Print this Article


ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙනි: සංහිඳියාවේ පණිවුඩය ලොවට ගෙන යන්නට මහඟු අවස්ථාවක්

ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙනි:

සංහිඳියාවේ පණිවුඩය ලොවට ගෙන යන්නට මහඟු අවස්ථාවක්

අතීතයේ පෙරදිග පමණක් ජනපි‍්‍රය වුවද වර්තමානය වන විට බුදු දහමට බටහිර රටවලද ඉහළ ප්‍රතිචාර ලැබී තිබේ. ඊට බලපෑ ප්‍රධානතම කාරණය අනගාරික ධර්මපාලතුමාගේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළයි. ධර්මාශෝක රජතුමාගෙන් පසුව සම්බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කරන්නට කටයුතු කළ මෑත කාලීන සම්භාවනීය පුද්ගලයා එතුමාය.

අමෙරිකාවේ පැවැති ජාත්‍යන්තර දෘෂ්ඨි සම්මේලනයේදී අනගාරික ධර්මපාලතුමා කළ කතාව බටහිර ලොව පුරා බුද්ධ ධර්මය පිළිබඳව අධ්‍යයනය කිරීමට, ඉගෙනුමට උනන්දුවක් ඇති කළේය. බුදුදහම ඉංගී‍්‍රසි හා වෙනත් භාෂාවන්ට පරිවර්තනය වූයේද එහි ප්‍රතිඵලයක් ලෙසටය. අද වන විට ප්‍රධාන ආගම් සතර අතර බුදුදහමට වැදගත් තැනක් හිමි වී තිබේ.

ලොව පුරා දිනෙන් දින දියුණුවන විද්‍යා තාක්ෂණය හා සැසඳීමේ දී බුදුදහමේ ඉගැන්වීම් සත්‍ය බව තහවුරු වීම සිදුවේ. සත්‍ය දැනගත් විට ඒ පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීමට, පර්යේෂණ කිරීමට, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බටහිර ප්‍රාඥායෝ වඩාත් උනන්දු වෙති. පසුගියදා එක් ලිපියක ලියැවී තිබුණේ බුදුදහමේ ඉගැන්වීම් පිළිබඳව වර්තමානයේ අවධිමත් බවක් ඇතිවී තිබෙන බව හා වර්තමානයේ යම් අවස්ථාවක මාර්ගඵල ලැබීමක් වේ නම් එවැන්නක් බටහිරින් දැකගත හැකිවන බවය. සත්‍ය දැනගත් විට ඒ ගැන විමර්ශනය හා ක්‍රියාත්මක වීමට බටහිර රටවල, ඇති උනන්දුව එම ප්‍රකාශයට හේතු වන්නට ඇත. ඒ අනුව ථෙරවාදී සම්බුදුදහම පිළිබඳව වන ලොව පුරා ඇති උනන්දුව තවදුරටත් වර්ධනය කරන්නට මෙරට පැවැත්වෙන අන්තර්ජාතික බෞද්ධ සමුළුව මහඟු පිටිවහලක් කරගන්නට පුළුවන.

ථෙරවාදී බුදුදහම මෙන්ම ලොව පුරා මහායානය, වජ්‍රයානය ද ක්‍රියාත්මකය. විශේෂයෙන් දලයිලාමාතුමාගේ ඉගැන්වීම් ලොව බොහෝ රටවල ජනපි‍්‍රය වෙමින් තිබේ. මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයට මේ සියලු නියෝජිතයන්ට ද ආරාධනා කරන බව දැනගන්නට ලැබී තිබේ. එහිදී වැදගත්ම දේ උත්සවයෙන් පසු ආපසු සිය රට බලා යන විදේශිකයන්ට ථෙරවාදී බුදුදහම පිළිබඳ පණිවුඩය රැගෙන යන්නට අවස්ථාව උදාකරදීමය.

වාර්ගික යුද්ධය අදවන විට ලෝකයට තර්ජනයක් වී තිබේ. එකම ජාතින් අතරද ප්‍රශ්නය. අප රට පිළිබඳවද ඇතැම් වැරැදි මත ලෝකයට ගෙන ගොස් ඇත. එහෙත් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් සහයෝගයෙන් ජීවත් වන ගම් නගර තිබේ. සාමාන්‍ය ජනතාවට ඇවැසි සාමකාමී ජීවිතය මිස මහපොළොව බෙදා ගැනීම නොවේ. ප්‍රශ්න ඇති කරන්නේ ඉතා සුළු පිරිසක් පමණි. ඒ ද දේශපාලනික අවශ්‍යතාවක් වෙනුවෙන්ය. එහෙත් සාමාන්‍ය ජන ජීවිතයට එබී බලන කවරෙකුට වුවද එම උත්සාහයේ ව්‍යර්ථ බව පැහැදිලිය. ජාත්‍යන්තර වෙසක් උත්සවයට පැමිණෙන විදේශ අමුත්තන්ට මුළු ලෝකයට සංහිඳියාවේ පණිවුඩය ගෙන යාමට මේ හොඳම අවස්ථාවක් කරගත හැකිය.

වසර දෙදහස් තුන්සියයකට ඈත ඉතිහාසයකින් සුපෝෂිත වූ අපේ රටේ ඓතිහාසික බෞද්ධ උරුමයන් ලෝකයට පෙන්වීමටද මේ සුවිශේෂී අවස්ථාවකි.

නෂ්ඨාවශේෂ, වෙහෙර විහාර ආදි වූ අපගේ බෞද්ධ උරුමයන්, බෞද්ධ සංස්කෘතිය ,බෞද්ධ ක්‍රමය ලෝකයට දැකගැනීමට සැලැස්වීමට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය.

මේ අතර අපට උරුම ජන නැටුම්, ජන ගැයුම් ආදි සංස්කෘතිකාංගයන් ද වේ. ජාත්‍යන්තරයට ඒවා ප්‍රදර්ශනය කිරීමෙන් අපේකම පෙන්වීමට පුළුවන.

අභ්‍යන්තර වශයෙන් මෙරට ජනතාව තුළද ආගමික පුනර්ජීවනයක් ඇති කරන්නට අන්තර් ජාතික බෞද්ධ සමුළුව සුවිශේෂී වේ. දෙදහස් හයසියය සම්බුද්ධත්ව ජයන්තිය යෙදුණු කාලවකවානුවේ තේමා පාඨය වූයේ 'පිළිවෙතින් පෙළ ගැසෙමු' යන්නය. එයට සමගාමීව සෑම විහාරස්ථානයකම, සෑම ගමකම, සෑම රාජ්‍ය ආයතනයකම පාහේ එම තේමා පාඨය ප්‍රදර්ශනය වුණි. එය ජනතාව අතර යම් ආකාරයක උත්තේජනයක් ඇති කරන්නට සමත් වුණි. බෞද්ධ සමුළුව යෙදෙන වෙසක්, සමයේ ඊට අනුකූලව එවැනි තේමා පාඨයක් මුල් කරගෙන ප්‍රචාරයක් ලබාදීමෙන් සාමාන්‍ය ජනතාව අතර බෞද්ධ දර්ශනය පිළිබඳ හැඟීම තවදුරටත් වර්ධනය කිරීම කළ හැකිය. උත්සවයක් පමණක් පවත්වා එය එතැනින් අවසන් කිරීමේ ප්‍රයෝජනයක් නැත. එහි වැඩදායි ප්‍රතිඵල දීර්ඝ කාලීනව බොදු ජන සමාජය තුළ ස්ථාපිත කළ යුතුය.

එමෙන්ම ජනතාව ආගමික කටයුතුවලට යොමු කරන ක්‍රියාමාර්ග වර්ධනය කිරීම පිළිබඳව ද අවධානය යොමු විය යුතු වේ. වෙහෙර විහාරස්ථානයන් මුල් කර ගනිමින් දාන, සීල, භාවනා, වැඩසටහන් පැවැත්වීම සිදු කෙරුණ ද එය සීමිත පිරිසකට පමණක් සීමා වී ඇති සැටි පෙනේ. දිගින් දිගටම වත් පිළිවෙත් පවත්වාගෙන ආ අයම ඊට සහභාගි වන අතර තවත් පිරිසක් මග හැර සිටී. විශේෂයෙන් සියලු බෞද්ධයන්ගේ අවධානය ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වෙත යොමු කරවීම කාලීන අවශ්‍යතාවයකි. ඒ සඳහා රාජ්‍ය මට්ටමින්, විහාරස්ථාන මට්ටමින් ශක්තිමත් වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතුව තිබේ. දහම් පාසල් අධ්‍යාපනය ද වර්තමානයේ ඉගැන්වීම් කටයුතුවලට පමණක් මුල් තැන දෙන ආකාරයත් දක්නට ලැබේ. එහෙත් ප්‍රායෝගික නොවූ කල දහම ඉගෙනීමෙන් ප්‍රයෝජනයක් නැත.

ගුරුවරුන්ට, වැඩිහිටියන්ට සැලකීමේ ගුණය බෞද්ධයාට ආගන්තුක නොවේ. එහෙත් දැන් එවැනි අවස්ථා මඟ හැරෙන ආකාරයද විරල නොවේ. අසන්නට නොලැබුණ අවාසනාවන්ත සිදුවීම් මවුපියන් ගැන අසන්නට ලැබේ. ගුරුවරුන්ට ඇතැම් සිසු දරුවන් වෙතින්ම නින්දා අපහාස කෙරේ. මේ පුරුදු බෞද්ධකමට පටහැනිය. විශේෂයෙන් අම්මා තාත්තා පෝෂණය කිරීම බරක් ලෙස අතීත සමාජය සැලකුවේ නැත. වත්මනෙහිද බොහෝ දෙනෙක් එසේ නොසිතති. බෞද්ධකමට පටහැනි චින්තනයන් වහාම වෙනස් නොකළේ නම් සමාජය උඩු යටිකුරු වීම වැළැක්විය නොහැකිය. බොදු සමුළුව ශක්තියක් කර ගනිමින් සමාජ සාර ධර්ම තවදුරටත් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළකට ආරම්භය දීම වැදගත් ය. ඒ සඳහා කෙටි කාලීන නොව දීර්ඝකාලීන වැඩ පිළිවෙලකට ආරම්භය දීම හා වහ වහා ක්‍රියාත්මක කිරීම පිළිබඳ මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතුය.

අපේ රටේ ඉතා දුෂ්කර වෙහෙර විහාරස්ථාන බොහෝ තිබේ. ඉතාම දුබල තත්ත්වයේ ඒවාද වේ. භික්ෂූන් වහන්සේට දාන වේල පවා ලැබෙන්නේ ඉතා අපහසුවෙනි. මෙවැනි වෙහෙර විහාර ගැන අවධානය යොමු කිරීමද අත්‍යවශ්‍යය.

ගිහි පැවිදි සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වීම අවශ්‍යව තිබේ. අතීතයේ පුද්ගල ජීවිතයේ සැම සියලු සුවිශේෂී කාර්යයකදීම මුල් තැන හිමි වූයේ ගමේ විහාරස්ථානයටය. පන්සලේ හාමුදුරුවෝ අර්ථයෙන්, ධර්මයෙන් කළ අනුශාසනා ජීවිත යහමඟට ගෙන යන්නට සමත් වුණි. ගමත් පන්සලත් දුරස් වූයේ නම් ගම රැකෙන්නේ නැත. විහාරස්ථානය රැකෙන්නේ නැත. ගමක් හැදෙන්නට, රටක් රැකෙන්නට හොඳ මිනිසුන් ඇවැසිය. එදා ගුණ දහම් ඇති මිනිසුන් බිහිවූයේ පන්සල ඇසුරිනි. මේනිසා ගමත් පන්සලත් අතර බැඳීම තවදුරටත් ශක්තිමත් කරන්නට මේ සුවිශේෂී මොහොතේ සුවිශේෂී අවධානයක් යොමු කිරීම වැදගත් වේ.