Print this Article


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්ධරව වැඩ විසූ අපවත් වී වදාළ  අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්ධරව වැඩ විසූ අපවත් වී වදාළ 

අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමි

" භාෂා සාහිත්‍යයෙහි මෙන්ම ධර්ම ශාස්ත්‍රීය උදාර මෙහෙවරෙහි නිරත වූ දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹරේ සංඝපීතෘන් වහන්සේ නමක් වූහ."

සම්බුදු සසුනේ චිරස්ථිතිය පතා ජීවිතය කැප කළ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයන් වහන්සේ නමක් වූ නුගේගොඩ පාගොඩ විද්‍යා විජයාරාමාධිපති සංස්කෘත චක්‍රවර්තී, භාෂාන්තර විශාරද, ජින ශාසන කීර්ති ශ්‍රී දෛවිභාෂා විශාරද ග්‍රන්ථ විශාරද, රාජකීය පණ්ඩිත, අග්ගමහා පණ්ඩිත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉකුත් දා (03) අපවත් වී වදාළහ.

උන්වහන්සේගේ ශි‍්‍ර දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ඉකුත් (06) දා පස්වරුවේ සිදු කෙරිණි. ඌව පරණගම දවුල්දෙණ ග්‍රාමයේ ආලෝක මුදියන්සේලාගේ කවිරාල සහ ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1915 දෙසැම්බර් 31 වන දා උපත ලැබීය. ඌව පරණගම ගුණරතන විද්‍යාලයෙන් අටවන වසර දක්වා අධ්‍යාපනය ලැබීය.

සපුගොල්ල තපෝධනාරාමයේ වැඩ සිටි ඌමැලේ පඤ්ඤානන්ද මහා නාහිමියන් සහ ඌමැලේ පියරතන නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1928 මාර්තු 8 වන දා දවුල්දෙණ ඤාණිස්සර නමින් පැවිදි බිමට පත්විය. පැවිදි දිවියට අවශ්‍ය මූලික පොත්පත් කියවා 1932 දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්ව කහවේ ශ්‍රී රතනසාර නාහිමියන් මුල්කර ගනිමින් විද්‍යෝදය අවසානය දක්වා අධ්‍යාපනය ලබා රාජකීය පණ්ඩිත උපාධිය හිමිකර ගත්හ.

ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් පළකිරීමට සමත් වූ උන්වහන්සේ බුද්ධ භක්ති මඤ්ජරී, යතිදූතම්, ධර්මචින්තා, යශෝධරා කාව්‍යම්, මහා මහේන්ද්‍ර ක්ෂීණාශ්‍රවගමනම් කෘති ඇතුළු සම්භාවනීය පැවිදි චරිත ද ඇතුළත් සංස්කෘත කාව්‍ය රැසක් ලියා පළ කර ඇත.

දවුල්දෙණ ඤාණිස්සර මහ නා හිමියන් ඇටැම්පිටියේ විද්‍යාභූෂණ පිරිවෙනෙහි ආචාර්ය ධූරයක් සහ මහරගම සිරි වජිරඤාණ ධර්මායතන පිරිවෙනෙහිද ආචාර්ය ධූරයක් දැරූහ. කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනෙහි ආචාර්ය ධූරයක් දරමින් සිදුකළ සේවය සම්භාවනීයහ.

තායිවානයේ දී චීන භාෂාව හදාළ උන්වහන්සේ තායිලන්තයෙන් ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබූහ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය ධූරයෙන්ද අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය ධූරයෙන්ද පිදුම් ලැබූහ. තායිවානයේ ළිං සෝම් සහ වුට්න්වා විශ්වවිද්‍යාලවල මහාචාර්යවරයෙකු ලෙසද සේවය කළහ.

උඩරට අමරපුර සාම ගී‍්‍ර සංඝ සභාවේ කාරක සභික ධූරයට පත්ව ස්වකීය නිකායේ මහානායක ධූරයෙන් පිදුම් ලද උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක පදවියෙන්ද පිදුම් ලැබූහ. ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් ග්‍රන්ථ විශාරද උපාධියෙන්ද විද්‍යෝදය පිරිවෙන මගින් සංස්කෘත චක්‍රවර්තී හා සුමංගල විද්‍යාවතංස ගෞරව නාමයෙන්ද, සම්මානිත වූ උන්වහන්සේ අමරපුර මහා සංඝ සභාව මගින් භාෂාන්තර විශාරද ජින ශාසන කීර්ති ශ්‍රී ගෞරව සම්භාවනාවට පාත්‍ර කෙරිණි.

ස්‍යාමෝපාලිවංශික ශ්‍රී රෝහණ සංඝ සභාව මඟින් දෛවි භාෂා විශාරද ගෞරව නාමයෙන්ද පිදුම් ලද දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ සංඝ සභාව මඟින් සාහිත්‍යසූරී සම්මානයෙන්ද, උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාව මඟින් ත්‍රිපිටකාචාර්ය හා මහෝපාධ්‍යාය නාමයෙන්ද පිදුම් ලැබූහ.

ඌව අමරපුර නිකාය, උඩරට අමරපුර මහා නිකාය, ඌව උඩුකිඳ අමරපුර නිකාය, උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාව මගින් ‘ශාසන වංසාලංකාර පරියත්තිධජ’ නාම සම්මුතියෙන් පුදනු ලැබූහ. අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය මගින් “සංස්කෘත සාහිත්‍ය සරස්වතී’ සම්මානයෙන්ද” අමරපුර මහා නිකායේ එක්නැලිගොඩ පාර්ශ්වය මගින් ෂඩ්භාෂා පරමේශ්වර මහා මහෝපාධ්‍යාය නාමයෙන්ද උන්වහන්සේ පුදනු ලැබූහ. ආසියානු බෞද්ධ සම්මේලනය මඟින් සාම රන්පදක්කම පුදා උපහාර දැක්වූහ. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මඟින් දෛවිභාෂා පරමේශ්වර ගෞරව නාමයෙන් හා බුරුම රජය මඟින් අග්ගමහා පණ්ඩිත උපාධිය පුදනු ලැබූහ.

රුසියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, එංගලන්තය, ඉන්දියාව, මොංගෝලියාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, මියන්මාරය, ඉන්දුනීසියාව, තායිවානය ආදී පෙර අපර දෙදිග රටවල ධර්මදූත සේවාවෙහි නිරතවෙමින් සිදුකර ඇත්තේ උදාර මෙහෙවරකි.

භාෂා සාහිත්‍යයෙහි මෙන්ම ධර්ම ශාස්ත්‍රීය උදාර මෙහෙවරෙහි නිරත වූ දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹරේ සංඝපීතෘන් වහන්සේ නමක් වූහ.

සපුගොල්ල මූල මහා විහාරයේ මෙන්ම පාගොඩ ශ්‍රී විද්‍යාවිජයාරාමය අරඹා සිදුකරන ලද්දේ උදාර මෙහෙවරකි. නුගේගොඩ පාගොඩ පාරේ පළමු හරස්වීදියේ භාවනා විවේකාශ්‍රමය පිහිටුවා අති විශිෂ්ට සේවාවක් සිදු කර ඇත. බොරලැස්ගමුව දෙහිවල පාරේ දවුල්දෙණ ඤාණිස්සර භික්ෂු ගිලන්හලද පිහිටුවා ඇති උන්වහන්සේ එකී ආයතනයන්හි ආධිපත්‍ය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙත පවරා ආදර්ශවත් මෙහෙවරක් සිදු කර ඇත.

උන්වහන්සේගේ 102 ජන්ම දිනය නිමිත්තෙන් ඉකුත් දෙසැම්බර් 31 වන දා පාගොඩ පාරේ විද්‍යාවිජයාරාමයේ තෙමහල් ගොඩනැගිල්ල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

අධ්‍යාපනික, ශාස්ත්‍රීය ආගමික, ශාසනික, සුවිසල් මෙහෙවරක නිරතව වැඩ සිටි දවුල්දෙණ ඤාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 102 වන වියේදී ඉකුත් (03) දා අලුයම අපවත් වී වදාළහ. ගිහි පැවිදි උභය සමාජයේම ඉමහත් ගෞරවයට පාත්‍රව වැඩසිටි උන්වහන්සේට අමා මහ නිවන් සුව පතමු.


උන්වහන්සේගේ ශි‍්‍ර දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ඉකුත් (06) දා පස්වරුවේ සිදු කෙරිණි.