Print this Article


ලැබුණොත් හොඳයි නොලැබුණොත් වඩාත් හොඳයි

ලැබුණොත් හොඳයි නොලැබුණොත් වඩාත් හොඳයි

" නොලැබුණ විට වදවීම, වේදනාවට පත්වීම, අපේක්ෂා භංගත්වයට පත්වීම වෙනුවට එසේ සිදු වීම ද යහපත් බව සම සිතින් පිළිගැනීමට හැකි වීම වඩාත් උචිතය. ඒ කුමක් නිසාද?

කෙනෙකුගේ අරමුණ කුමක් වුව ද ඒ සඳහා ක්‍රියා කොට නොලැබී ගිය විට, ලැබීම ප්‍රමාද වූ විට කණස්සල්ලට පත්වීම බුදුරදුන්ට අනුව පුහුණු නොකළ මනසක ස්වභාවයයි. උන්වහන්සේගේ අවවාදය වන්නේ නොලැබීම ‘කුසලයක්’ බවට පත් කළ යුතු බවයි. මෙහි විශේෂ අරුතක් සැඟවී ඇති බව අපට සිතාගත හැකිය.

'

යම්කිසි යහපත් පරමාර්ථ සාධනයක් සඳහා, යම්කිසි යහපත් ලාභයක් සඳහා උපරිමයෙන් උත්සාහ ගත යුතු ය. ප්‍රාර්ථනයෙන් නොව ක්‍රියාකාරීව එහිලා නියැලිය යුතු ය. ‘වායමේතේව පුරිසො යාච අත්ථස්ස නිප්පදා’ යනුවෙන් බුදුරදුන් අවධාරණය කෙළේ එ කරුණ යි.

එසේ වූයේ වී නමුත් අපේක්ෂිත අභිප්‍රාය ඉටුනොවන අවස්ථා එමටය. එහිදී ද සිත කළකිරවා ගන්නේ නැතිව, මන්දෝත්සාහී, නොවී සන්තෘප්තියෙන් යුතුව, උද්යෝගිමත් ලෙස ජීවිතයට මුහුණ දෙන ආකාරය ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ දක්වනු ලැබ ඇත. ‘ලැබුණොත් හොඳයි, නොලැබුණොත් වඩාත් හොඳයි’ යනුවෙන් ද අදහස් කළ හැකි ඒ උපදේශය මෙසේ සඳහන්ය.

අලත්තථං යදිදං සාධු
නාලත්ථං කුසලං ඉති
උභයෙනෙව සෝ තාදි
රුක්ඛං ව උපනිවත්තති

යමක් ලැබුණේ නම් එය මැනවි. යමක් නොලැබුණේ නම් එය කුසලයකි. ලැබීමේ හා නොලැබීමේ යන අවස්ථා දෙකේදීම උපේක්ෂාව වැඩිය යුතු ය.

සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය වන්නේ යමක් සෙවීමයි. ලෞකික හෝ අධ්‍යාත්මික වශයෙන් කුමන අරමුණක් මිනිසා සතු වුවද ඔහු ඒ සඳහා උත්සාහ කරයි. එසේ ලැබීමට උත්සාහ කරන ඇතැම් දේ ඔහුට පහසුවෙන් ලැබේ. තවත් දෙයක් අපහසුවෙන් වෙර දරා ලබාගත යුතු ය. ඇතැම් දේ කොතරම් උත්සාහ කළද නොලැබී යා හැකිය. මෙය ලෝක ස්වභාවයක් බව අපි හැම දනිමු.

එසේ වුවද අපේක්ෂිත ඉලක්කය ලැබුණ විට ඒ පිළිබඳව සතුටින් ඉපිළ යාමත්, නොලැබුණ විට දුකට, වේදනාවට පත්වීමත් මිනිස් ස්වභාවයකි. ඉහත දේශනා පාඨයෙන් පැහැදිලි කරන්නේ බ්‍රහ්මචාරියකු පිණ්ඩපාතයෙහිදී දැක්විය යුතුයැයි බුදුරදුන් අනුමත කොට වදාළ මානසික ආකල්පයකි. පිණ්ඩපාතය ලැබුණු විට එය මැනවි (සාධු). එය නොලැබුණු විට එය ද යහපත්ය. (කුසල). ඒ අවස්ථා දෙකෙහිදීම මානසික ආකල්පය තාදී ලක්ෂණයෙන් එනම් නොසැලෙන මානසික ස්වභාවයකින් සමන්විත විය යුතු ය. එය පුහුණුවයි. එවැනි මානසික ශික්ෂණයක් සහිත පුද්ගලයාට ජීවිත විඩාවක්, පීඩාවක්, ඉච්ඡා භංගත්වයක් බවට පත් නොවේ.

ඉහත ගාථාවේ හමුවන ‘සාධු’ හා ‘කුසල’ යන දෙපදය යෙදී ඇති ආකාරය අපගේ අවධානයට යොමු වීම වටී. ලැබීම ‘සාධු’ ලෙසත් නොලැබීම ‘කුසල’ ලෙසත් ඉදිරිපත් වන්නේ කුමක් නිසාද? ‘සාධු’ හා ‘කුසල’ පද දෙක බෞද්ධ සාහිත්‍යයේ විවිධ අර්ථ සහිතව විවිධ පසුබිම්වල යෙදී ඇත. එසේ වුවද මෙහිදී පැහැදිලි වන එක් අදහසක් වන්නේ නොලැබීම කුසලයක් වන බවයි. ‘සාධු’ පදයට වඩා ‘කුසල’ පදය සියුම් අර්ථ උපදවයි. නොලැබීම කුසලයක් වන්නේ කෙසේද? ලැබීම නම් යහපත් බව අපි සියල්ලෝ හොඳින් දනිමු. එහෙත් නොලැබීම කුසලයක් වන ආකාරය පිළිබඳ සාමාන්‍ය මතය අපැහැදිලිය.

බුදුරදුන් මෙහිදී අපට දේශනා කරන්නේ ලෝක යථාර්ථය සමඟ ගනුදෙනු කිරීමේ දී ගිහි පැවිදි සැම දෙනාම වගා කළ යුතු කුසලතාවක් පිළිබඳවයි. නොලැබුණ විට වදවීම, වේදනාවට පත්වීම, අපේක්ෂා භංගත්වයට පත්වීම වෙනුවට එසේ සිදු වීම ද යහපත් බව සම සිතින් පිළිගැනීමට හැකි වීම වඩාත් උචිතය. ඒ කුමක් නිසාද?

කෙනෙකුගේ අරමුණ කුමක් වුව ද ඒ සඳහා ක්‍රියා කොට නොලැබී ගිය විට, ලැබීම ප්‍රමාද වූ විට කණස්සල්ලට පත්වීම බුදුරදුන්ට අනුව පුහුණු නොකළ මනසක ස්වභාවයයි. උන්වහන්සේගේ අවවාදය වන්නේ නොලැබීම ‘කුසලයක්’ බවට පත් කළ යුතු බවයි. මෙහි විශේෂ අරුතක් සැඟවී ඇති බව අපට සිතාගත හැකිය.

යමක් නොලැබුණ විට ඉන් වේදනාවට පත්වීම මිනිසාගේ සෞඛ්‍යය පිරිහී යාමට හේතුවෙයි. එහෙත් නොලැබීම කුසලයක් වන්නේ තම අරමුණ සාධනය නොවුන නමුත් ජීවිතයේ අනෙක් අරමුණු සාධනය කිරීමට එමගින් පෙළඹවීමක් සිදුකරන බැවිනි. නොලැබීම කුසලයක් කරගත් විට ඊළඟ පියවර බොහෝ දුරස් එකක් බවට පත් නොවේ.

මිනිසාගේ ප්‍රායෝගික ජීවිතයේ නිරෝගී පැවැත්ම සඳහා මෙම ඉගැන්වීම් ප්‍රයෝජනවත් වේ. ඔබ පෙනී සිටින විභාගය අපේක්ෂා කළ ලෙස සමත් වූයේ නම් එය මැනවි. එසේ නොවුයේ නම් එය කුසලයකි. පෙරට වඩා හොඳින් විභාගයට සූදානම් වීමට, තම ශක්තිය නැවත ප්‍රශ්න කොට එහි අඩුපාඩු අඩුකර ගැනීමට හැකිවන්නේ එය කුසලයක් සේ සලකනු ලබන අයකුට පමණි. ලැබීමට පමණක් මැනැවැයි සිතන්නට හුරු වූ පුද්ගලයෙකු හට නොලැබීයාම දරාගත නොහැකිය. එම තත්ත්වය ඔහුගේ ජීවන අපේක්ෂා පවා විනාශ කිරීමට හේතුවන බව සමාජයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පැහැදිලි වේ. එබැවින් ඔබගේ රැකියාව, ඔබගේ දරුවා, ඔබ ජීවත්වන සමාජය ආදී විවිධ පසුබිම්වලදී අපේක්ෂා කළ දේ සිදු නොවූ නමුත් නැගී සිටීමේ ශක්‍යතාව ඔබ සතුවේ.

මෙම උපදේශය භික්ෂූන්ට පිණ්ඩපාතය ලැබීම හා නොලැබීම පිළිබඳ වගා කළ යුතු උපදේශයක් ලෙස සූත්‍රයේ සටහන් වේ. එහෙත් එම ආකල්පමය පරිවර්තනය ගිහි, පැවිදි දෙපිරිසටම එකසේ ප්‍රයෝජනවත් වේ. තරගකාරී සමාජ සත්ත්වයෙකු බවට පත්ව ඇති වර්තමාන මිනිසාට ලැබීම්වලට වඩා නොලැබීම් උරුමවීමට ඇති ඉඩකඩ වැඩිය. ලැබුණු දේ ද අපේක්ෂා කළ තරම් කාලයක් තමා සතුව නොපැවතිය හැකිය. බොහෝ කලක් ළඟ තබාගත හැකි වූවත් එමඟින් තමන් අපේක්ෂා කළ දේ ඒ ලෙසම ඉෂ්ට නොවීමට පිළිවන. එවැනි පසුබිමක් තුළ ජීවත් වන ඔබ යමක් නොලැබුණ විට කෙසේ ක්‍රියා කළ යුතුද? යන්න පුහුණු කර තිබීම ප්‍රයෝජනවත්ය. එය ලෞකික හා ලෝකෝත්තර යන උභය පරමාර්ථ සාධනයට ම උපයෝගී වනු නියතය.