Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙවර සීමාසහිත සිසිල් පාන සහ ආහාර දාන සමිතිය අනුරාධපුර රත්නමාලී විශ්‍රාම ශාලාව මඟින්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙවර

සීමාසහිත සිසිල් පාන සහ ආහාර දාන සමිතිය අනුරාධපුර රත්නමාලී විශ්‍රාම ශාලාව මඟින්

මිහින්තලා මහ සෑ රදුන් වහන්සේ

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙම බක් පුර පසළොස්වක පෝදා (10) පස්වරුවේ මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් එම කප්රුක් පූජා පින්කම මාසිකව මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.

මෙම බක්පෝදා එම පින්කමේ දායකත්වය සීමාසහිත සිසිල්පාන සහ ආහාරදාන සමිතිය අනුරාධපුර රත්නමාලී විශ්‍රාම ශාලාව මඟින් සිදු කෙරේ.

මාසිකව විවිධ ආයතන හා බෞද්ධ සංවිධානයන්හි දායකත්වයෙන් පැවැත්වෙන එම කප්රුක් පූජා පින්කමට පින්කැමැති ඔබට ද දායකවීමට සහභාගිවීමට අවස්ථාව සලසා ඇත. ඒ පිළිබඳ විස්තර සීසර් 0779086274 හෝ 0777207371 ජයමහගෙන් දැනගත හැකිය.

කප්රුක් චීවර පූජා පෙරහර පෝදා (10) පස්වරු 2.30ට මිහින්තලේ සාංචි විහාරය අසළින් ආරම්භ කෙරේ.

1950 දී පමණ මිනුවන්ගොඩ ප්‍රදේශයේ බෞද්ධ හිතවතුන් පිරිසක් අනුරාධපුර වන්දනා චාරිකාවට ගිය විට අටමස්ථාන වන්දනා කිරීම සඳහා පැමිණි සැදැහැවතුන් සඳහා සිසිල් පැන් ලබාදීමේ අවශ්‍යතාවක් පෙනී ගොස් ඇත. ඒ සඳහා පුණ්‍යකර්මයක් වශයෙන් සිසිල් පැන් දන්සලක් දීම යෝග්‍ය යැයි තීරණය කරන ලදී. ආරම්භයක් වශයෙන් සෑම පොසොන් පොහොය දිනකම කුඩා දන්සලක් වර්ෂ ගණනක් තිස්සේ පවත්වාගෙන යන ලදී. ඒ සඳහා නියමිත ස්ථානයක් නොතිබුණ බැවින් අනුරාධපුර පූජා නගර සංකල්පය තුළ ඉඩම් වෙන් කිරීමේ දී මේ සඳහා බිමක් රජයේ අනුමැතිය ඇතිව දීර්කාලීන බදු ක්‍රමය යටතේ ලබා ගන්නා ලදී. දන්සල පවත්වාගෙන යන ස්ථානයේ වන්දනාකරුවන් සඳහා එක විශ්‍රාම ශාලා ගොඩනැගිල්ලක් තැනීම යෝග්‍ය බව පෙනී ගිය බැවින් දන්සල සමඟ නන්දෙසින් පැමිණෙන වන්දනා කරුවන්ට නවාතැන් ලබාදීම සඳහා විශ්‍රාම ශාලාවක් තැනීමට තීරණයක් ගන්නා ලදී. මෙවැනි සංකල්ප සහ බෞද්ධ චින්තනය පෙරදැරි කර ගෙන විශ්‍රාම ශාලාවේ ආරම්භය සිදු විය.

වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ඒ සඳහා 1955.10.02 දින සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ මූලිකත්වයෙන් උත්සවශ්‍රීයෙන් මෙම සද් ක්‍රියාව අරඹන ලදී. ඒ අනුව 1955 සැප්තැම්බර් මස 28 වන දින සංගම් ආඥා පනත යටතේ සී/ස අනුරාධපුර සිසිල්පාන හා ආහාරදාන සමිතිය විශේෂ අනුමැතිය යටතේ ලියාපදිංචි කරන ලදී.

ඉන් පසු ක්‍රම ක්‍රමයෙන් සිසිල් පැන් දන්සල ආහාරදාන දන්සලක් දක්වා දියුණු කළ අතර සෑම වර්ෂයකම මෙය දියුණුවෙන් දියුණුවට පත් විය. මෙම ආරම්භක සාමාජික මහත්ම මහත්මීන්ගේ කැපවීමෙන් කරන ලද විශාල පුණ්‍යකර්මය ජයග්‍රහණයට පත්විය. එදා පටන් සෑම වර්ෂයකදීම නන්දෙසින් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් උදෙසා පොසොන් මහා බත් දන්සැල පවත්වනු ලබයි. බැතිමතුන්ගේ පහසුව සඳහා කාමර කිහිපයකින් ආරම්භ කරන ලද විශ්‍රාම ශාලාව ක්‍රම ක්‍රමයෙන් වර්තමාන සමාජයට ගැළපෙන පරිද්දෙන් සියලු පහසුකම් සහිතව අනුරාධපුයේ දැනට ඇති විශාලම විශ්‍රාම ශාලාවක් බවට පත්කර ඇත.

දැනට එහි සියලු නවීන පහසුකම් ඇතුළුව බිම් මහලේ ගොඩනැගිල්ලක්, දෙමහල් ගොඩනැගිල්ලක් සහ මහල් තුනේ ගොඩනැගිල්ලක් සහිත කාමර 90 ක් ඇත. මීට අමතරව වන්දනා නඩ සඳහා 150 කට වැඩි පිරිසකට නැවතිය හැකි ශාලා තුනක්, මුළුතැන්ගෙයක් දාන ශාලාවක්, සංඝාවාසයක්, කිරි ආහාර පිළියෙළ කළ හැකි මුළුතැන්ගෙයක්, ආපන ශාලාවක් සහ වාහන 100ක් පමණ නවතා තැබිය හැකි අංගනයක් විශ්‍රාම ශාලාව සතුව ඇත.

මෙහි පිහිටීම වන්දනාකරුවන් සඳහා ඉතාම යෝග්‍ය අන්දමට සැකසී ඇත. මල්වතු ඔය මායිමෙන් ගලා බසී. දුම්රිය පොළට ඇත්තේ සැතපුම් කාලකට වඩා කෙටි දුරකි. අටමස්ථානයේ චෛත්‍ය තුනක් මෙහි සිට දුරින් දිස්වේ. එමෙන් ම විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධියට ඇත්තේ පා ගමනින් යා හැකි දුරකි. ආචාරශීලි කාර්යක්ෂම කාර්යය මණ්ඩලයක්, පැමිණෙන සියල්ලන් සඳහා සේවය ලබාදීමට සැදී පැහැදී සිටී. පොසොන් උත්සවය සඳහා දින තුනක් විශාල පිරිසකට උදේ, දිවා, රාත්‍රී ආහාර පාන දන්සල විවෘතව ඇත. එමෙන් ම වර්ෂයේ සෑම පොසොන් පොහොය දිනකමදී ම ශීල සමාදානවලට සහභාගී වන සහ වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් 500කට වැඩි ප්‍රමාණයකට ආහාර දානය ලබා දෙනු ලැබේ. පොසොන් පොහොය දිනයේ දී ධර්ම ග්‍රන්ථ විශාල ගණනක් නොමිලේ බෙදා දෙනු ලැබේ.

ආරම්භක සාමාජික සාමාජිකාවන්ගේ දෙවන පරම්පරාව දැනට මෙහි පාලනය භාරගෙන කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවක් හෝ ප්‍රතිලාභයක් නොගෙන තම කාලය, ශ්‍රමය, ධනය කැප කර අධ්‍යක්ෂක මණ්ඩලය මෙහි පාලන කටයුතු ඉතා සාර්ථක අන්දමින් කරගෙන යනු ලබයි. මේ වන විට තුන් වන පරම්පරාව සඳහා අනාගතයට යෑමේ මාර්ගෝපදේශකත්වය පෙන්වමින් විශ්‍රාම ශාලාවේ ඉදිරි අනාගතය සඳහා මොවුන් හැඩ ගස්වමින් ප්‍රගතිය කරා යොමු කෙරේ.

විශ්‍රාම ශාලාවේ දියුණුව සහ එය පවත්වාගෙන යෑමට අමතරව එමගින් වෙනත් සේවාවන් රාශියක් දැනට කරගෙන යමින් පවතී. රුවන්මැලි මහා සෑයේ දකුණු පරිවාර චෛත්‍ය මෙම සමිතියේ සාමාජික මහතුන්ගේ ධන පරිත්‍යාගය මගින් සාදවා පූජා කරන ලදී. ඊට අමතරව මහනුවර දළදා වහන්සේගේ රන් කරඬුව ප්‍රභාමත් කිරීම සඳහා සැමගේ රන් අබරණ එකතුවක් ලබාගෙන විශේෂ නිර්මාණ කිහිපයක් පළන්දවන ලදී.

ආර්ථික අපහසුතා ඇති දුෂ්කර ගම්මාන පන්සල් දියුණු කිරීම සඳහා ද්‍රව්‍යමය ආධාර සහ මුදල් ආධාර සඳහා වෙනම අරමුදලක් මෙම ආයතනය මගින් පවත්වාගෙන යනු ලබයි. අඩු ආදායම් ලබන පවුල්වල අධ්‍යාපන දක්ෂතාවන් ඇති ගිහි පැවිදි සිසුන් සඳහා මාසික ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දී ඇත. පොහොය දින සහ වෙනත් උත්සව අවස්ථාවල දී සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සපයා දීම මෙහි සාමාජික මහතකු විසින් සිදු කරයි. අටමස්ථාන සහ වෙනත් පෞරාණික ස්ථානවල ශෛලමය ප්‍රති නිර්මාණ කිරීමේ ඒ සඳහා අවශ්‍ය කළු ගල් නිර්මාණ සිදු කර දීමේ හැකියාව ඇති සාමාජික මහත්වරුන් මෙම සමිතියට ශක්තියකි.

මෙම ආයතනය මගින් ඉදිරි වර්ෂවලදී ඉටු කිරීමට බලාපොරොත්තු වන පුණ්‍යකර්ම මෙන් ම සමාජ සත්කාර බොහෝය. උසස් අධ්‍යාපනයට යොමු නොවූ හැකියාවන් ඇති ළමුන් සඳහා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර වෘත්තිමය පුහුණුවක් ලබා දී සමාජයට වැඩදායක පිරිසක් බිහිකිරීමේ සැලැස්මක් සකස් වෙමින් පවතී.

වකුගඩු රෝගවලින් පීඩා ලබන උතුරු සහ උතුරු මැද පළාත්වල නොදියුණු ගම්මාන සඳහා ජලය පිරිසුදු කර ලබාදීමේ කුඩා ව්‍යාපෘති ගණනාවක් ලබාදීමට සැලසුම් කර ඇත.

ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් ඓතිහාසික මිහින්තලා පුද බිමේ මහ සෑ රදුන් වෙත පවත්වන මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවට දායකවීමට, සහභාගී වීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් මිහින්තලා රජමහා විහාරාධිපති නා හිමියන්ටද, ලේක්හවුස් කාර්යමණ්ඩලය වෙතට ද ගෞරව ප්‍රණාමය පුද කරන බව එම සමිතිය කියයි.