුරුවන්ගේ චරිතය අපේ තරුණ පෙළට, ළමා වියට මා හැඟි ආදර්ශයකි. එදිනම පැවිදි වූ සත් හැවිරිදි වියේ සාමණේරයන් වහන්සේ නමක් පෙන්වා දුන් වරදක් උන්වහන්සේ ඉතා ගෞරවයෙන් පිළිගන්නට තරම් නිහතමානී වූහ. රාහුල පොඩි හාමුදුරුවෝ අපේ දරුවන්ට ආදර්ශමත් සුවිශේෂී චරිතයකි. උදෑසනින් පිබිදී විහාර මළුව ඇමද වැලි දෝතක් උඩට වීසි කොට උන්වහන්සේ ප්‍රාර්ථනා කළේ මේ වැලි ඇට ගණනට අද මට අවවාද අනුශාසනා ලැබේවායි යනුවෙනි. ඒ අවවාද උපදෙස්, වැඩිහිටි ඔවදන් ජීවිතයට අපමණ වටිනාකම් ලබාදෙන නිසාය.

ඔබ හදා වඩා ගන්නට අම්මා, තාත්තා මොන තරම් වෙහෙසක් දැරුවාද? දහදිය වැගිරුවාද? මොන තරම් කැප කිරීම් කළාද? ඔබ නොමග යනවා දකින විට ඒ අම්මට, තාත්තට මොන තරම් වේදනාවක් දැනෙනවාද? ඇතැම් දරුවෝ තමන්ට නොගැලපෙන වයසේදී පේ‍්‍රම සම්බන්ධතාවල පැටලෙති. තමන්ගේ ලෝකයම එය යැයි සිතති. එහෙත් ඔවුන් එහි නොදකින වරදක් මවුපියෝ දකිති. අවවාද දෙති. ඒත් දරුවෝ නො පිළිගනිති. අනාගතයම අඳුරු කර ගනිති. තේරුම් ගන්නාවිට සියල්ල සිදු වී අවසන්ය.

හදවතක් නැති ජංගම දුරකථනයට, අන්තර්ජාලය, මුහුණුපොතට වඩා හදවතින් ආදරය කරන, දුකේදීත් සැපේදීත් හැර නොයන අම්මගේ තාත්තාගේ අවවාද ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වන බව සිතට ගත යුතුය.

එමෙන්ම ඇහුම්කන් දුන් පමණින් ඒ සියල්ල දරන්නට යාමද අහිතකර වන්නට පුළුවන. ඒ මිතුරු වෙසින් අපට සමීපවන පස මිතුරන් නිසාය. මේ නිසා අසන දේ සිහියෙන් අසා බුද්ධියෙන් විමසීමද අවශ්‍යය.

අම්ම තාත්තගේ විරසක කතා දරුවන්ට ඇසෙන්නට ඉඩ නොතිබිය යුතුය. ජීවත්වීම මේ යැයි ආදර්ශයෙන් පෙන්වා දෙන්නට ඉන්නා හොඳම කල්‍යාණ මිතුරන් වන්නේ මව සහ පියාය. තමන්ගේ යුතුකම, වගකීම නිවැරැදිව ඉටු කරන්නට ඔවුන් කැප වෙනවා නම් දරුවන් නොමග යන්නේ යැයි, අකීකරු යැයි හෝ නොපිළිගන්නේ යැයි සිතින් දැවෙමින් ඔවුන්ට අසරණ වන්නට සිදුවන්නේ නැත.