Print this Article


ඉඳුරුවේ උත්තරානන්ද මහ නා හිමි

ඉඳුරුවේ උත්තරානන්ද මහ නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දහවැනි මහානායක පදවිය දැරූ රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද ඉඳුරුවේ උත්තරානන්ද මහ නාහිමිපාණන් වහන්සේගේ 31 වැනි ගුණ සමරු දිනය නිමිත්තෙනි.

1909 නොවැම්බර් මස 25 වැනිදා ඉඳුරුවේ පෑතිස් ගුණසේකර අප්පුහාමි මහතාගේ සහ රංචාගොඩගේ දෝන පොඩි නෝනා මාතාවගේ දෙටු පුත් ලෙස මෙලොව එළිය දුටු පින්වත් කුමරු, ඩී. ඇල්. ගුණසේකර නම් විය. මේ පින්වත් කුමරු ඉඳුරුව ගෝනගල රජයේ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. 1924 දී මවුපියන් විසින් මේ පින්වත් කුමරු කොල්ලුපිටියේ ධර්ම කීර්තියාරාම ඉඳුරුවේ ශ්‍රී විජය ධර්ම පිරිවෙන සහ වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය පිරිවෙන යන විහාරත්‍රයාධිපතිව වැඩ විසූ ඉඳුරුවේ විමලතිස්ස නා හිමියන් වෙත අතපැන් වත්කර සම්බුද්ධ ශාසනයට පූජා කරනු ලැබුවේ අනාගතයේ රටේ කීර්තිමත් මහ තෙර නමක් වන බව දැනුණු නිසා විය යුතු ය.

1925 ජනවාරි හත්වැනිදා ඉඳුරුවේ විමලතිස්ස හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ගුණසේකර දරුවා ඉඳුරුවේ උත්තරානන්ද නමින් ඉඳුරුවේ ශ්‍රී විජය ධර්ම පිරිවෙනේදි සසුන් ගතවූයේ ශාසන බලාපොරොත්තු රැසක් ඇතිවිය. කෙටි කාලයක් මාතලේ ගුණසාර හිමියන් යටතේ අතපොත් තැබූ උත්තරානන්ද සාමණේරයෝ වැල්වත්ත ශ්‍රී ධර්මෝදය පරිවේනාධිපති රස්නකවැවේ ශ්‍රී සද්ධම්මවංශ අනුනාහිමියන් යටතේ අධ්‍යාපනය ලැබූහ. 1930 දී ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගය සමත් වූ උත්තරානන්ද සාමණේර හිමියෝ ඒ වසරේදීම කළුතර කාල නදී උදකුක්ඛේප සීමාවේදී මහෝපාධ්‍යාය මලිගස්පේ ශ්‍රී ඤාණානන්ද හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා ඉඳුරුවේ විමලතිස්ස රස්නකවැවේ සද්ධම්මවංශ යන දෙනමගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලදහ. ගුණදහමින් මෙන්ම ධර්ම ඥානයෙන්ද අගතැන් පත් උත්තරානන්ද හිමියෝ 1937 දී රාජකීය පණ්ඩිත උපාධිය සමත් වූ අතර වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙනේ පරිවේනාධිපති පදවියටද පත්වූහ. 1941 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උත්තරානන්ද හිමියෝ 1944 දී විද්‍යා විශාරද උපාධිය ලබා ගැනීමට සමත්වූහ. අනතුරුව මහනුවර මුල්ගම්පල ආනන්දෝදය පිරිවෙනේ හා ඉඳුරුවේ විජය ධම්ම පිරිවෙනේ පරිවේනාධිපති පදවියද දැරූ උත්තරානන්ද හිමියෝ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපදේශක, පරම විඥානාර්ථ සංගමයේ අනුශාසක, ලංකා මහා බෝධි සංගමයේ උපදේශක, ගුවන් විදුලි බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මෙන්ම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ උපදේශක ආදී තනතුරු දැරූහ. එමෙන්ම බෞද්ධ විශ්ව කෝෂයේ සම්මාන කතු පදවිය දරන්නටද උත්තරානන්ද නා හිමියෝ සමත්වූහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ සම ලේකම් පදවියෙන් ඇරැඹි ගමන අවසන් වූයේ 1976 දී මහානායක පදවියට පත්වීමෙනි. ග්‍රන්ථ කතුවරයකු වශයෙන්ද, පුවත්පත් ලේඛකයකු වශයෙන්ද මහ නාහිමියෝ ප්‍රසිද්ධියට පත්වූහ. උන්වහන්සේගේ ශිෂ්‍ය රත්න රැසක් ද අද සම්බුදු සසුන නගාසිටුවන්නට ක්‍රියා කිරීම අපවත් වී වදාළ මහ නාහිමියන්ට කරන ගෞරවයකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමියන් ලෙස උත්තරානන්ද හිමිපාණන්ගෙන් සිදු වූ සේවය අති මහත්ය. 1986 මාර්තු 15 වැනි දා මේ සංඝ පීතෘවරයාණන් දැයට අහිමිව ගියේ මහා සංඝයා වහන්සේ අතර මහත් හිඩැසක් ඇති කරමිනි. මහ නාහිමියන්ගේ අපවත්වීමෙන් වසර 31 පිරීම නිමිති කරගෙන (15) කොල්ලුපිටිය ශ්‍රී ධර්ම කීර්තියාරාමයේ දී වත්මන් විහාරාධිපති ආචාර්ය වෑතර මහින්ද සහ විහාරාධිකාරී අපරැක්කේ සුගතවංශ යන හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් ධර්මදේශනයක් පවත්වා (16) මහ සඟරුවන විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.