Print this Article


උඩගම ශ්‍රී සුධර්මානන්ද විහාරය

උඩගම ශ්‍රී සුධර්මානන්ද විහාරය

උඩගම ශ්‍රි සුධර්මානන්ද විහාරය වසර 300කට වැඩි ඉතිහාසයක් ඇති ප්‍රදේශවාසී ජනතාවගේ ගෞරවාදරයට පත් විහාරස්ථානයකි.

විහාර ඉතිහාසය සැලකූ විට යතිවරයාණන් වහන්සේ කිහිප නමක්ම විහාරාධිපති ධූරය දැරූ අතර උන් වහන්සේ සියලු දෙනාම ජනතාවට හිත පිණිස ඇප කැපවී වැඩකටයුතු කර ඇත. කෙහෙල්ගමුවේ සීලරතන හිමි, කන්ගලසරණපාල හිමි, පොල්ගහ අංග සුදස්සී හිමි, උලපනේ පඤ්ඤානන්ද හිමිවරුන්ගේ අගනා සේවය සදා අමරණීය වේ.

ශ්‍රී සුධර්මානන්ද විහාරයේ වත්මන් විහාරාධිපති කිරිඳිවත්තේ සුමනසාර හිමියන්ය. විහාරාධිකාරිත්වය නුගගොල්ලේ විමලසාර හිමියෝ උසුලති. කිරිඳිවත්තේ සුමනසාර හිමියන් 2006 වර්ෂයේදී විහාරාධිපති ධූරය භාර ගනිමින් විහාරයේ ගරා වැටෙමින් තිබූ ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය ඇරැඹූහ. ඉන්පසු වත්මන් විහාරස්ථානයේ නුගගොල්ලේ විමලසාර හිමියන් වෙත විහාරාධිකාරිත්වය හිමි කරමින් දායක සභාව ඒකරාශී කරගැනීම නිසා සියලු කාර්යයන්හි අනුශාසකත්වය උන්වහන්සේට ලබා දුන්හ. විහාරයේ අභාවයට යමින් තිබූ විහාරාංග අලුත්වැඩියා කරමින් නව ධර්ම ශාලාව බෝධි ප්‍රාකාරය රන්වැට, ධාතු මන්දිරය ඉදිකරන ලදී . මෙහිදී ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු ඇප කැප වීම සුවිශේෂී වෙයි.

විහාරස්ථානය ඇසුරෙන් නිතිපතා, සතිපතා, මාසිකව සංවිධානය කරන පින්කම් බොහෝය. දානමාන, ධර්ම දේශනා, ශීල සමාදාන හා භාවනා වැඩසටහන් මඟින් ළඳරු ළමා, තරුණ තරුණියන්, වැඩිහිටියන් යහමගට ගැනීමට විහාරාධිපති හිමියෝ දැඩි වෙහෙසක් දරති.

උඩගම, ජාපාවත්ත, උඩගමකන්ද, ඉනදවිට, සිංහපුර ,උදානගම, පිල්ලෑව, ගෝනපොල, වරකාපිටිය ඇතුළු ගම් රැසක ජනතාවට ඇති එකම විහාරස්ථනය මෙය වෙයි.