Print this Article


බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය උත්කර්ශවත් අන්දමින් පවත්වනවා - ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය උත්කර්ශවත් අන්දමින් පවත්වනවා - ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් තිබෙන බව ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රකාශ කළහ.

ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් එසේ ප්‍රකාශ කළේ ඉකුත් (20) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති හමුවකට සහභාගි වෙමිනි. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය සඳහා අනුග්‍රාහකත්වය සපයන රජයේ සහ පෞද්ගලික ආයතන එහිදී අදාළ චෙක්පත් කිරින්දේ අස්සජි හිමියන්ට ලබාදෙන ලදී. එම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, රංජිත් මද්දුම බණ්ඩාර, ෆයිසර් මුස්තාපා ඇමැතිවරුන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂක (ක්‍රම සම්පාදන) එස්.ඒ.සී. එන්. ජයතිලක මහතා සහභාගි වූහ.

ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙසේද පැවසූහ. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය ආරම්භ කළේ ඉතා කුඩාවට. වර්තමානයේ මෙම වෙසක් මංගල්‍ය නැරඹීම සඳහා විශාල ජනතාවක් සහභාගි වෙනවා. මෙය ඉතාමත්ම විචිත්‍රත්වයෙන් යුත් උත්සවයක් බවට වර්තමානයේ පත්වෙලා. ගංගාරාම විහාරස්ථානයත්, අග්‍රාමාත්‍ය කාර්යාලයත් ඒකාබද්ධවයි මෙය පවත්වන්නේ.

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අප මෙම වෙසක් මංගල්‍ය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා. මේ අවස්ථාව සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය, විහාරස්ථ දායක සභාවේ සාමාජිකයින්ද සහභාගි වුණා. එක්සත් ජාතින්ගේ වෙසක් දින උත්සවයට සමගාමීව පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ වැදගත්කම පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා අපට පැහැදිලි කළා. විදේශීය නියෝජිතයින් විශාල පිරිසක් මෙය දැකබලා ගැනීමට පැමිණෙන බව පෙන්වා දුන්නා. වෙනදාටත් වඩා බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් වෙමින් තිබෙනවා.

බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය දහවන වරටයි මෙවර පවත්වන්නේ. මැයි මස වෙසක් පුන් පොහෝ දිනෙන් ආරම්භ වී 14 දිනෙන් මෙය අවසන් වෙනවා. ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ , දෙස් විදෙස් ආරාධිතයින්ගේ සහභාගිත්වයෙනුයි උත්සවය ආරම්භ වන්නෙ. මෙම උත්සවය සඳහා සිංහල බෞද්ධ ජනතාවට අමතරව විශාල ලෙස අන්‍ය ජාතිකයින්ද උදව් උපකාර කරනවා. දායකත්වය ලබාදෙනවා. පාසල් දරුවන්ගේ නිර්මාණත් සමඟ නිර්මාණ දෙසියකට ආසන්න ප්‍රමාණයක් මෙම වෙසක් කලාපය තුළ දැක ගන්න පුළුවන්. මේවාට වටිනා ත්‍යාග ප්‍රදානය කරනවා. දුර බැහැරවලින් පැමිණි අහිංසක නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට වටිනාකමක් අප මෙහිදී ලබා දෙනවා. වෙනත් රටවල වෙසක් අසිරියද මෙහිදී දැක බලා ගත හැකියි. ජාතින් අතර සමගිය මෙවැනි වැඩසටහන්වලින් ඇතිවෙනවා යැයි උන්වහන්සේ පැවැසූහ.