Print this Article


පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 09: වගකීම් දැරීමට සුදුසු කවුරුද?

වගකීම් දැරීමට සුදුසු කවුරුද?

" ඇතැම් දරුවන් වියපත්ව දුර්වරණව ගිය දෙමාපියන් දෙස බලන්නේද කාලකන්නි නමැත්තා දෙස අන්‍යයන් බැලූ ආකාරයටමය. ඔවුහූ තම වියපත් දෙමාපියන් හා එක්ව වාසයකිරිමටත් ඔවුන් අන්‍යයන්ට හඳුන්වාදීමටත් මහත් මැලිකමක් දක්වති. ඇතැම් ස්වාමිවරු තම සේවකයන්ට අකාරුණිකව සළකන අවස්ථා කොතෙකුත් වාර්තා වේ."

අනේපිඬු සිටුවරයාට වැලි කෙළියේ පටන් එක්ව වාසය කළ යහළුවෙකු සිටියේය. නමින් කාලකන්නි නම් වූ ඔහු මැනවින් ශිල්ප හදාළ අතර පසුකලෙක දුප්පත් වීමෙන් ජීවත් වීමට නොහැකිව අනේපිඬු සිටුවරයා වෙත ගියේය. සිටුවරයා අවශ්‍ය බත් වැටුප් ලබාදී තමා සන්තක ඇතැම් වගකීම් ඔහුට පැවරීය. ඔහු ද සිටුවරයාගේ සියලු කුදු මහත් කටයුතු මැනවින් සොයා බලා ඉටු කළේය.

සිටුවරයා ද ඔහු සමීපයට පැමිණි පසුව සිටු කාලකන්නිය, හිදු කාලකන්නිය, අනුභව කරව කාලකන්නිය යනුවෙන් ඔහු ඇමතීය. සිටුවරයා තම යහළුවාගේ නමින් ඔහුට ආමන්ත්‍රණය කළේ ඔහු කෙරෙහි ද්වේෂයකින් හෝ අමනාපයකින් නොවේ. එහෙත් සිටුවරයාගේ මෙම ආමන්ත්‍රණය නිසා ඔහුගේ අනෙක් යහළු මිත්‍රයෝ “ මහා සිටානෙණි මොහුට ඔබ සමීපයෙහි වාසය කිරීමට ඉඩ නොදෙව. නමින් කාලකන්නි නම් වූ මොහු ඔබ හා කිසිවිටෙකත් සමාන නොවේ. ඔහු දුප්පතෙකි. විරූපීය. ඔබට මොහුගෙන් කවර ප්‍රයෝජනයක් ද? එබැවින් මොහු වහාම බැහැර කරනු මැනව” ඉල්ලා සිටියහ. අනෙක් යහළු මිතුරන්ගේ බස් අසා සිටි සිටුවරයා, කෙනෙකුගේ නාමය නම් ව්‍යවහාර මාත්‍රයකි. නුවණැත්තෝ නාමය ගැන සැළකිලි මත් නොවෙති. නම නුසුදුසු නිසා වැලි කෙළියේ පටන් ඇසුරු කළ මිතුරා අමතක කළ නොහැකිය යනුවෙන් පවසා ඔවුන්ගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.

එක් දිනෙක අනේපිඬු සිටුවරයා බැහැර යන්නේ වස්තුව හා දේපළ ආරක්ෂා කිරීමෙහිලා එම කාලකන්නි නම් පුරුෂයාට පැවරීය. ඔහු ද සොරුන් පැමිණෙතියි යන සැකයෙන් මුළු රැයම නොනිඳා සිටියේය. මේ අතර එක්තරා සොර මුලක් සිටුතුමා බැහැර ගොස් ඇතැයි අනුමාන කොට දේපළ කොල්ලකෑම සඳහා සිටුමැදුර වටා එක්රැස් විය. සොරුන් පැමිණි නියාව දැනගත් කාලකන්නි නමැත්තා සෙසු අය අවදි කරවා ඔවු නොවුන් ලවා බෙර වයවමින් නලා පිඹවමින් රඟමඩලක් සේ මහත් ඝෝසාවක් ඇති කළේය. සොර මුල මේ ශබ්දය අසා මහ සිටාණන් මැදුරේම වෙසෙතැයි ද අප විසින් වරදවා වටහාගන්නා ලදැයි ද සලකා රැගෙන දඬු මුගුරු හා ආයුධ සියල්ල අතහැර පළා ගියහ. පසු දින සිටුවරයාගේ යහළු මිත්‍රයෝ සොරුන් විසින් අතහැර දමන ලද ආයුධ දැක විශාල අපරාධයක් වැළක් වූ කාලකන්නි නම් දාස මිත්‍රයාට ප්‍රශංසා කොට සිටුවරයා පැමිණි පසු සිදුවූ සියල්ල වාර්තා කළහ.

එබස් අසා සිටි සිටුවරයා, ඔබ සැමගේ ඉල්ලීම පරිදි මාගේ මිත්‍රයා බැහැර කළේ නම් මා සතු වස්තුව හා දේපළ සොරුන් විසින් රැගෙන යන බවත් අද ඔහු නිසා ඒ සියල්ල සුරැකිව තිබෙන බවත් පවසා, නම කෙසේ වුවද හිතවත් කම එයට වඩා වටින බවත්, සඳහන් කළේය. අනතුරුව බුදුරදුන් හමුවට ගිය සිටුවරයා උන්වහන්සේට සිදු වූ සියල්ල දන්වා සිටියේය. සියල්ල අසා සිටි බුදුරජාණන් වහන්සේ කාලකන්නි නම් මිත්‍රයා මේ භවයේ පමණක් නොව පෙරත් මෙසේම තම මිතුරාගේ ධනය ආරක්ෂා කළේයැයි දක්වා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක. මෙම ජාතක කථාවෙහි එන අතීත පුවත ද වර්තමාන කථාව හා බෙහෙවින් සමාන වේ. එහි විශේෂත්වය වන්නේ බෝධිසත්ත්වයන් වහන්සේ එහි ඉසුරුමත් දේපළ හිමියා වීමයි. ජාතක කථාව අවසානයේ එන බෝධිසත්ත්වයන් වහන්සේගේ ප්‍රකාශය බෙහෙවින් වැදගත් වේ. එහි දැක්වෙන පරදි කෙනෙකු හා සත් පියවරක් එක්ව යාමෙන් මිත්‍රත්වය ද දින දොළොසක් එක්ව වාසය කිරීමෙන් සහායකයෙකු බවට ද මසකට වඩා වැඩි කලක් එක්ව විසීමෙන් ඥාතියකු හා සමාන බැඳීමක් ද එයටත් වඩා වැඩි කලක් එක්ව විසීමෙන් ආත්ම සමාන මිතුරු කමක් ද ඇති වේ. මෙම ප්‍රකාශයෙහි ජාකත කථාවේ සමස්ත අර්ථය සම්පිණ්ඩනය වී තිබේ.

මෙම ජාතක කථාව අනුව කෙනෙකුගේ බුද්ධිය හා අවංක බව බාහිර පෙනුමට වඩා වැදගත් වේ. බාහිර වශයෙන් කොතරම් සිත් ගන්නා සුළු පෙනුමක් තිබුණත් දැනුමෙන් හා හැකියාවන්ගෙන් හීන තැනැත්තා වගකීම් දැරීමෙහිලා සුදුස්සෙක් නොවේ. ජාතක කථාවෙහි එන කාලකන්නි නමැත්තා අධ්‍යාපන ලත් අයෙකි. එසේම කලක් පොහොසත් ජිවිතයක් ගත කළ පසුව දුප්පත් වූ අයෙකි. එහෙත් ඔහුගේ නම හා බාහිර පෙනුම නිසා සමාජයෙන් ප්‍රතික්ෂේප විය. එසේ වුවද ඔහු ඉතා යහපත් මිතුරෙකු මෙන්ම අවංක සේවකයෙක් ද විය. නම හා බාහිර පෙනුම ගැන ප්‍රමාණයටත් වඩා සැලකිලිමත් වෙමින් කෙනෙකුගේ දක්ෂතා හා ගුණවත්කම් නොසලකා කටයුතු කරන වර්තමාන සමාජයට මෙයින් ලැබෙන ආදර්ශය ඉමහත්ය. නාමය ව්‍යවහාර මාත්‍රයකි නුවණැත්තෝ නාමය ගැන උනන්දු නොවෙතියි යන අනේපිඬු සිටුවරයාගේ ප්‍රකාශය බෙහෙවින් අර්ථවත් එකකි. නාමය හා වාසගම මෙන්ම එය පදනම් කරගත් කුලය අනුව මිනිසුන්ට වෙනස්ව සැළකීමත් ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමත් සුලභව දක්නට ලැබේ.

එවැනි දෑ මගින් ඇතිකෙරෙන මානසික පීඩනය හේතුවෙන් ඇතැමෙක් නම හා වාසගම වෙනස් කිරීමට පෙළඹෙන අතර තම උපන් දේශය අතහැර වෙනත් රටකට යාමට ද පෙළඹන අවස්ථා බහුලය. ඇතැම් දරුවන් වියපත්ව දුර්වරණව ගිය දෙමාපියන් දෙස බලන්නේද කාලකන්නි නමැත්තා දෙස අන්‍යයන් බැලූ ආකාරයටමය. ඔවුහූ තම වියපත් දෙමාපියන් හා එක්ව වාසයකිරිමටත් ඔවුන් අන්‍යයන්ට හඳුන්වාදීමටත් මහත් මැලිකමක් දක්වති. ඇතැම් ස්වාමිවරු තම සේවකයන්ට අකාරුණිකව සළකන අවස්ථා කොතෙකුත් වාර්තා වේ. ඇතැම් සේවකයෝ කොතෙක් සැළකුම් ලැබුවද අවංකව සේවය නොකරති. අනේපිඬු සිටුවරයා තෙරුවන් සරණ ගිය සෝතාපන්න උපාසකයෙකි. ධර්මය පිළිබඳ අවබෝධයක් තිබුණු වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. ඔහු තමා හා වැලිකෙළියේ පටන් එක්ව සිටි යහළුවා දුප්පත්ව ගිය කල්හි රැකියාවක් ලබාදීමෙන් පිහිට විය. එය මිත්‍රත්වයේ උතුම් ගුණයකි. කාලකන්නි නමැත්තා ද එක් පැත්තකින් තම මිතුරා වූද අනෙක් අතින් තම ස්වාමියා වූද අනේපිඬු සිටුවරයාට අවංක සිතින් සේවය කළේය.

මෙයින් මිත්‍රත්වයේ සැබෑ ගුණයත්, අවංක සේවයත් ප්‍රකට වේ. අවංක සේවකයා හඳුනා ගැනීමේ හැකියාව ව්‍යාපාරිකයෙකුට තිබිය යුතු විශේෂ දක්ෂතාවකි. සේවකයා පිළිබඳ අන්‍යයන් කුමන කරුණු ගෙනහැර පෑවත් තම අවබෝධය නිසා සේවකයාට අනර්ථයක් සිදු නොවේ. අවංක සේවකයන් පිළිබඳ නොයෙක් අයුරින් කේලාම් කියා ඔවුන් සේවයෙන් පහකොට ආයතන විනාශ කිරීමේ විවිධ බලවේග පවතින බව ව්‍යාපාරිකයන් විසින් අවබෝධකරගතයුතුව තිබේ යන්න මෙම කථාවෙන් පැහැදිලි වේ. එසේම තම සේවකයාගේ අවංක සේවය ඇගයීමට ලක්කළ යුතුය යන්න අනේපිඬු සිටුවරයා තම මිතුරු සේවකයාගේ ගුණ බුදුරදුන් හා ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වේ. මෙම ජාතක කථාවෙන් ප්‍රකට කෙරෙන ඇතැම් උපදෙස් සාර්ථක ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලෙස සැළකිය හැකිය.


පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 08: සිවු මහා ගංගාවෝ මහ සයුරට ගලා ආ කල එකම ලවණ රසයයි