Print this Article


කරණීය මෙත්ත සූත්‍රයෙන් : මෙත් සිසිලෙන් සිත් සැනසේ

කරණීය මෙත්ත සූත්‍රයෙන් :

මෙත් සිසිලෙන් සිත් සැනසේ

ඔබ කැමැති දේ සේ ම අකැමැති දේ ද වටපිටාවේ සිදුවේ. ඇතැම් අයගේ වචන සේම ක්‍රියාවන්ද ඔබගේ සිත දවන්නට තරම් බලවත් වන අවස්ථා තිබෙන්නට පුළුවන. එමෙන්ම ඔබේ සිතිවිලි, වචන හැසිරීම් නිසා අනුන්ද එසේ දැවෙන්නට පුළුවන. තැවෙන්නට පුළුවන. එහෙත් ඔබ නිසා අනුන් නොදැවිය යුතු සේම අනුන් නිසා ඔබද නොතැවිය යුතු ය.

තරහවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පිරුණු සිතක් මෙත් සිසිලසෙන් නිවා සනසන්නට මෛත්‍රී භාවනාව මා හැඟි ඔසුවකි. මෙත් වඩන්නෙකු කෙරෙහි පුරුදු පුහුණු කළ යුතු ගුණ සමුදායකි. කරණීය මෙත්ත සූත්‍රයෙහි ඉගැන්වෙන ‘උජු ච සූජු ච’ ආදී ගුණ ඉන් ප්‍රධානය. එනම් අවංක වීමය. මැනවින් අවංක වීමය.

අවංක වූ පුද්ගලයා සාධාරණයට මිස අසාධාරණයට පක්ෂ නොවන්නේ ය. ඇත්තට ගරු කරන්නේ ය. සත්‍ය නො සඟවන්නේ ය. බුද්ධියෙන් කරුණුූ දෙස බලනවා මිස කෙනෙක් කී දේ අසා තීරණ නොගන්නේ ය. ඇසෙන දේ ත් දකින දේ ත් හමුවේ ඉක්මන් තීරණවල නො එළඹෙන්නේ ය. අසන දකින දේ වුවද ඇතැම් විට වරදින්නට, වරදවා තේරුම් ගන්නට ඉඩ ඇති බැවිනි.

සෘජු ගුණ ඇත්තා යමක් සිතුවේ ද එයම කියන්නේ ය. යමක් කීවේද එයම කරන්නේ ය. කෙනෙක් රවටන්නට, සනසන්නට මුසා බස් කියා අනෙකක් නොකරන්නේ ය. සත්‍යයට සමීප වන්නට හැකි වන්නේ අවංක වූ තරමටය. එහෙත් ඇතැම් උඩු යටිකුරු වූ සිතැඟි ඇත්තෝ සත්‍ය ද උඩු යටිකුරු කරනු පෙනේ. කෙනෙක්, නිවැරැදිකරුවන් වැරැදි කරති. වැරැදිකරුවන් නිවැරැදි කරති. වැරැදි වැඩ අනුමත කරති. හරිදේ යටපත් කරති. අවංක වූවෝ ගරහති. වංක වූවෝ ම වර්ණනා කෙරෙති. මේ නිසාම සමාජයේ නොසතුට වැඩේ. අසහනය පීඩනය වැඩේ. තමන් උපමාවට ගෙන අනුන් ගැන සිතනවා නම් කිසිවෙක් ලෝකයට වංක වන්නේ නැත. පළමුව තමන්ට අවංක වී හේ ලෝකයට අවංක වන්නේ ය. එවැනි පුද්ගලයාගේ සිතිවිලි පිරිසුදුය. ක්‍රියාවන්ද පිරිසුදුය. සමාජයට ද සහනශීලිය.

ජීවත්වීමේ දී වංක පුද්ගලයාත්, අවංක පුද්ගලයාත් හඳුනා ගැනීම ඉතා වැදගත්ය. සිඟාලෝවාද සූත්‍රයේ දී දුරුකළ යුතු එවැනි මිතුරන් ගැන අපූර්ව විස්තරයක් කැරේ. පළමුවැන්නා අඤ්ඤදත්ථුහරය. යමක් බලාපොරොත්තුවෙන්, ඒ අරමුණු කර ගනිමින් ඇසුරට සමීප වන්නාය. ප්‍රති උපකාරයක් නැත. දෙවැන්නා වචීපරමය. ඔහුගෙන් ලැබෙන්නේ වචනය පමණය. ක්‍රියාවන් නිහඬය.

“අනේ පුළුවන්කමක් තිබුණා නම් මම කෙලෙස හෝ උදවුවට එනවා, හදිසියේ ම ලෙඩ වුණානේ. මොනවා කරන්නද? තරහ වෙන්න එපා.”

මෙවැනි වදන් පවසා මඟ හැර යන මිතුරු මිතුරියන් ඔබට මොන තරම් හමු වී තිබෙනවාද? තෙවැන්නා අනුප්පියභාණී ය. ඇති තැන ගුණ කියන මෙවැන්නෝ නැති තැන ගරහති. නින්දා ගෙන එති. අපාය සහාය මිතුරෝ ද සිටිති. නරකට අනුබල දෙන, නරක පුරුදු කරන එවැන්නෝ ද සමාජයේ බොහෝ වෙති.

මෙවැනි ගති ලක්ෂණ ඇත්තෝ වංචනිකයින්ය. ප්‍රයෝගකාරී ස්වභාව ඇත්තෝ ය. වංක ගති ඇති එවැන්නන් ඇසුර අයහපතම, විනාශය ම ළඟා කරන්නේ ය. එවැන්නන් දුරු කළ යුතු සේම තමන් වෙත එවන් දුර්ගුණ වේ නම් හිරු දුටු පිනි දිය වී යන්නා සේ ඉන් මිදෙන්නට වෑයම් කළ යුතු ය. තමන් තමන්ට අවංක විය යුතු ය. අනුන්ටද අවංක විය යුතු ය. ඇසුරට තෝරාගත යුතු වන්නේ ද එවැනි කල්‍යාණ මිතුරන්ය. එවිට ජීවිතය පහසුය. එවැන්නෝ ප්‍රශ්න ගැටලුවලදී, දුකේ දී අසහනයේ දී ළඟින් හිඳිති. උදවු උපකාර කරති. සතුටේ දී අවංකව සතුටු වෙති. වරදින් මුදවති. යහපතෙහි යොදවති. රහස් සඟවති.

සෘජු ගුණ ඇති පුද්ගලයා සතර අගතියෙන් ද තොරය. එනම් ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට නොයන්නේ ය.

ඥාති හිතවතුන් වූ පමණින්, හිත දිනාගත් පමණින්, සම්බන්ධකම් තිබූ පමණින්, කැමැත්ත තිබූ පමණින් ඒ කවරෙකු හෝ වෙනුවෙන් අසාධාරණ තීරණ නොගන්නේ ය. ඔවුන් කී පමණින් පිළි නොගන්නේ ය. වරද, නිවරද දැක ඒ අනුව තීරණවලට එළඹෙන්නේ ය.

තරහ අයටද, විරුද්ධ අයට ද අසාධාරණකම් නොකරන්නේ ය. යුක්තියට ද නීතියට ද අවනත වන්නේ ය. තනතුරට, ධනයට, බලයට, නිලයට, කුලයට, ලොකුකමට වෙනසක් නැත. සෘජු පුද්ගලයා ගුණවතුන්ගේ ගුණ අගයන්නට නො මැලිය. ඕනෑම සභාවකට නොබියවම මුහුණ දෙන්නේ ය. මුළු ගැන්වෙන්නේ ද නැත. එහෙත් වංක පුද්ගලයා කතාවට බියය. ප්‍රශ්නවලට බියය. සභාවක මුහුණ දෙන්නට මැලිය.

අවංක චරිතයකට තවත් වටිනාකමක් එක් කරන්නේ ප්‍රතිපත්තිගරුක බවයි. ඒ පුද්ගලයා නින්දා ප්‍රශංසා හමුවේ ද, ලැබීම් නොලැබීම් හමුවේද ප්‍රතිපත්ති පාවා නොදෙන්නේ ය. එහෙත් එවැනි චරිත විරලය. පැරැණි සංස්කෘත කාව්‍යයක කියැවෙන ලෙස,

“මුඛං පද්ම දලාකාරං
වාචා චන්දන සීතලං
මධු තිෂ්ඨති ජිව්හාග්‍රේ
හෘදයෙතු හලා හලං”

සමහර අයගේ මුහුණ නෙළුම් මලක් වැනිය. වදන් සඳුන් සේ සීතලය. දිව අග මී පැණි වැටෙන්නා සේ මිහිරි වචනය. එහෙත් හදවත හලා හල විෂය.

එවැන්නෝ සිතේ යම් සිතිවිල්ලක් සිර කරගෙන අනෙකක් පෙන්වති. අනෙකක්ම කරති. ප්‍රතිපත්ති නොරකිති. එවැනි කෙනෙක් පවුලක ප්‍රධානියා වුවද, ආයතනයක ප්‍රධානියා වුවද ගැටලුය. හරි වැරැද්ද නොසොයා, නොතකා තීරණ ගන්නා හෙයිනි.

ඇතැම් අය සිය සිත දැවෙන ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන් අනුන් ද දවති. කවර හොඳක් කළ ද වැරැදිම දකිති. අසල්වැසි නිවැසියන් හොඳින් නම්, නැති අඩුපාඩු සොයති. මේ දුර්වලකම් මඟ හරවා ගත යුතු ය. අනුන් ගැන සෙවීම නොව වැදගත් වන්නේ තමන් ගැන සෙවිමය. එවැනි සෘජු ගුණ ජීවිතයට පුරුදු පුහුණු කරන කෙනාටය, අනුන් වෙනුවෙන් මෙත් වඩන්නට හැකිවන්නේ.

මඝ මානවක තරුණයා පංචශීල ප්‍රතිපදාවේ පිහිටි ප්‍රතිපත්තිගරුක තරුණයෙකි. කවර ප්‍රශ්න හමුවේ වුවද සෘජු ප්‍රතිපත්තියෙහිම පිහිටියා මිස කිසි විටෙක ප්‍රතිපත්ති පාවා නොදුන්නේ ය. ඇතෙකු ලවා ඔහු පාගා මරවන්නට අණ කළ ද ඇතා ඔහුට සමීප නොවුයේ ය. ඒ ප්‍රතිපත්තිගරුක බවේ අනුසස්ය.

ඔබ කැමැති දේ සේ ම අකැමැති දේ ද වටපිටාවේ සිදුවේ. ඇතැම් අයගේ වචන සේම ක්‍රියාවන්ද ඔබගේ සිත දවන්නට තරම් බලවත් වන අවස්ථා තිබෙන්නට පුළුවන. එමෙන්ම ඔබේ සිතිවිලි, වචන හැසිරීම් නිසා අනුන්ද එසේ දැවෙන්නට පුළුවන. තැවෙන්නට පුළුවන. එහෙත් ඔබ නිසා අනුන් නොදැවිය යුතු සේම අනුන් නිසා ඔබද නොතැවිය යුතු ය. නොදැවිය යුතු ය. පළමුව තමන් තමන්ට මෙත් වඩන්න. අනුන්ට ද මෙත් වඩන්න. ඒ සඳහා පළමුව සෘජු ප්‍රතිපත්තියක පිහිටන්න. තමන් තමන්ට අවංකව අනුන්ටද අවංක වන්න. මැනවින් අවංක වන්න. ඔබගේ සිතිවිලි නිවෙනු ඇත. වචන ද හැසිරීම්ද නිවෙනු ඇත. ඔබ නිසා අනුන්ද නොදැවෙනු ඇත. නොතැවෙනු ඇත.