Print this Article


ත්‍රිවිධ බුද්ධ ශාසනය

ත්‍රිවිධ බුද්ධ ශාසනය

සම්බුද්ධ ශාසනය ත්‍රිවිධ වේ. එනම් පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේධ ශාසනය යනුවෙනි. ‘ශාසනය’ යන වචනයේ විවිධ අර්ථ ඇත. දේශනාව, අනුශාසනාව, සංදේශය, පණිවුඩය, ආඥාව, ලබ්ධිය, ආගම යන ආදී අර්ථවලින් මෙහි දී ගැනෙන්නේ ‘දේශනාව‘ යන අදහසයි. ඒ අනුව සම්බුද්ධශාසනය හෙවත් බුද්ධශාසනය වශයෙන් හැඳින්වෙන්නේ, ‘ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අවුරුදු හතළිස්පහක් තුළ දී දේශනා කරන ලද සියලුම අනුශාසනාවන් අන්තර්ගත ධර්මස්ඛන්ධයයි. එය ‘පරියත්ති ශාසනය’ වශයෙන් ද හැඳින්වේ ‘පරියත්ති’ යන වචනයෙන්, උගතයුතු ධර්මය, ඉගෙනගන්නා ලද දෙය, දක්ෂතාවය, ත්‍රිපිටක ධර්මය ආදී විවිධ අර්ථ ඇත.

පරියත්ති ශාසනය හෙවත් ත්‍රිපිටකය නම්, සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යන තුන් පිටකයයි. ‘පිටක’ යන වචනයේ කූඩය, පැස, භාජනය, කොටස, ග්‍රන්ථය, පර්යාප්තිපාලිය යන අදහස් ප්‍රකාශ කෙරේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු ම අනුශාසනා එකතුකර, සූත්‍ර, විනය, අභිධර්මය වශයෙන් කොටස් තුනකින් දැක්වේ. එම කොටස් තුන, ත්‍රිපිටකයයි.

මූලික බුද්ධ දේශනා අන්තර්ගත ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථයෝ, පෙළ පොත් වශයෙන්ද හැඳින්වෙති. ‘පෙළ’ යන වචනය තත්ත්ව වන්නේ ‘පාඨ’ යන වචනයෙනි. ‘පාඨ’ යන්නෙහි ‘වාක්‍යය’, ‘අක්ෂරය’, ‘කියවීම්, ‘පාඩම්කිරීම’ වැනි අර්ථ ඇත. මෙහි දී පෙළ හෙවත් පෙළ පොත් වශයෙන් හඳුන්වනු ලබන්නේ, බුද්ධශ්‍රාවකයන් විසින් මාගධී භාෂාවෙන් කඩපාඩමින් ආරක්ෂා කරන ලද බුද්ධ දේශනා ඇතුළත් ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථයෝය. බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගත් ධර්මය, මහාකාශ්‍යප ආදී පන්සියයක් මහරහතන් වහන්සේ විසින් බුද්ධපරිනිර්වාණයෙන් තුන්මාසයකට පසුව රජගහනුවර සත්තපණ්ණි ගල්ගුහාවේ දී සංගායනාකර, කටපාඩමින් ආරක්ෂා කිරීම සඳහා මහතෙරවරුන්ට පවරන ලදී. ඒ ඒ තෙරවරුන්ගේ ගුරු ශිෂ්‍ය පරම්පරාවලින් ත්‍රිපිටක ධර්මය, භාණක පරම්පරාවලින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී.

එනිසා මූලික, පාලි ත්‍රිපිටකයට අයත් පොත් හඳුන්වනු ලබන්නේ පෙළ පොත් හෙවත් පාලි (මාගධී) භාෂාවෙන් කටපාඩමින් රැකගෙන ආ පොත් වශයෙන්ය. පෙළ පොත් ග්‍රන්ථාරූඨ කරන ලද්දේ බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ හතකට පමණ පසුවය.

බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ලද්දේ ‘මාගධී’ භාෂාවෙන්ය. එම භාෂාව, ‘අර්ධ මාගධී, ‘මාගධී’, සුද්ධ මාගධී’, ‘මූල භාෂාව‘, ‘පාලි භාෂාව‘ යනුවෙන් විවිධ නම්වලින් හැඳින්වේ. දඹදිව මගධ දේශයේ (ව්‍ය. වර්ෂයට පෙර 600 දී පමණ) ජීවත් වූ මිනිසුන් විසින් කතා කරන ලද්දේ ‘මාගධී’ භාෂාවෙනි. බුදුරජාණන් වහන්සේ මගධ දේශයේ වැඩ සිටියේ ව්‍යවහාර වර්ෂ ආරම්භවන්නට, අවුරුදු 600ටත් පෙරය. එකල දඹදිව විශාල ප්‍රදේශයක බොහෝ දෙනෙක් කතා කළ ජනපි‍්‍රය භාෂාව වූයේ මගධී භාෂාවයි. මාගධී භාෂාව වාණිජ කටයුතුවලදී ද භාවිත විය.

මාගධී භාෂාව අයත් වන්නේ, ඉන්දු ආර්ය භාෂා පවුලේ, මධ්‍ය ඉන්දු ආර්ය භාෂා ගණයටය. මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවලට, මුල් වන්නේ වෛදික සංස්කෘත භාෂාවයි. එය දෛවී භාෂාව වශයෙන් ද හැඳින්වේ. එම වෛදික සංස්කෘත භාෂාවේ භාවිත වූ අකුරු හඳුන්වන්නේ ‘දේවනාගරී අක්ෂර’ යනුවෙනි. දේවනාගරී අක්ෂරවලින් ලියා ඇති සෘග්, යජුර්, සාම යන වේද ග්‍රන්ථවලින් පැහැදිලි වන්නේ වෛදික සංස්කෘත භාෂාව ඉතා දියුණු තත්ත්වයක, ව්‍යවහාර වර්ෂයට අවුරුදු දහසකට පමණ පෙර පැවැති බවයි. ඒ වෛදික ග්‍රන්ථ ලියා ඇති, දේවනාගරී අක්ෂරවලින් පරිණාමය වූ අක්ෂර මාලා, හින්දි, වංග (බංලිදේශ භාෂාව), මරාටි, ගුජරාටි, සිංහල ආදී නූතන ඉන්දු ආර්ය භාෂාවල භාවිත වේ.

ඉන්දු ආර්යභාෂා පවුලේ ඉතිහාසය විග්‍රහ කරන ඓතිහාසික වාග්වේදීහු, ප්‍රාග් ඉන්දු යුරෝපීය භාෂා (ව්‍යවහාර වර්ෂයට පෙර අවුරුදු 15000ක් පමණ) දක්වා වාග්විද්‍යාත්මක සබඳතා දක්වති. එහෙත් ප්‍රබල වාග්විද්‍යාත්මක සම්බන්ධකම් පැහැදිලි වන්නේ පුරාණ ඉන්දු ආර්ය භාෂාවල සිටයි.

1. පුරාණ ඉන්දු ආර්ය භාෂා යුගය (ව්‍ය. ව.පූ. 1500 – ව්‍ය. ව.පු. 500)

2. මධ්‍ය ඉන්දු ආර්ය භාෂා යුගය (ව්‍ය.ව.පූ. 500 – ව්‍ය. ව. 800)

3. නූතන ඉන්දු ආර්ය යුගය (ව්‍ය. ව. 800 වර්තමානයට)

මෙසේ යුග වශයෙන් බෙදමින් ඉන්දු ආර්ය භාෂාවල පරිණාමය හදාරණ ඓතිහාසික වාග්වේධීහු, ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් භාෂාවල දක්නට ඇති විවිධ සම්බන්ධතා පැහැදිලි කරති. එම පර්යේෂණ අනුව හින්දි, මරාටි, ගුජරාටි, වංග, ඔරියා, ඇසෑම්, නේවාරි, සිංහල ආදී නූතන ඉන්දු ආර්ය භාෂාවල ශබ්ද, පද, වචන, වාක්‍ය, වචනාර්ථ, අක්ෂර ආදියේ ඓතිහාසික සම්බන්ධතා ඇති බව ඔප්පු වී ඇත. ඒ පර්යේෂණ අනුව මගධ දේශයේ ව්‍ය. වර්ෂයට පෙර 6වන ශත වර්ෂයේ භාවිත වූ මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවක් වූ, මාගධී, භාෂාව, සමග වර්තමාන ව්‍යවහාර භාෂාවන් වන හින්දි, වංග, වරාටි, නේවාරි, සිංහල ආදී නූතන ඉන්දු ආර්ය භාෂාවල ඇති වාග්විද්‍යාත්මක සම්බන්ධය, වඩාත් ප්‍රබලය. ගාම, නගර, පුර, පානි, කාය, ධම්ම වැනි දහස් ගණන් වචන, සමාන ශබ්ද සහ අර්ථවලින් යුක්ත ව ඉහත සඳහන් නූතන ඉන්දු ආර්ය භාෂාවල භාවිත වේ. එසේම ඉන්දීය ජනවර්ගවල භාවිත වන අභිචාර විධි සහ ආගමික විශ්වාසවල දැඩි සබඳතා දැකිය හැකිය. එය සමාජ විද්‍යාත්මක ව සහ පුරාවිද්‍යාත්මකවත් ස්ඵූට වූ කරුණකි. එනිසා මාගධී (පාලි) භාෂාව සහ නූතන ඉන්දු ආර්ය (හින්දි, බංගලි, නේපාල, සිංහල) භාෂා සමඟ ඇත්තේ ඓතිහාසික සබඳතාවක්මය.

දඹදිව විශාල ප්‍රදේශයක භාවිත වූ මාගධී භාෂාවෙන්, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළහ. එම දේශනා ඇසූ බොහෝ දෙනා, ධර්මය අවබෝධ කර ගෙන බුද්ධ ශ්‍රාවකයෝ බවට පත්වූහ. උන්වහන්සේලා බුද්ධ දේශනා කටපාඩමින් ආරක්ෂා කළහ. එනිසා මූලික බුදුදහම ඇතුළත් වූ ධර්ම ග්‍රන්ථ ‘පෙළපොත්’ (කටපාඩමින් ආරක්ෂා කරන ලද පොත්) වශයෙන්ද හැඳින්වේ. ත්‍රිපිටකයට අයත් පෙළ පොත් 17කි. සූත්‍ර පිටකයේ 5 ක්, විනය පිටකයේ 5ක් සහ අභිධර්ම පිටකයේ 7ක්ය.

සූත්‍ර පිටකයට අයත් පෙළ පොත් හඳුන්වන්නේ ‘නිකාය ග්‍රන්ථ’ වශයෙනි. ‘නිකාය’ යන වචනයේ අදහස නම් කොටස, පන්තිය, සමූහය වැනි අර්ථයි. නිකාය ග්‍රන්ථ පහකි. ඒවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය වශයෙන් හැඳින්වේ.

විනය පිටකයට අයත් පෙළ පොත් හඳුන්වන්නේ ‘පාලි ග්‍රන්ථ’ වශයෙනි. පාරාජිකා පාලි, පාචිත්තිය පාලි, පරිවාර පාලි, චුල්ලවග්ග පාලි, මහාවග්ග පාලි වශයෙන් ග්‍රන්ථ පහක් ඇත. අභිධර්ම පිටකයට අයත් ‘පෙළ ග්‍රන්ථ’ හැඳින්වෙන්නේ ‘ප්‍රකරණ ග්‍රන්ථ’ වශයෙනි. ඒවා ධම්මසංගණීප්පකරණය, විභංගප්පකරණය, කථාවත්ථුප්පකරණය, පුද්ගල පඤ්ඤත්තිප්පකරණය, ධාතුකථාප්පකරණය, යමකප්පකරණය, පට්ඨාණප්පකරණය යනුවෙන් ග්‍රන්ථ හතකි. මේ පෙළපොත්, මූලික බුදුදහම ඇතුළත් ග්‍රන්ථයෝය. එම පෙළපොත්වල ඇතුළත් දුරවබෝධ ධර්ම කරුණු පැහැදිලි කිරීමට රචනා කරන ලද ග්‍රන්ථ, අට්ඨකතා හෙවත් අටුවා නමින් හැඳින්වේ. ඒවා දීඝනිකායට්ඨකතාව, මජ්ක්‍ධිමනිකායට්ඨකතාව, සංයුක්තනිකායට්ඨකතාව ආදී වශයෙන් ග්‍රන්ථ රාශියක් ඇත. අඨඨකතාවලත් අපැහැදිලි කරුණු විස්තර කරමින් ලියන ලද ටීකා නමින් හඳුන්වන ග්‍රන්ථ සමූහයක් ද ඇත. මෙසේ පෙළ, අට්ඨකතා, ටීකා ආදී සියලුම ධර්ම ග්‍රන්ථ, රාශියක් පරියත්ති ශාසනයට අයත් වේ. මෙහි දී වඩාත් වැදගත් කොට සලකන ලද්දේ පෙළපොත්ය. එනිසා පුරාණාචාර්යවරු පෙළ, ප්‍රමුඛ ස්ථානයටත් අට්ඨකතා ද්විතීය ස්ථානයටත්, ටීකාව තෘතීය ස්ථානයටත්, ආචාර්යමත චතුර්ථ ස්ථානයටත්, ස්වමතය අවසානයටත් ගත්හ. එහෙත් වර්තමානයේ සමහර විධග්ධයෝ, ප්‍රමුඛස්ථානයට, ස්වමතයම ගෙන, ‘ඉධමේව සච්චං මොඝමඤ්ඤං’ (මගේ මතය ම නිවැරැදිය. අනෙක් සියලු ම අදහස් වැරැදියැයි) කියති. එහෙත් ඔවුන්ගේ, විචාරබුද්ධියෙන් තොර වූ එම අදහස්, බුද්ධිමත් විචාරකයන්ගේ හාස්‍යයට ලක්වෙන බව ඔවුහු නොදනිති. එනිසා පෙළ, අට්ඨකතා පිළිබඳ ව ස්වමත පමණක්ම, ඉදිරිපත් කරන විවේචකයන් විසින් තව තවත් දැඩි විවේක බුද්ධියකින් සහ තුලනාත්මක අධ්‍යයනයකින් පෙළ, අටුවා හැදෑරීම, අර්ථ සහිත වනු ඇතැයි සිතීම, සහේතුකය, ථේරවාදීන් අතර පැවැති වැදගත් ලක්ෂණයක් නම්, මූලික පෙළ පොත්වලට ප්‍රධානත්වය දෙමින් අට්ඨකතාදියත් හදාරමින් ‘කිංසච්ච ගවේසී’ වීමයි. එනිසා පරියත්ති ශාසනය විවේක බුද්ධියෙන්ම හැදෑරිය යුතු ය.

පටිපත්ති ශාසනය

පටිපත්ති ශාසනය නම් විනයානුකූල ව, සම්බුද්ධ දේශනාව හෙවත් පරියත්ති ශාසනයට අයත් ධර්මවිනය, ක්‍රියාවට නැගීමයි. එයින් විනය පිටකයට අයත් ධර්ම ග්‍රන්ථවලින් චාරිත්‍ර සහ වාරිත්‍ර සිල් ආරක්ෂා කරමින් කය, වචනය හා පඤ්ච ඉන්ද්‍රියයන් දමනය කරගැනීමට උපදෙස් ලබාදෙයි. එය පන්සිල්, අටසිල්, දසසිල් අධිසිල් (උපසම්පදා සීලය) යන ආදී වශයෙන් විස්තර කෙරේ. පරියත්ති ශාසනය ආරක්ෂා කිරීමෙන් සීල විසුද්ධිය ලබාගත හැකිය.

පටිවේද සාසනය

පටිවේධ ශාසනය නම් ධර්මාවබෝධය කිරීමයි. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ගඵල පිළිවෙළින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීම, පටිවේධ සාසනයයි.