Print this Article


පූජාච පූජනීයානං

පැවිදි වී අඩ සිය වසරක් සපුරන වේඬරුවේ උපාලි අනු නා හිමි

වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පැවිදි ජීවිතයේ 50 වෙනි වසර පිරීම නිමිත්තෙනි.

සිරිසර කන්ද උඩරට සෙංකඩගල පුරවර විරාජමාන වන්නා වූ ශ්‍රී දළදා මාළිගාව නමැති අසහාය මහා පුණ්‍ය භූමිය කේන්ද්‍ර කර ගත් ආගමික හා ඓතිහාසික වශයෙන් ඉතා ශ්‍රේෂ්ඨ සිද්ධස්ථාන අතර ප්‍රමුඛස්ථානයක වැජඹෙන අස්ගිරි මහා විහාරයට අයත් ගෙඩිගේ රජමහා විහාරය නෙතට හමුවන සෑම අවස්ථාවකදීම සිහියට නැඟෙන ප්‍රධාන කාරණා කීපයක් සනිටුහන් වන්නේ ය.

01. දිඹුලාගල මහා සංඝ පරම්පරාවෙන් පැවතෙන ධර්මකීර්ති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය ගෙඩිගේ විහාරය පූජා කිරීම.

02. තෙවන වික්‍රමබාහු රජුගේ මෑණියන් වන චන්ද්‍රවතී දේවිය සිහිවීමට බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීම.

03. පළවෙනි විමලධර්මසූරිය රජතුමා දෙල්ගමු විහාරයේ සිට ශ්‍රී දළදා වහන්සේ මහනුවරට වැඩමවා ගෙඩිගේ රජමහා විහාරයේ ප්‍රථමයෙන් වඩා හිඳුවීම.

04. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මෙම ගෙඩිගේ විහාරයේ පැවැත්ම සඳහා ඉඩ කඩම් පූජා කිරීම.

05. අස්ගිරි මහා විහාරයේ ග්‍රන්ථධූර අධිපතිව සිටි ගෙඩිගේ විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මසිද්ධි හිමියන් විසින් උපසම්පදාව ඉල්ලා සියම් දේශයේ රජුට සංදේශය සකස් කිරීම.

06. සියම් උපාලි මහා ස්ථවිරයන් ප්‍රධාන මහා සංඝරත්නය ලක්දිව උපසම්පදාව පිහිටුවන අවස්ථාවේ මෙම ගෙඩිගේ විහාරේ ද උපසම්පදා විනය කර්ම කිරීම.

07. වර්තමාන දියුණුව හා පාලනය

ථෙරවාදී බුද්ධ ශාසනය පිළිබඳව විවරණය කිරීමේ දී උපාලි නාමය ආරම්භයේ පටන් ශාසන අන්තර්ධානය දක්වා ගිහි පැවිදි ජන හදවත් තුළ සනිටුහන් වන්නේ ය.

අප බුදුන් දවස කිඹුල්වත්පුර කරණවෑම් කුලයක උපන් උපාලි අනුපිය අඹ වනයේ දී පැවිදිව බුදුරදුන්ගෙන් කමටහන් ගෙන භාවනා කොට රහත්ව විනයධර භික්ෂූන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත්හ. ප්‍රථම සංගායනාවේදී උපාලි මහ රහතන් වහන්සේ විනය පිටකය ප්‍රකාශ කළ සේක. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ ලක්දිව මහා විහාර භික්ෂු පරම්පරාව මෙම උපාලි හිමියන්ගෙන් අවිච්ඡින්නව පැවතෙන අතර, බු.ව. 1855 දී අස්ගිරි මහා විහාරය, ආරම්භයේ දී වැඩමවා වදාළ පලාබත්ගල වනරතන හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය උපාලි මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ 142 වෙනි සඟ පරපුරට අයත් වන බව අස්ගිරි තල්පතෙහි සඳහන් වේ. තවද එතැන් සිට සියම් උපසම්පදාව දක්වා සංඝ පරම්පරා 28 ක් වන අතර, වර්තමාන අස්ගිරි මහා විහාරයේ වැඩ සිටන ශ්‍රීමත් මහා නායක මාහිමියන් වහන්සේ උපාලි මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව අඛණ්ඩව පැවතෙන්නේ නම් 191 වෙනි සඟ පරපුරට අයත් වන්නේ ය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් සියම් දේශයෙන් උපසම්පදා විනය කර්මය සඳහා වැඩම වූ උපාලි හිමියන්ගෙන් ලද ශාසනික මෙහෙවර ඉතිහාසගත වී ඇත. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වූ ථෙරවාදි සඟ පරපුර සියම් උපසම්පදාව නිසා, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය, මල්වතු මහා විහාර පාර්ශ්වය, යනුවෙන් උභය මහා විහාර ඇති විය. මෙම සියම් උපාලි හිමියන් අපවත් වූයේ මෙම අස්ගිරි මහා විහාරේ ගෙඩිගේ රජමහා විහාරයේදීය.

උතුම් පුණ්‍ය භූමිය සෑම අංශයෙන්ම සම්පූර්ණ කොට සංවර්ධනය කිරීමෙහි පුරෝගාමීත්වය දරණ මහා විහාර වංශික සඟ පරපුරේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගරු අනුනායක ධූරය හොබවන වේඬරුවේ උපාලි නාහිමියන් පරිණත දැනුමෙන්, ශීලාදී ගුණ දහමින් උපේක්ෂා ගුණයෙන් වියත් විශාරද දෙසුමෙන් ආදර්ශයෙන් සම්පූර්ණ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.

පාසල් අධ්‍යාපනයෙන් හා පැවිදිව පිරිවෙන් අධ්‍යාපනයෙන් මූලික දැනීමක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් මධ්‍යම හා උසස් දැනීමක් ලබාගෙන සෙංකඩගල පුරවර උසස් ශාස්ත්‍ර පීඨයක් වන ධර්මරාජ විද්‍යාලයේ ආචාර්යවරයෙක් වශයෙන් දහස් ගණන් සිසු දරුවන්ගේ සිත් සතන් ප්‍රඥා ලෝකයෙන් ප්‍රභාමත් කළ වේඬරුවේ උපාලි අභිධාන නාහිමියන් වහන්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු සේවාවක් ඉෂ්ට සිද්ධ කළහ.

අස්ගිරි මහා සංඝ සභාවට යටත්ව පාලනය වන ඓතිහාසික බදුලු මුතියංගණ රජමහා විහාරයේ භාරකාරත්වය ලබා ගත් හිමිපාණෝ එම විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන ඌව පළාතට ආගම්ක ජාතික වශයෙන් කළ සේවය ගිහි පැවිදි ජන හදවත් තුළ සටහන් වී ඇත.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ධුරන්දර ඓතිහාසික පොළොන්නරු සොළොස්මස්ථානාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුද්ධාදී තෙරුවන් බලයෙන් ලංකාලෝක පාලක දෙවි දේවතාවන්ගේ ආරක්ෂාවෙන් පිහිටෙන් ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමට දිගාසිරි ලැබේවා !

චිරං ජයතු උපාලි නායක යතිවරෝ.....!


ලත්පඳුරේ චන්දානන්ද හිමි

මතුගම පහළ හෙවෙස්ස ශ්‍රී සේලන්තරාරාමාධිපතිව වැඩ විසූ ලත්පඳුරේ චන්දානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ භික්ෂු පරපුරේ උදාර ගුණයන් ජීවමානව ප්‍රකට කරමින් වැඩ සිටි ශික්ෂාකාමී මහා යතිවරයන් වහන්සේ නමකි.

බදුරලිය ලත්පඳුර නමැති ගම් පියසේ විසූ ජේ.ඒ. අගෝසිඤ්ඤො මහෝපාසක මහතාගේ හා පුහාඹුගොඩ ආරච්චිගේ එමලිස්හාමි මහෝපාසිකා මාතාවගේ පුත්‍රයෙක් ලෙස 1930 දෙසැම්බර් 30 වැනි දින චන්දානන්ද මාහිමි ජන්මලාභය ලැබීය. උපතින් නව අවුරුදු වයසේදී ගණේතැන්න පුරාණ විහාරයේ දී ප්‍රව්‍රජ්‍යභාවයට පත්විය. 1946 දී පහළ හෙවෙස්ස ශ්‍රී සේලන්තරාරාමයට වැඩම කළ උන්වහන්සේ තත් විහාරාධිපතිව වැඩ සිටි බුදුගම පියදස්සි හිමිපාණන්ගේ ශිෂ්‍යයෙකු ලෙස 1956 ජූනි 27 වැනි දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභා උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

ඉක්බිතිව ගණේකන්ද පුරාණ විහාරීය පිරිවෙන, ගම්පහ අස්වාන පිරිවෙන හා හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙන යන පරිවේණස්ථානයන් වෙතින් ධර්ම විනය, භාෂා ශාස්ත්‍රය මැනවින් හදාළ චන්දානන්ද හිමියන් ස්වකීය ආචාර්යපාදයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1973 සිට ශ්‍රී සේලන්තරාරාමයේ විහාරාධිපති වශයෙන් පත්ව තත් විහාරස්ථානයට නව පුනර්ජීවයක් ගෙනදීමට ක්‍රියා කළහ. අද වන විට විහාරස්ථානය සකලාංග සම්පූර්ණ භාවයට පත්ව ඇත්තේ චන්දානන්ද මාහිමියන්ගේ නොමඳ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එදාමෙදාතුර උන්වහන්සේ සිදුකළ ආගමික, සාමාජික හා අධ්‍යාපනික සේවාවද බෙහෙවින් පැසසුම් කටයුතු ය.

ස්වකීය අත්‍යුදාර සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් රත්මලාන පුරාණ රජමහා විහාරවාසී, විනයාචාර්ය හෙවෙස්සේ නන්දාරාම හිමි. මහඋඩුව, නාගලකන්ද ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති හෙවෙස්සේ සීවලී හිමි, හෙවෙස්සේ සුමංගල හිමි වැනි දැන උගත් කීර්තිමත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිසක් සසුනට දායාද කිරීම චන්දානන්ද මාහිමිගේ සේවාවන් අතර වඩාත් කැපී පෙනෙයි. 2016 නොවැම්බර් 29 වැනි දින අපවත් වී වදාළ ලත්පඳුරේ චන්දානන්ද මාහිමි තෙමස් පූර්ණ ගුණ සමරු පින්කම් මාලාව පහළ හෙවෙස්ස ශ්‍රී සේලන්තරාරාමයේ දී පැවැත්විණි.


තල්ගස්වැවේ විමලසාර නාහිමි

නොච්චියාගම, හල්මිල්ලගල ශ්‍රී දුටුගැමුණු විහාරස්ථානයේ විහාරාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ උප ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී තල්ගස්වැවේ විමලසාර හිමිපාණන්ට (87 වියැති) දීර්ඝායු හා නිරෝගි සුවය පතා පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී මේ මස 26 දා කප්රුක් පූජාවක් සමඟ ආගමික වතාවන් රැසක් පැවැත්විණි.

එදින නොච්චියාගම ශාසනාරක්ෂක මණ්ඩලයේ හිමිවරු හා හල්මිල්ලගල ශ්‍රී දුටුගැමුණු විහාරස්ථානයේ දායක සභාව ඇතුළු සැදැහැවතුන් දෙසියයක් පමණ මෙම කප්රුක් පූජා පෙරහරට එක් විය.

දේශීය නර්තනයෙන් සමන්විත වූ එම පෙරහර කප්රුක් පූජාව සමඟ සෝමවතී චෛත්‍යය වෙත පූජා කිරීමට නායක හිමිවරුන්ද එක්වූ අතර විහාරස්ථානයේ හිමිවරු සමඟ දායක සභාවේ සිල් ඇත්තෝද සහභාගි වූහ. වසරක් පාසා මෙම කප්රුක් පූජාව සිදු කරන්නෙකි.