Print this Article


විහිළුවට හෝ බොරු කීමෙන් පවට ඇති භය නැතිවෙයි

විහිළුවට හෝ බොරු කීමෙන් පවට ඇති භය නැතිවෙයි

පන්සිල් රකින බොහෝ පිරිස් අතින් නිරතුරුව ම බිඳෙන සිල් පදයකි. මුසාවාදය. පාලියෙන් බොරුව යන වචනය මුසා යනුවෙන් හැඳින්වෙයි. මුසාවාදය නම් බොරු කීමයි.

යම් ප්‍රශ්නයක් විසඳීමට කෙනෙක් සාක්ෂි දීම පිණිස කැඳවා ඔබ ඒ සිදුවීම දුටුවා දැයි විමසූ විට තමන් එය හොඳින් දුටු නමුත් නොදුටුවා යැයි පවසයි නම් නොදුටුවා දැයි විමසන කල්හි එය නොදුටු නමුත් දුටුවා යැයි පවසයි නම් එය මුසාවක යැයි සාලෙය්‍යක සූත්‍රයෙහි සඳහන් වෙයි.

බොරුකීමට මුල්වෙන කරුණු

අත්ත හේතු (තමන් වෙනුවෙන් බොරු කීම), 2. පර හේතු (අනුන් වෙනුවෙන් බොරු කීම), 3. ආමිස කිඤ්චික්ක හේතු (ලාභ සත්කාර පෙරදැරි කරගෙන බොරු කීම.

අත්ත හේතු නම් තම වාසිය පිණිස බොරු කීමයි. තමාගේ සුව පහසුව පිණිස කියන ඕනෑම බොරුවක් මේ ගණයට අයත් වෙයි. එමෙන්ම මා මේ බොරුව කිව්වේ කෙනෙක් මට තර්ජනය කළ නිසා හෝ මරණවා කියු නිසා ආදි වශයෙන් බොරුකීමට පෙළඹීම ද අත්ත හේතුවට අයත්ය. පර හේතු නම් යමෙක් තම දරුවන් වෙනුවෙන්, පවුලේ යහපත වෙනුවෙන්, රට ජාතියේ දියුණුව වෙනුවෙන් , තම ආගම වෙනුවෙන් බොරු කීමයි.ලාභ සත්කාර , කීර්ති ප්‍රශංසා ආදිය පෙරදැරි කරගෙන කියන බොරු ආමිස කිඤ්චික්ක නම් වේ. සෑම විටම බොරුවක් පවසන්නේ මේ කාරණා තුන මුල් කරගෙන බව සැළකිය හැකිය. කිනම් අයුරකින් හෝ බොරු කීම හොඳ දෙයක් නොවේ. එය සමාජයේ පිළිකුලයට ලක්වෙයි. භාග්‍යවතුන් වහන්සේ බොරුව සෑම සමාජ ස්ථරයකම වාසය කරන අයට නුසුදුසු දෙයක් සේ සළකා එය සිල් පදවලින් වළක්වා ඇත. ගිහියන්ට පන්සිල්, අටසිල් සහ දසසිල් මඟින්ද, සාමණේර හිමියන්ට සාමණේර දස සිල්වලින්ද, උපසපන් භික්ෂුන්ට පාරාජික පාචිත්තිය යන ශික්ෂාපද වලින්ද බොරුව වළක්වා ඇත.

භික්ෂුවගේ පාරාජිකාව

පාරාජි යනු සම්පූර්ණ මහණ භාවය අහෝසි වී යාමයි. භික්ෂූන් වහන්සේ නමක් එසේ පාරාජිකා බවට පත්වන්නේ තමා තුළ නැති ධ්‍යාන මාර්ග ආදී උත්තරිතර මනුෂ්‍ය ධර්ම මවාපෑමාදි කටයුතු වලිනි. අසන්නා මුලා කරන අදහසින් තමන්ට ප්‍රයෝජන වාසි, ලාබ ප්‍රශංසා ආදිය ලබා ගැනීමේ අරමුණෙන් යුක්තව යම් ස්වාමින් වහන්සේ නමක් සෝවාන් නොවී තමා තුළ නැති මාර්ගඵල ගැන පවසයි නම් එවන් භික්ෂුව පාරාජික භාවයට පත්වෙයි. එවන් බොරු කීමෙන් පමණක් නොව තමන් තුළ නැති යම් යම් උසස් ගුණ ධර්ම තිබෙනවා යැයි අන්‍යයන්ට දැනෙන සේ හැසිරීමද එවැනි ම බොරුවකි. මෙවැනි බොරු, ස්වාමින් වහන්සේලාට පමණක් නොව මා තුළ නැති උසස් ගුණ ධර්ම තිබේ යැයි අන් අයට පෙනෙන අයුරින් හැසිරෙන ගිහියන්ටද අදාළ වේ.

සාමාන්‍යයෙන් මුසාවාද වචනයෙන් සිදුවන වැරැද්දක් ලෙස ගැනේ. නමුත් බොරු කීම පමණක් නොව බොරු කිරීම්, බොරු රඟපෑම්, බොරු ලිවීම්, බොරු මවාපෑම් ආදියද මුසාවාදයෙහිම අංගයන් වේ. බොරු කීමෙන් කරන්නේ කෙනෙකු රැවටීමයි. වංචා කිරීමයි. අනෙකාව මුළා කොට නොමඟ යැවීමේ චේතනාවෙන් ක්‍රියාකිරීම ද බොරුව හා සම්බන්ධ ක්‍රියාකාරකම් වෙයි. කිසියම් ආත්මාර්ථයක් සඳහා සාක්ෂි කැඳවූ විට යමෙක් බොරු කිව්වේද හේ වසලයෙකු බව ධර්මයේ සඳහන් වෙයි.

බොරුවෙහි අභිප්‍රාය රැවටීමයි

බොරුවෙහි මූලික අභිප්‍රාය නම් රැවටීම හෙවත් වංචාවයි. යම් ක්‍රියාකාරකමක් නිසා රැවටීමක් වේ නම් එය බොරුව ලෙසද දැක්වේ. බොරුවට මුල් වන අකුසල මූලය ලෝභයයි. ලෝභ, ද්වේශ මෝහය යන අකුසල මූල සිතෙහි තිබුණාට එයින් පවක් සිදු නොවේ. පව් සිදු වන්නේ එය සිතෙන්, කයෙන් හෝ වචනයෙන් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී පමණයි. විෂම ලෝභය යනු අන් සතු දේ තමන් සතු කර ගැනීමට ඇති ආශාවයි. ඒ විෂම ලෝභය සිතේ තිබී වැඩි දියුණු වී තවදුරටත් සිතේ තබා ගනු නොහැකිව අන් සතු දේ අයිති කර ගැනීමට ඇති ආශාව කෙනෙකු බොරු කීමට පොළඹවයි. බොරු කිරීමද බොරු ලිවීමද ඒ අයුරින්ම සිදුවෙයි.

සැබවින්ම බොරුව අනෙක් පව්කම්වලට පවා ප්‍රබල ව පවතී. මිලින්ද ප්‍රශ්නය නම් ග්‍රන්ථයෙහි මිළිඳු නාගසේන සංවාදයේදී නාගසේන ස්වාමින් වහන්සේ විසින් දැන දැන බොරුකීම පාරාජිකාවක් ලෙස සඳහන් කර ඇත. බොරුව එතරම්ම බරපතල වරදක් බව ඒ වකවානුවේදී සළකා ඇත. ඒ අනුව කිසිවක් නිසා නොව බොරු කියන්නාට කළ නොහැකි වරදක් නැති නිසාය. බිත්තියක එක් ගඩොලක් ගැළවුවහොත් ඒ බිත්තියේ ශක්තිය දුර්වල වෙයි. ඒ මොහොත්දී ම බිත්තිය කඩා නො වැටුණත් එමඟින් බිත්තියට හානියක්, එහි ශක්තියට අඩාලවීමක් සිදුවේ. ඒ දුර්වලවීම පසුකාලීනව බිත්තිය කඩා වැටීමට ප්‍රබල හේතුවක් විය හැක.

විහිළුවට බොරුකීම

විහිළුවට හෝ බොරු කීමෙන් වන්නේ පවට ඇති ලජ්ජාව සහ බය නැතිවී යාමයි. එවන් බොරු කීම මඟින් බොරුවෙහි ඇති භයානක භාවය නැති වී එය සරල දෙයක් ලෙස පෙනී යයි. ඒ සරල භාවය බොරුව කෙරෙහි ඇති ලජ්ජාව සහ බිය තුරන් කරයි. මේ ධර්ම දෙක නැතිවී යාම අනෙකුත් පව් කිරීමට ශක්තිය දෙයි. බොහෝ අය වැරැදි නො කරන්නේ එයට ඇති ලජ්ජා සහ බිය නිසයි. ඒ කරුණු දෙක හේතු කොට ගෙන පව්කම් නොකරන්නේ, බෞද්ධයන් පමණක් නොව අන්‍ය ආගමිකයන්ද එවන් පාපයන්ගෙන් වැළකෙයි. ඒ අයුරින් ගත් කළ ඒ අයගේ ශීලය සහ අපගේ ශීලය අතර වෙනසක් නැති බව පෙනේ. අපගේ ශීලය ඊට වෙනස් විය යුතු වෙයි. අප සිල් රැකිය යුත්තේ ලජ්ජා භය නිසා ම නොව නරක දේ අත හැරීම විමුක්තියට හේතු වන බව වටහා ගෙනය.

මුසාවාදය පිටුදැකිය හැකි ක්‍රම

තමා බොරු නොකියා සිටීම, 2. අන්‍යයන් ලවා බොරු නො කියවීම, 3. අනුන් කියන බොරු සතුටින් ඉවසා නොසිටීම.

කිසිම අයුරකින් තමා බොරු කියන්නේ නැතියි යන දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව මුසාවාදය පිටු දැකිය හැකි පළමු ආකාරයයි. සමහරු තමා බොරු නොකියන නමුත් අන්‍යයන් ලවා බොරු කියවති. මෙය අද සමාජයේ ඉතාම සුලභව දකින්නට ඇති කරුණකි. දෙමාපියන් දරුවන් ලවා බොරු කියවීම, දරුවන් දෙමාපියන් ලවා බොරු කියවීම, රටේ ප්‍රභූන් මාධ්‍ය ප්‍රකාශකයන් ලවා බොරු කියවීම මෙයට අයත්ය. කරන විටදී එතරම් බරපතල ක්‍රියාවක් ලෙස නො පෙනුණත් එහි මුසාවාද පාප කර්මය එලෙසම පවතී. තමා බොරුවෙන් වළකින්නා සේම අන් අය ලවා බොරු කියවීමද දැඩි සේ හෙළා දැකිය යුතුය. ඒ මුසාවාදය පිටු දැකීමේ දෙවන පියවර වෙයි. අනුන් කියන බොරු සතුටින් ඉවසා එයින් තෘප්තිමත් වීමත්, බොරුවට අනුබල දීමකි. සමහරු අන් අය කියනා විකාර කථා ඉතාම සතුටින් වින්දය කරයි. ඒවා අසා පී‍්‍රතියට පත්වෙයි. මේවා ද මුසාවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වෙයි.

ඒ වගේම තම සිතෙහි ඇති කාරණය අන් අය ලවා කියවීමට විවිධාකාරයෙන් රුකුල් සපයයි. මෙවැනි විවිධ ක්‍රම වලින් බොරු කියන අයට සහයෝගය දෙනවානම්, එයට අනුකූලත්වයක් දක්වනවානම් අඩුතරමින් ඒ අය කියන බොරු අසා සිනාවක් හෝ පහළ කරනවා නම් එයින් හානි සිදුවන්නේ අපගේ ශීලයටයි. එයින් මුසාවාද ශික්ෂාපදය කැඩේ. එය දුර්වල වෙයි. ඒ නිසා එවන් දෙයින් වැළකී බොරුව තෘප්තිමත්ව අනුමත කිරීමෙන් වැළකීම අපගේ වගකීමයි.

බක් අව අටවක පෝදා (අප්‍රේල් 19වනදා) පත්‍රයේ මුසාවාදයේ ආදීනව සහ සත්‍ය වචනයේ ආනිශංස