Print this Article


මහත්ඵල මහානිසංස සහිත දන් දීම

මහත්ඵල මහානිසංස සහිත දන් දීම

දානය යන වචනය බෞද්ධයාට හුඟක්ම හුරුපුරුදු වචනයක්. දන්දීම වෙනත් ආගමිකයන් අතරද ක්‍රියාත්මක වෙන සද්චාරිත්‍ර ධර්මයක්. ඒක එහෙම වුණත් බෞද්ධයන්ට මෙය අන් කවර ආගමිකයන්ටත් වඩා හුරු වී තිබෙන්නේ උපතේ සිට මරණය දක්වා වන සෑම සුබ මෙන්ම අසුබ ක්‍රියාකාරකමක දී වුවත් දානය මුලට එනවා. නිදසුනක් වශයෙන් කෙනෙක් මිය ගිය විටත් ඒ වෙනුවෙන් හත් දවසෙන් තුන් මාසෙනුත්, අවුරුද්දෙනුත් සමහර විට අවුරුදු පතාත් දන්දීමෙහි යෙදෙනවා. ඒ වගේම තම දුවගේ, පුතාගේ විවාහ මංගල්‍යයට පෙරත් පන්සලේ හාමුදුරුවරුන්ට දානයක් දීලා ආශිර්වාද ලබා ගන්නා ක්‍රමයකුත් තියෙනවා. තමන් මරණයට කිට්ටු වෙනවා කියලා හිතලා ‘ජීවදානය’ කියා දානත් දෙනවා.

දැන් දැන් දෙන දාන පෙරට වඩා බොහොම විසිතුරුයි, හාමුදුරුවරුනුත් විශාල වශයෙන් වැඩමවලා මහ දන් දෙනවා. හාමුදුරුවරුන්ට දෙනු ලබන දේවලුත් පිරිකර වශයෙන් වුණත් විශාලයි. මිල මුදල් පවා දානයට වැඩම වූ හාමුදුරුවරුන්ට පිරිකර වශයෙනුත් පූජා කරනවා. තරෙඟටත් වගේ දන් දෙන අවස්ථා තිබෙනවා. සමහර විට දන් දෙන ක්‍රියාවේ සැබෑ අර්ථය ඉක්මවා ගිය ව්‍යාජ, ශෝභන බුද්ධ දේශනාව අනුව නම් සසර ගමන දිගු කරන කෙලෙස් වැඩෙන දානත් දෙනවා. ඉතින් දන් දීමේ සැබෑ අර්ථය වන්නේ නම් අත්හැරීමට හුරු වීමයි. අපේ සසර ගමන දිගු කරන ප්‍රධාන බලවේගය වන්නේ සියල්ල බදා ගෙන එක්රැස් කර ගෙන ඉඳුරන් පිනවමින් ගෙවන නිසරු දිවිපෙවෙතයි. ඉතින් මේ අර්ථයෙන් බැහැර වෙන ක්‍රියාවක් තමා දානය කියන්නේ. ඒ නිසා දානයේ සැබෑ අර්ථය ම තේරුම් ගෙන දන් දීමයි. වැදගත් වන්නේ. අද සිදුවෙන ඇතැම් දාන වැඩපිළිවෙල් නම් දානය කියන වචනයට කෙසේ නම් කිට්ටු වේ ද කියලත් හිතෙන තරමට ඒ අර්ථයෙන් බැහැර වෙලයි සිදු වන්නේ. මේ පිළිබඳ ඉතා වැදගත් සූත්‍ර දේශනාවක් ලෙස ‘වෙලාව‘ සූත්‍රය හඳුන්වා දෙන්නට පුළුවන්.

සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ විසූ බුදුරජාණන් වහන්සේ කලකට පසු දවසක් උන්වහන්සේගේ මහාදායකයා වූ අනේපිඬු සිටුතුමාගේ ගෙදරට වැඩම කළා. බුදුරජාණන් වහන්සේගේ චාරිකා දෙස බලනවිට උන්වහන්සේගේ සෑම චර්යාවක ම ලොකු අර්ථයක් තිබෙනවා. එයින් බොහෝ දෙනෙකුට කිසියම් අර්ථයක් නම් සිදු වෙනවා. ඉතින් බුදුරජණන් වහන්සේට කලකින් පසුව හමු වූ අනේපිඬුසිටුවරයා සමඟ සතුටුසාමිචී පිළිසඳරකට යොමු වුණා. උන්වහන්සේ සිටුවරයාගෙන් අහනවා. සිටුතුමනි, ඔබේ සිටු මාළිගාවේ දැනුත් ඉස්සර වගේ ම දන් දෙනවා ද? කියලා. මොකද? අනේපිඬු සිටුවරයා දිනපතා ම අඩුම වශයෙන් පන්සියයක්වත් මහසඟනට නිරතුරුව සිටු මාළිගාවේ දන් දීගෙනයි ආවේ. ඉතින් කලකින් හමු වූ බුදුරජාණන් වහන්සේ ඒ නිසයි මේ ප්‍රශ්නය මේ ආකාරයෙන් විමසුවේ. එසේය, ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, දැනුත් පෙර විදියට ම දන් දෙනවා. හැබැයි කාඩි හොදියි, නිවුඩු හාලේ බතුයි තමා දැන් දන් දෙන්නේ.’ මොකද? දැන් සිටුතුමාට පෙර වාගේ ශක්තියක් නැහැ. ප්‍රණීත විදියට දන් දීමට. ඒ වේලාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ‘සිටුතුමනි, කාඩි හොදියි, නිවුඩු හාලේ බතුයි දන්දීම නොවේ ප්‍රශ්නය. ප්‍රණීත වුණත්, රළු දානයක් වුණත් ඒ දානය දෙන ආකාරයයි වැදගත් වන්නේ.’ දානයක් දෙනකොට එය මැනවින් සකස් කොට මුල මැද හා අග යන තුන් අවස්ථාවේ දී ම පිරිසුදු සිතින් කර්මපල අදහා ගෙන ඒ ක්‍රියාව කළ යුතු වෙනවා.

දෙවැනි පියවර තමා දානය දෙන අවස්ථාවේ මහත් ගෞරව සම්පන්න හැඟීම් උපදවාගෙන ප්‍රතිග්‍රාහක පක්ෂය කෙරෙහි බුහුමන් කොට ඒ ක්‍රියාවෙහි නිරත වීම, ඒ නිසා තමා දානයට වැඩම වන මහාසංඝරත්නය නිවසට වැඩම වන අවස්ථාවේ ගේ දොර පිරිසුදු කර උඩු වියන් බැඳ පාවාඩ එළා වැඩමවා විශේෂ වශයෙන් සකස් කළ ආසන මත වඩා හිඳුවන්නේ. ඒ වගේම දන්දෙන අවස්ථාවේ දී පවා දන් දෙන නිවස තුළ ගෞරව සම්ප්‍රයුක්තව නිශ්ශබ්දතාව පවත්වා ගනිමින් හිත කය වචනය මැනවින් සංවර කරගෙන මට සිලිටු වදන් භාවිත කරමින් දන්දීම සිදු කෙරෙනවා. ඒ දානය පිරිසුදු වීමට නම් දන් ලැබීමට සුදුසු ලෙස අප වැඩමවා ගත් හෝ අපේ දානය පිළිගන්නා ප්‍රතිග්‍රාහක පක්ෂය ශීලා දි ගුණයෙන් යුක්ත පිරිසක් වෙන්නට අවශ්‍ය ම වෙනවා. එපමණක් නොව දන් දෙන අවස්ථාවේ ආවාට ගියාට නොව තමන්ගේ අතින් ම දන් පූජා කළයුතු වෙනවා. තම අතින් ම දන් පිළිගන්වනවා. ඒ වගේ ම දන් දෙන සැදැහැතියෝ දානමය පින්කම් නිරන්තරයෙන් සිදු කරනවා. අපේ බෞද්ධයෝ මහසඟන තම නිවෙස්වලට වැඩමවා දන් දෙනවා වගේ ම මාස් පතා සමහර විට වාර්ෂිකව විහාරස්ථානයට දානය සකස් කොට ගෙන ගොස් මහත් සැදැහැ සිතින් පූජා කරනවා. ඒ දානය විහාරස්ථානයට රැගෙන ගිහින් පූජා කරනවා කියා කිසිවක් අඩුපාඩු කරන්නෙත් නැහැ. ඒ විතරකුත් නොවෙයි වෙනත් රටේ ලෝකයේ වෙනත් ස්ථානවල විවිධ දානමාන පින්කම්වලට සහභාගි වී පින් සිදු කරගන්නවා. ඒකත් දන් දෙන අයගේ වැදගත් පිළිවෙතක් තමා. ඊළඟට වැදගත් ම කාරණය තමා මෙවැනි දානමාන පින්කම් කරන විට මෙවැනි ක්‍රියාවන්හි ප්‍රතිඵල විශ්වාස කිරීම. එනම් දන්දීමෙන් පින් සිදු වෙනවා. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩිදියුණු වෙනවා. භවභෝග වැඩි වෙනවා. ආශ්‍රව ධර්මයන් ක්ෂය කර ගැනීමේ මහත් ශක්තියක් බවට පත් වෙනවා. මේ කියන ඇදහීම විශ්වාසය ඇතිව තමා දන් දෙන්නට අවශ්‍ය කරන්නේ.

කොහොම වුණත් දන් දෙන කොට සකස්කොට දන් දීම, ගෞරව සම්ප්‍රයුක්තව දන්දීම, සියතින් දන්දීම, දානය පිළිගන්නා ප්‍රතිග්‍රාහක පක්ෂයේ පිරිසුදු බව පිළිබඳ සහතික වී දන්දීම, කම්පල අදහා ගෙන දන්දීම යන පිළිවෙත් අනුගමනය නො කොට දන්දීමෙන් එහි සර්ව සම්පූර්ණ ආනිසංස ලබා ගත නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ නිසා දායකයාට දානානිසංස වශයෙන් ලැබිය යුතු ඉහළ මට්ටමේ ආහාරපාන භව භෝග සම්පත් ලබා ගැනීමට සිත යෙදෙවෙන්නේ නැහැ. මටසිලිටු වස්ත්‍ර, ඉහළ මට්ටමේ පස්කම් සැප ලබා ගැනුමටවත් සිත යොමු වන්නේ නැහැ. ඒ පමණකුත් නොවේ එවැනි අයගේ භාර්යාව, ස්වාමිපුරුෂයා, දරුවන් හෝ දාසයන්, කම්කරුවන් ආදී කිසි කෙනෙක් ඔහුගේ හරි, ඇයගේ හරි වචනයට කීකරු වීමක් සවන් දීමක් නිසි අවස්ථාවක කරන්නේ නැහැ. එයට හේතුව තමා දන් දෙන අවස්ථාවේ ඒ කියපු පිළිවෙත් අනුගමනය නො කර ආවාට ගියාට වගේ දන්දීමෙහි යෙදීම. එතකොට පේනවා මේ දානය කියන කාරණයේ දී ඉතා මැනවින් පිරිසුදුව සකස් කොට දීමේ අවශ්‍යතාව. මේ අනුව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දී පෙන්වා දෙනවා දානය රූක්ෂම හෙවත් රළු වුවත්, ප්‍රණීත වුවත් එහි වෙනසක් නැහැ. දන් දෙන පුද්ගලයාගේ ශක්තිය අනුවයි ඔහු දන් දෙන්නේ. මිල මුදල් හයි හත්තිය තිබෙන දායකයාත්. එසේ නැතිව අහිංසක දුප්පත් පැල්පතේ වාසය කරන එදා වේල බොහොම අමාරුවෙන් පිරිමසා ගන්න දායකයාත් අතර වෙනසක් ඇති බව අප තේරුම් ගන්නට ඕන. දුප්පත් දායකයාට අර තරම් ප්‍රණීත දානයක් දෙන්නටත් හැකියාවක් නැහැ කියන මේ කරුණෙහි දී කර්ම විපාකය වෙනස් වන්නේ දන් දෙන වස්තුවේ ඉහළ පහළ මට්ටම අනුව නොව දන් දෙන ආකාරය අනුවයි පිනෙහි විපාකය වෙනස් වන්නේ.

මේ අවස්ථාවේ ද දානය පිළිබඳ තවත් අර්ථයක් පැහැදිලි කර දීමට බුදුරජාණන් වහන්සේ ‘වේලාම’ කතාපුවතින් කරුණු ගෙනහැර දක්වනවා. ඒ කාලයේ උන්වහන්සේ ‘වේලාම’ නම් බමුණා ව උපත ලබා සිටියා ය. ඒ ජීවිතයේ දී මේ වේලාම බමුණා රිදී පුරවන ලද රත්රන් පාත්‍ර අසූහාරදාහක්, රන් පිර වූ රිදී පාත්‍ර අසුහාරදාහක්, අමුරන් පිර වූ කාංචන පාත්‍ර අසූහාරදාහක්, රනින් සරසන ලද රන් කොඩි රන් ගෙජ්ජි වලින් සැරසූ ඇතුන් අසූහාරදාහක්, සිංහ හම්, කොටි හම්, දිවි හම්, පණ්ඩුකම්බල හෙවත් පඬුවන් වර්ණ ඇති සුවපහසු ඝන ලෝමවලින් එලන ලද රන්කොඩි හා රන්ගෙජ්ජිවලින් සැරසූ රථ අසූහාරදාහක්, දුහුල් කාංචනයෙන් සැරසූ දෙනුන් අසූහාරදහක්, පලස් සහිත, ඝන සුවපහසුකම් දැනෙන එළු ලෝමවලින් ඇතිරූ දෙපැත්තට තබන ලද කොට්ට ඇති යහන් හෙවත් කවිච්චි ඇඳ වැනි දේ අසූහාරදාහක් ආදී වන ගරු භාණ්ඩත් කෝසෙය්‍ය පට ආදී සිනිඳු රෙදි වර්ග අසූහාරදාහක් කන බොන දෑ පිළිබඳ ඉහළම තත්ත්වයේ අප්‍රමාණ ප්‍රණීත වර්ග ආහාර පාන වර්ග රාශියක් ආදී වශයෙන් දන් දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ‘සිටුතුමනි, එදා මම වේලාම බමුණා ව ඉපදී ඒ දුන්නේ සැබෑ දානයක්. පළවිපාක ලැබෙන දානයක් කියා නම් හිතන්න එපා. මම නම් එදා ඒ මහා දාන කියා හිතාගෙන දන්දුන්නා තමා. එහෙම වුණත් ඒ දානය පිළිබඳ අබමල් රේණුවක් තරම්වත් පිරිසුදු බවක් පැවතුණේ ම නැහැ. ඒ පිරිසුදු බව ඇති වීමට නම් දක්ෂිණාර්හ පිරිසක් උදෙසා අප දන්දිය යුතු වෙනවා. වේලාම බමුණාට දන්දීමට ලැබුණේ එවැනි දක්ෂිණාර්හ පිරිසක් නොවේ. ඉතින් මොන ම ප්‍රමාණවලින් දාන මාන දුන්නත් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එහෙම වුණත් දානය කියන මෙයින් සිදුවන අත්හැරීම එහෙම නැත්නම් තමන් සතු වෙනත් අයට පරිත්‍යාගයෙන් සිදු වන ලෝභ සිතිවිල්ල මැඩ පවත්වා ගැනීමට හේතු කාරක වෙනවා. දානයෙහි පාරිශුද්ධ භාවය ආරක්ෂා වීමට දන්දෙන දායකයා වගේ ම දන් පිළිගන්නා පිරිසත් සීලාදි ගුණයෙන් යුක්ත විය යුතු වෙනවා. මෙහිදී විශේෂයෙන් දන් ලබා ගන්නා ප්‍රතිග්‍රාහක පිරිස සීලාදී ගුණයෙන් යුක්ත වීම ඒ දානය මහත්ඵල වීමට ප්‍රබල හේතුවක් ම වෙනවා. එහි දී බුදුරජාණන් වහන්සේ මේ දානය පිළිගන්නා පිරිස අතර සෝවාන් වූ ආර්ය මාර්ගයට යොමු වූ උත්තමයෙකු සිටියා නම් ඒ දානය වෙලාම නම් බමුණා ව තමන් දුන් අසූහාරදහසේ ගණන්වලින් දුන් දානයට වඩා මහත්ඵල බවයි. ඒ සෝවාන් වූ සියයක් දෙනා වැළඳූ දානයට වඩා එකදු සකෘදාගාමී අයෙකුවත් සිටියා නම් එය ඊට වඩා මහත්ඵල වෙනවා. මෙසේ සකෘදාගාමි එක අයෙකුටවත් ඒ දානය පිළිගත්තා නම් එය සෝවාන් වූ අය සියයක් සඳහා දුන් දානයට වඩා මහානිසංස, වෙනවා. එවැනි සියයකට වඩා අනාගාමි එක අයෙකුවත් ඒ දානය වැළඳුවා නම් එය සෝවාන් වූ අය සියයක් සඳහා දුන් දානයට වඩා මහානිසංස වෙනවා. එවැනි සියයකට වඩා අනාගාමි එක අයෙකු ඒ දානය වැළඳුවා නම් එය මහත්ඵල වෙනවා. අනාගාමි සියයකට දුන් දානයට වඩා එබඳු රහතන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵල වෙනවා. පසේ බුදුවරු සියයකට දෙන දානයට වඩා එක ලොවුතුරා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය මහත්ඵල වෙනවා. එක සම්බුදුරජාණන් වහන්සේ නමකට වඩා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සතර දිසාවෙන් වැඩමවන මහාසංඝරත්නයට දනක්දීම, විහාරයක් කරවා පූජා කිරීම මහත්ඵල වෙන බව බුදුරජාණන් වහන්සේ මෙහි දී අවසාන වශයෙන් පෙන්වා දුන්නා.

මේ අතර දන්දෙන දායකයා ද ශීලාදී ගුණධර්මයන්හි පිහිටිය යුතු වෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තමනුත් තෙරුවන් සරණ යාම, ප්‍රාණඝාත ආදී පස්පවින් වැළකීම අඩුම වශයෙන් සුවඳක් තමන්ගේ නැහැයට දැනෙන තාක් වැනි සුළුව ම සුළු වේලාවකුදු ලෝ සතුන් කෙරෙහි මෙත් සිත වඩයි නම් එය ද මහත්ඵල මහානිසංස වීමට හේතු වන බව. මේ විදියට බලන විට දන්දෙනවා යන මේ උතුම් ක්‍රියාව සිදු කරන විට එය අංග සම්පූර්ණ සැබෑ පින්කමක් වීමට නම් ඒ අවශ්‍ය කරන සියලු කරුණු සම්පූර්ණ වීමත්, දායකයා ශිලාදී ගුණදහම් පුරමින් සිට බුදුරජාණන් වහන්සේ (හෝ. උන්වහන්සේ වෙනුවට ශාරීරික ධාතු තැන්පත් පෙති පිළිම) ප්‍රධාන මහා සංඝරත්නයට ම දන් දීම මහත්ඵල වන්නේ මහානිසංස වන්නේ.