Print this Article


වියපත් දිවියේ සුවපත් බවට...

වියපත් දිවියේ සුවපත් බවට...

" බුදුදහම ජීවිත පරිණාමය ගැන කරුණු සඳහන් කරන අවස්ථා බහුල වේ. මහලු වියේ දී ස්වභාවිකව උද්ගත වන්නා වූ කායික සහ මානසික ගැටලු නිරාකරණයෙහි ලා යොමු විය යුතු අංශ පුළුල්ව, සංවේදීව පැහැදිලි කරන අවස්ථාවක් ‘සච්ච විභංග‘ සූත්‍ර දේශනාවේ ඇතුළත් වේ.''

ඒ ඒ සත්වයින්ගේ ශරීර තුළ ඇති වන්නා වූ පරිණාමය, දත් දිරායාම, හිසකෙස් (කලු) සුදු පැහැ ගැනීම, හම දුර්වර්ණය වීම, ජීවිතයේ අවසානය කරා ළඟාවීම සහ මානසික ශක්තිය මුහුකුරායාම ඇතුලු සියලුම දේ ජීවිත පරිණාමය හෙවත් වැහැරීම ලෙස හැඳින්වේ.

බුදු දහමේ මිනිස් ජීවිතය හා බැඳි සිද්ධීන් ‘දුක්ඛ’ යන වචනය තුළින් විවරණය කරන්නේ එය යථාවබෝධයෙන් දැන ගැනීමට හා ඒ තුළින් ජනිතවන අවස්ථාවන් නිවැරැදිව කළමනාකරණය කොටගෙන මුහුණ දීමට පුද්ගලයන් පුරුදු පුහුණු කරලීමටය. ‘ජාති’ යන්නේ දිවියේ ආරම්භය ද, ‘මරණය’ යන්නේ භෞතික කයෙහි නිමාව ද, උපත සහ විපත අතර පවතින ක්‍රියා සන්තතිය ‘ජරා’ යන්නේ ද හැඳින්වේ. ‘ජරා’ යන වචනය තුළ විපරිණාමය තේරුමද අන්තර්ගත වේ. විටින් විට ඇතිවන වෙනස්වීම, බලාපොරොත්තු සුන්වීම, පි‍්‍රය වස්තුන්ගෙන් සමුගැනීම, අපි‍්‍රය අවස්ථාවන්ට මුහුණදීම හා කායික මෙන්ම මානසික රෝගාබාධයන්ට ලක්වීම ආදී අනේකවිධ වූ කැමැති මෙන්ම අකැමැති දේ මෙම විපරිණාමය යන්නේ හඳුනාගත හැකි වේ.

බටහිර වෘද්ධතාව පිළිබඳ මනෝ විද්‍යාඥයන් විවිධ ක්‍රමෝපායන් පෙන්නා දෙමින් ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගත කරන්නට ජනතාව දැනුවත් කරන අයුරු දැකගත හැකි වන අතර ඒ සඳහා විවිධ ක්‍රමෝපායන් දිනෙන් දින හඳුන්වා දේ. බුදුදහම තම අනුගාමිකයින්ට පෙන්වා දෙන්නේ ස්වශක්තිය මත පදනම් වූ අවබෝධය ළඟා කර ගැනීමේ අවශ්‍යතාවයි. එසේ ළඟා කරගන්නා අවබෝධය පදනම් කරගෙන ජීවිතයේ ස්වර්ණමය යුගය කළමනාකරණය කර ගැනීමේ වැඩපිළිවෙළකට ප්‍රවේශවීමේ අත්‍යවශ්‍යතාවය බෞද්ධ දර්ශනය තුළින් ඉස්මතු කරයි.

බුදුදහම ජීවිත පරිණාමය ගැන කරුණු සඳහන් කරන අවස්ථා බහුල වේ. මහලු වියේ දී ස්වභාවිකව උද්ගත වන්නා වූ කායික සහ මානසික ගැටලු නිරාකරණයෙහි ලා යොමු විය යුතු අංශ පුළුල්ව, සංවේදීව පැහැදිලි කරන අවස්ථාවක් ‘සච්ච විභංග‘ සූත්‍ර දේශනාවේ ඇතුළත් වේ. මීට පරිබාහිරව විශුද්ධි මග්ගයෙහි සඳහන් කෙරෙන අවස්ථාවන් පහ (05) ද එක්කරගෙන සැසඳීමකින් මනා චිත්‍රයක් ගොඩනගා ගත හැකි ය. මහලු වියට අදාළව කායික වෙනස්වීම් පහත පරිදි විග්‍රහ කරගත හැකිවේ.

පළමු අවධිය, ‘හායන’ නමින් හඳුන්වන අතර ඒ අවධියේ දී වයස අවුරුදු පනහ (50) ඉක්මවන විට ඇතිවන මූලික ලක්ෂණ පෙන්වා දේ. මෙය මධ්‍යම වියේ ඇති විය හැකි අර්බුදය ලෙස මනෝ විද්‍යාඥයෝ අදහස් කරත්.

දෙවන අවධිය

‘පබ්බහාරය’ වයස අවුරුදු 60- 70 අතර වේ.

තෙවන අවධිය

පංචක’ය වයස 70-80 අතර වේ.

සිව්වන අවධිය

‘මූමෝහ’ ලෙස හැඳින්වේ. එය සිහි නුවණ අවුල් වන අවස්ථාවයි.

පස්වන අවධිය

‘සයන’ අවධියයි. ජීවිතයේ නිමාව ලෙස ද විග්‍රහ කෙරේ.

හායන’ අවධිය ගැන සඳහන් වන ලක්ෂණ කිහිපයක් විශුද්ධි මග්ගයෙහි පෙන්නා දී ඇත්තේ මෙසේ ය.

දත් දිරායාම කලු කෙස් සුදු පැහැ ගැනීම, සම රැලි වැටීම, කේස කලාපය සුදු පැහැ ගැන්වී හණ නූල් බවට පත්වීම, යොවුන් වියේ පැවැති ප්‍රසාද ජනක කෙස් කළඹ දැන් පවතින්නෙන් තැනින් තැන පැටලුණු කෙස් නීල වර්ණය වූ දෙ ඇස් දිරායාම, විඩා බවින් යුතුවීම, නාසය හැකිලීම, පෙර දා පැහැබර වූ මුව දත් කැඩුණු හා කහ පැහැ ගැන්වුණු දත්වලින් යුතුවීම, දත් බිඳීම නිසා කථන අපහසුව, පැටලෙන කථන වචනවලින් යුතු වීම මස් දියවී යාම නිසාම නහරවල් හැකිලුණු ස්වරූපයක් ගැනීම, ශරීරයේ සියුම් රැලි හටගෙන ඇති නිසා සම රැලි සහිත දැලක් සේ වීම යනුවෙන් භෞතික කයෙහි ඇති වන විපරිණාමය විචිත්‍රාකාරයෙන් පාලි ථේරිගාථා සවිස්තරාත්මකව පෙන්නා දෙන රූප කයෙහි ස්වභාවයන් සර්වකාලීන ය.

වියපත් සමයේ තවත් පිටුවක් 60 – 70 යුගයට සම්බන්ධ වන අවධිය ‘පබ්බරෙවච’ යනුවෙන් හැඳින්වේ. මෙහි දී මෙතෙක් කල් සෘජුව පවත්වාගෙන ගිය භෞතික කය ඉදිරියට නැමීමට පටන් ගනී. එසේම සමෙහි වර්ණවත් භාවය ද ක්‍රමයෙන් ගිලිහේ මෙසේ ශරීර ස්වභාවය වඩාත් පහසුවෙන් වෙනසක් දැකිය හැකි අවධිය ‘පච්චක’ අවුරුදු 70 – 80 අවස්ථාවේ මෙම වයස් ඛණ්ඩයේ දී සැරයටියක ආධාරය අවශ්‍ය වේ. ඉතා වේදනාබර මෙන්ම විවිධ රෝගාබාධයන්ට ගොදුරුව ගිලන්වීම මෙන්ම ශරීරය රෝග වාසස්ථානයක් වීම නොවැලැක්විය හැකි තත්ත්වයකි. සමස්ත කයෙහි අඩපණ වීම ක්‍රමයෙන් ආරම්භ වන, මානසික ශක්තිය අභියෝගයට ලක් කරන සිහිය ප්‍රමාණවත්ව රඳවා ගත නොහැකිව කවරෙකුගේ හෝ ආධාරයෙන් ජීවත් වීමට සිදුවන අවධිය මෝමූහ නමින් හැඳින්වේ. ඇතැමුන්ට මෙම වයස්වලදී තමාගේ මල මූලයෙහි ඇලී ගැලී අබල දුබල වී තවකෙනකුගේ ආධාරයෙන් නැඟී සිටීමට සිදුවේ. මෙසේ පවත්වාගෙන යන මිනිස් කය එහි අවසාන අදියරට ළඟා වීම ‘සයන’ අවධිය වේ.

පාලි සාහිත්‍යයෙහි මෙසේ විස්තර වන පස් වැදෑරුම් අවධීන් පෙන්නා දීමෙන් අපේක්ෂා කළේ ජීවිතය සහ ඒ සම්බන්ධ පවත්නා වූ විපරිනාමය ගැන යථාවබෝධයක් ජනතාව තුළ ඇති කොට කායික වැහැරීමට මුහුණදීමට වියපත් වන සමාජය සූදානම් කිරීම පිණිස පමණක් වන අතර ස්වාභාවිකව ඇති වන්නා වූ යථා ස්වරූපයට මුහුණ දීමට නොහැකිව සෝකවීම ක්ලාන්ත වීම, දැඩි වේදනාවට පත්වීම, ළයෙහි අත් ගසා ගනිමින් හැඬිම, සිහිමුලාවට පත්වීම, වැනි යථාරූපී නොවන දේ සඳහා අපව පත්වීම වළකා, අවධිබවකින් වැඩිහිටිභාවයට ළංවීමට කායික මෙන්ම මානසිකවද සූදානම් කරලීම සඳහා ය. එසේම එම වයස්වලට අනුරූපවන පරිදි තම තමන්ගේ චර්යා රටාවන් ද පවත්වාගත යුතු බව පරාභව සූත්‍රය වැනි සමාජගත දේශනාවලින් යුතු සූත්‍රවලින් අවධාරණය කරයි. සද්චර්යාවලින් යුතුව තම දිවියේ සැඳෑ සමය කළමනාකරණය කරගෙන අසද් චර්යාවන්ගෙන් විනිර්මුක්තව ‘සයන’ සමයේදී දිවි මඟින් සැනසුම් සුසුමක් හෙලා සමුගෙන යන්නට සවිමත් වයස්ගත ජන සමාජයක් ප්‍රතිනිර්මාණය කරලීම බුදුදහමේ අභිලාසය වන අතර මහලු වියේ දී භෞතික කයෙහි පරිණාමයට සාපේක්ෂව ඇතිවන සිරුරේ දිරාපත්වීම වළකා, ජීවිතයේ සෑම වයස් කාණ්ඩයකදීම එක සමානව ජීවත් විය හැකිය යන වැරැදි දර්ශනයක් මිනිසුන් අතර ඇති කරලීම නොවේ. බුදු දහම හෙළි කරන කායික හා මානසික විග්‍රහයෙන් අදහස් කරන්නේ යම් කෙනෙකු මිය යනතුරු ආතුර වූ මිනිස් කය තුළ අනාතුර වූත්, ශක්තිමත් වූත් මානසික තත්ත්ව සහිතව ජීවත් කර දීමටය.