Print this Article


රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මෙවර වට්ටාරම කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපෘති රැසක්

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මෙවර

වට්ටාරම කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපෘති රැසක්

වෙසක් උත්සවය යනු බෞද්ධයන්ගේ උතුම්ම ආගමික උත්සවය බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. සෑම වසරකම වෙසක් උත්සවය රාජ්‍ය මට්ටමින් පවත්වනු ලබන්නේ එම නිසයි. පසුගිය වසරේ හම්බන්තොට නයිගල විහාරය කේන්ද්‍ර කරගෙන වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වුණු අතර මෙවර කෑගල්ල දිස්ත්‍රික්කය මුල් කරගෙන ඓතිහාසික වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාරස්ථානය මූලික කරගෙන පැවැත්වීමට රජය තීරණය කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව දිස්ත්‍රික්කයේ පමණක් නොව රට පුරාම බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම පිණිස කටයුතු කිරීම අරමුණ වී තිබේ. ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවයට සමඟාමීව කුල දරුවන් 500ක් පැවිදි කිරීම මෙහිදී සිදු කරනු ලබන උතුම්ම පුණ්‍ය කර්මයයි. එම කාර්යය බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබේ. කුල දරුවන් පැවිදි කිරීමේ පුණ්‍ය කර්මය මේ වසර මුල සිට ආරම්භ කෙරුණු අතර එම කුල දරුවන්ගේ මවුපියන්ට නිවාස තනා දීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කර ඇත. එසේම එම කුල දරුවන්ගේ මවුපියන් වෙත විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීමට ද කටයුතු කෙරේ.

එම හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ආරෝග්‍ය ශාලාවලදී ප්‍රමුඛතා හිමි වීම ඇතුළු තවත් වරප්‍රසාද රැසක් හඳුන්වාදීමට නියමිතව ඇත. එසේම එම දරුවන්ගේ මවුපියන්ට දඹදිව චාරිකා වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරේ. ඒ කාර්යයන් සියල්ලම බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් සිදු කරනු ඇත. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ජාති ආගම් භේදවලින් තොරව සියලු දෙනාගේ සහායෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂ කටයුත්තකි. විශේෂයෙන්ම මෙවර රාජ්‍ය උත්සවය සංවිධානය කිරීමේදී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා අමාත්‍ය කබීර් හෂීම් මහත්වරුන් මුල් තැනක් ගෙන කටයුතු කරමින් සිටී.

අවසන් මහ රහතන් වහන්සේ වැඩ විසූ ස්ථානය ලෙස සැලකෙන වට්ටාරම විහාරස්ථානය සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පැරැණි වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමටද කටයුතු කර ඇත. වට්ටාරම විහාරස්ථානය ආසන්නයෙන් දිවෙන කෑගල්ල පොල්ගහවෙල ඒ - 19 ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සිදු කෙරමින් පවතී. මේ සඳහා රජය රුපියල් මිලියන 150 ක මුදලක් වෙන් කරන ලදී. මීට අමතරව විහාරස්ථාන හා පන්සල් කේන්ද්‍ර කර ගෙන ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමටත්, දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ජංගම සේවා පැවැත්වීමත් මෙහිදී සිදු කෙරේ. මෙමගින් විහාරස්ථාන හා දහම් පාසල්වල අඩුපාඩු සපුරාලීම භික්ෂූන් වහන්සේ සහ දහම් පාසල් ගුරුවරුන් ලියාපදිංචිය ආදි කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇත. විශේෂයෙන් දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වී තිබීම වැදගත් වන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ දහම් පාසල් 100ක් සංවර්ධනය උදෙසා රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

ඒ අනුව එක් දහම් පාසලක් සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 2.5 මුදලක් හිමි වනු ඇත. එමෙන්ම වසර 30 වැඩි කාලයක් සේවය කළ දහම් පාසල් ගුරුවරුන් ඇගයීමටද කටයුතු යොදා ඇත. ජනතාවගේ ආකල්ප සංවර්ධනය සම්බන්ධ ව විශේෂ අවධානයක් මෙවර වෙසක් උත්සවයට සමඟාමී ව සිදු කරනු ලබන අතර එහිදී භික්ෂූන් වහන්සේ, රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසු සිසුවියන්, දහම් පාසල් ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ආකල්ප සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නංවනු ලැබේ. මෙහිදී භාවනා වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරෙන අතර අනුරාධපුරයේ දී දස දින භාවනා පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. එමෙන්ම 350ක පිරිසකගේ සහභාගීත්වයෙන් එක්දින භාවනා පුහුණු වැඩසටහනක් කෑගල්ලේ දී පවත්වා ඇත.

මීට අමතරව රුපියල් මිලියනයක පමණ වියදමින් ඉදිකෙරෙන පින්නවල ශ්‍රී සුදර්ශනාරාමයේ කෞතුකාගාරය බෞද්ධයන්ට ඉතා වැදගත් වන අතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 100ක් සංවර්ධනය උදෙසා රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කර ඇත. මේ අයුරින් දැවැන්ත සංවර්ධනයක් කරා මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගෙන යන අතර එය අන්තර්ජාතික වෙසක් සැමරුම් උත්සවය පැවැත්වීමට ලෝකයේ සියලු බෞද්ධ රටවල රාජ්‍ය නායකයින් මෙරටට පැමිණීමට ලබා දෙන මහඟු ආශිර්වාදයක් වනු ඇත.

(බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහතාගෙන් හා බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ලබා ගත් තොරතුරු ඇසුරිණි)