Print this Article


වැල්මිල්ලේ සෝමානන්ද නාහිමි

වැල්මිල්ලේ සෝමානන්ද නාහිමි

1925 ජූනි මස 13 වැනි දින බස්නාහිර පළාතේ සල්පිටි කෝරළයේ වීදියගොඩ වැල්මිල්ල ග්‍රාමයේ දී නා හිමියන් උපත ලදහ. ගිහි කල උන්වහන්සේ චාර්ලිස් නම් විය. පූර්ව භවයන්හි සපුරා ඇති මහත් වූ පින් මහිමයෙන් චාර්ලිස් නම් වූ කුමරුවා දෙමවුපියන් විසින් මාම්පේ ශ්‍රී විජයවර්ධනාරාමයට බාර දෙන ලදී. එවකට මාම්පේ ශ්‍රී විජයවර්ධනාරාමාධිපතිව වැඩ විසූ සද්ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය වැල්මිල්ලේ රණජෝති හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා කොළඹ තිඹිරිගස්යායේ ආශෝකාරාමාධිපතිව වැඩ විසූ සද්ධර්ම කීර්ති ශ්‍රී ශෝභිත කරඳන ජිනරතන නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1958 දී ඔක්තෝබර් මස 14 වැනි දින පැවිදි බවට පත්විය. 1945 ජූනි මස 17 වැනි දින එවකට මාම්පේ ශ්‍රී විජයවර්ධනාරාමාධිපතිව වැඩ විසූ සල්පිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක පිටිපන මේධානන්ද නා හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යරත්නය ලෙස මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ. 1943 මැයි මාසයේ දී පිටිපන මේධානන්ද නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මාළිගා කන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වෙමින් ඉගෙනුම ලබා විද්‍යෝදයේ ගුරු කුලයේ රාජකීය පණ්ඩිත ත්‍රිපිටක වාගිශ්වර වැලිවිට ශ්‍රී සෝරත නාහිමි, පොළොන්නරුවේ විමලධම්ම නාහිමි ආදී කොට ගත් මහ තෙරවරුන්ගේ කලණ මිතු ඇසුරට පත්ව ප්‍රාචීන පණ්ඩිත විභාගයද සමත්ව රත්මලානේ පිරිවෙන් අභ්‍යාස විද්‍යාලයේ ගුරු පුහුණුව ද ලබා ගත්හ.

උන්වහන්සේ තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් හා කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් වසර හයක භාවනාව පිළිබඳව ප්‍රායෝගික පුහුණුව ලැබූහ. වැල්මිල්ලේ සෝමානන්ද නාහිමියන් සිල්ගුණ සපිරි, චාම් බව අගය කළ සංතුට්ඨිතා ගුණැති මහා සංඝ පීතෘවරයෙකු ලෙසින් ධර්මකාමී ගිහි පැවිදි කාගේත් නොමද ගෞරවාදරයට සහ පූජනීයත්වයට පත් වූහ.

මාම්පේ ශ්‍රී ශෝභිත විශ්වවිද්‍යාල පිරිවෙන් ආචාර්යවරයකු වශයෙන් උන්වහන්සේ සිය අධ්‍යාපනික මෙහෙවර අරඹා 1962 – 1968 කාල පරාසයේ දී එහි පරිවේණාධිපති ධුරයන්ද හෙබ වූහ. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ ධර්ම ඥානය දියුණු කිරීම සඳහා ඇරඹූ මාම්පේ ශ්‍රී ශෝභිත දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය හෙබ වූ උන්වහන්සේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීම සඳහා මහඟු මෙහෙවරක් ඉටු කළහ. දහම් පාසල් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් ලෙසත් සර්වෝදය ව්‍යාපාරයේ මුල් යුගයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසත් උන්වහන්සේ වෙතින් සිදු වූ ජාතික සාමාජික මෙහෙවරයන් රැසකි.

වසරේ දී මාම්පේ ශ්‍රී විජයවර්ධනාරාමයේ සහ 1993 දී කොටගෙදර ශ්‍රී ගංගාරාමය යන උභය වියරයන්හි අධිපතිත්වය උසුලමින්ද, පැවිදි ජීවිතයට පූර්ණත්වය ළඟා කර ගත හැකි භාවනාවට මුල් තැනක් දෙමින් තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කම්මට්ඨානාචාර්ය වරයෙකු ලෙසින් ද සුවිශේෂි ශාසනික මෙහෙවරකට උන්වහන්සේ දාායක වූහ.

සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ වූ සුපහන් දැක්ම තුළින් උන්වහන්සේ තුළ වූයේ විචිත්‍ර කුසලතාවකි. බැති මල් කවිපොත, ජීවිතය කාව්‍ය සංග්‍රහය, කඨින පූජාව සරසවි පුබුදුව භගවත් ගීත වෙසක් සංග්‍රහය උන්වහන්සේ සතු වූ අද්විතිය කාව්‍ය කරණයේ මහඟු දායාදයන් ය.

වැල්මිල්ලේ සෝමානන්ද නා හිමියන්ගේ සිදු වූ ජාතික, ශාසනික හා සාමාජයික සේවාවන් වෙනුවෙන් උන්වහන්සේ ධර්ම කීර්ති ශ්‍රී සෝමානන්ද ගෞරව නාමය සහිතව කොළඹ සහිත සල්පිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක තනතුරින් පිදුම් ලැබූහ.

2017 දී දුරුතු මස 07 වැනි දින අපවත් වී වදාළ අති පූජ්‍ය වැල්මිල්ලේ ශ්‍රී සෝමානන්ද නා හිමියන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වේවා!