Print this Article


දැහැමෙන් ලොව දිනමු

ගුණ ධර්ම සුරකිමු

අපේ රටේ සෑම පුද්ගලයෙකුටම ආගමක් තිබේ. ඒ හැම ආගමකින්ම අපිට හොඳ ගුණධර්ම කියා දෙයි. අපේ රටේ විවිධ ආගම් අදහන්නෝ සිටිති. බෞද්ධ, කතෝලික, හින්දු ආදී ආගම් ඒ අතර වේ. බුදු දහමේ පැහැදිලි කරන පන්සිල් පද පහ තුළින් අපගේ ජීවිතය මූලික වශයෙන් ගුණධර්මයන්ට යොමු කරයි.

ඉවසීම, කරුණාව, සොරකම් නොකිරීම, කළගුණ සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම ආදී දේ සෑම ආගමකින්ම කියා දෙයි. ඉතින් පුංචි අපි අපගේ ආගම්වලට ගරු කරමු. ඒ ආගම්වලින් කියාදෙන සෑම ගුණාංගයක්ම අපේ ජීවිතයට එකතු කර ගනිමු. එවිට හොඳ පුරවැසියන් වී රටට ආලෝකයක් ගෙන දීමට හැකිවනු ඇත.


ඇස් මහින්ද හිමි

ටිබෙට් රටේ උපත ලබා ලංකාවට ආවා
සිංහල ජාතිය වෙනුවෙන් සටන් කරල දිනුවා
මේ රට මගෙ යන හැඟුමන් අපට කියා දීලා
කළා විසල් සේවය ආදර්ශය ගෙන දීලා

නිදා සිටිය සිංහලයා අවදි කරන්නට
කවි ලිව්වා පුංචි ළමයි හා වැඩිහිටියන්හට
උදාර මෙහෙවරකි කළේ ලක් දීපයට
ගරු කරන්න කීවා හෙළ සිරිතට විරිතට

නිහඬව සිටි සිංහලයින් අවදි කෙරූ මහින්ද හිමි
කවි ලියලා රට ජාතිය අවදි කෙරූ මහින්ද හිමි
කඩුවෙන් නොව පෑන් තුඩින් සටන් වැදුණු මහින්ද හිමි
ඉතිහාසයෙ රන් අකුරින් ලියැවුණු ඇස් මහින්ද හිමි


දහම් දැනුම

1. සිඟාලෝවාද සූත්‍රය අනුව ගිහියාගෙන් පැවිද්දාට විය යුතු යුතුකම් 5 කි. ඒ මොනවාද?

1. දොරගුලු විවෘතව තැබීම.

2. මෛත්‍රී සහගත කයින් ක්‍රියා කිරීම.

3. මෛත්‍රී සහගත වචනයෙන් ක්‍රියා කිරීම.

4. මෛත්‍රී සහගත සිතින් ක්‍රියා කිරීම.

5. සිවුපසයෙන් සංග්‍රහ කිරීම.

02. සිඟාලෝවාද සූත්‍රය අනුව භික්ෂු, භික්ෂුණී දෙපිරිසෙන් ගිහියන් වෙත විය යුතු යුතුකම් 06 කි. ඒ මොනවාද?

1. ගිහියා පවින් වැළකීම

2. යහපතෙහි යෙදවීම

3. යහපත් සිතින් අනුකම්පා කිරීම.

4. නොඇසූ දේ අසන්නට සැලසීම.

5. ඇසූ දේ ප්‍රගුණ කරවීම.

6. නිවන් මඟ කියා දීම.

03. දැහැමි සමාජයක් නිර්මාණය කරන භික්ෂුවක් වෙත තිබිය යුතු ගුණාංග කීපයකි. ඒ මොනවාද?

1. සුදුසු කල මිස නොසුදුසු කල නොකීම.

2. අර්ථවත් දේ මිස අනර්ථවත් දේ නොකීම.

3. ඇති දේ මිස නැති දේ නොකීම.

4. මෙත් සිතින් මිස නිග්‍රහ සිතින් නොකීම.

5. මෘදු ලෙස මිස රළුලෙස නොකීම.


ථූපාරාම වෙහෙර වහන්සේ

ලංකාවේ මුලින්ම සෑදූ වෙහෙර වහන්සේ වන්නේ ථූපාරාම වෙහෙර වහන්සේය. මෙම චෛත්‍යය පිහිටා තිබෙන්නේ අනුරාධපුරයේ ය. මෙම චෛත්‍යය ඉදිකරන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. ථූපාරාම චෛත්‍යය තුළ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කර ඇත. අනුරාධපුරයේ යන සෑම කෙනෙක්ම ථූපාරාම වෙහෙර වහන්සේ වැඳ පුදා ගැනීමට අමතක කරන්නේ නැත. මෙය අපේ රටේ ඇති ඉතාමත් වටිනා පූජනීය සිද්ධස්ථානයකි. එය ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකමකි.


සතර පෙර නිමිති

සුද්ධෝදන රජතුමා සිදුහත් කුමරුට ගිහිගෙය පිළිබඳව කිසියම් හෝ කලකිරීමක් ඇති නොවෙන පරිදි කටයුතු කිරීමට වග බලා ගත්තේ ය. ගිහි ජීවිතය පිළිබඳව ඇති ඇල්ම දියුණු කිරීම පිණිස මාලිගය තුළ සියලු සැප පහසුකම් සලසා දෙනු ලැබුවේ ය. එහෙත් කල් යාමේ දී කුමරුට ඒකාකාරී ජීවිතය අප්‍රසන්න විය. දිනක් කුමරු උද්‍යාන ක්‍රීඩාවේ යෙදීම පිණීස රථයක නැඟී පිටත් විය. සැරයටියක් අතින් ගත් වෙව්ලමින් ගමන් කරන, පැසුණු හිස කෙසින් යුක්ත වූ ඇඟ රැළි වැටුණු, දිරාගිය සිරුරකින් හෙබි මහල්ලකු දුටුවේ ය. කෙදිනක හෝ දැක නොතිබුණු කුමරුට ඔහු ගැන දැකගැනීමට අවශ්‍ය විය. වහා රථය නැවැත් වූ කුමරු ‘ඔහු කවරෙක්දැ’යි රියදුරුගෙන් විමසීය. කුමරුනි, ඔහුද අප මෙන්ම මෙලොව ඉපිද ජීවිතයේ අවසාන කාලයට පැමිණි මහලු පුද්ගලයෙකි. එවිට කුමරු විමසුවේ, අපිද කල්යාමේ දී එසේ වෙනවාද කියා ය. ඔව් එය අප සියල්ලන්ටම පොදුවේ, යනුවෙන් රියදුරු පිළිතුරු දුන්නේ ය.

කුමරු විසින් එතෙක් ජීවිතයේ නොදුටු, නොසිතූ පැත්තක් ගැන අවධානය යොමු විය. හැමදාමත් තරුණ විය පවත්වාගත නොහැකිදැයි කුමරු කල්පනා කරන්නට විය. ගමන නවත්වා රථය හරවා ගෙන කුමරු ආපසු මාළිගයට ආවේ ය. නැවතත් දිනක කුමරු රථයෙන් උද්‍යාන ක්‍රීඩාව පිණිස පිටත් වූයේ අතර මඟ වේදනාවෙන් හඬන පුද්ගලයෙකු දැක රෝගියෙක් බව අසා දැනගත්තේ ය. උපන් මිනිසා ජීවිතයේ දී බලාපොරොත්තු වන සතුට දිගු කලක් නොවිඳ රෝගාබාධයන්ගෙන් පීඩා විඳින්නේ නොවේදැයි සිතා ජීවිතයේ වෙනස්වීම ගැන නැවත නැවත සිතමින් එදින ද රථය ආපසු හරවා ගෙන ආවේ ය.

යළි දිනක කුමරු උද්‍යානයට යාමට පිටත් විය. අතර මඟ විමසිල්ලෙන් යද්දී යම් පිරිසක් හඬමින් සුදුරෙද්දකින් වසා, ඔසවාගෙන යන යමක් දැක ඒ කුමක්දැයි විමසූ විට, කුමරුනි, මළ මිනිසෙකු නෑදෑයන් සොහොන කරා ගෙන යන අවස්ථාවයි. රියදුරු පැහැදිලි කළේ ය. එදින කුමරුට එතෙක් ජීවිතයේ වැසී තිබුණු යථා ස්වභාවය අවබෝධ විය.

උද්‍යාන ක්‍රීඩාව සඳහා යාමට නැවත දිනක පිටත් වූ කුමරුට විමසිල්ලෙන් යනවිට සන්සුන් ගමනින් යන අතිශය ශාන්ත වූ සන්සිඳුනු පුද්ගලයෙකු හමු විය. හෙතෙම පැවිද්දකු බව සැක හැර හඳුනාගත් කුමරුට දුක් විඳින සත්වයාට එතෙර වීමට මඟක් ලොව තිබෙනවා නොවේදැයි කල්පනා විය. එම මඟ කුමක්දැයි දැන ගැනීමට කුමරු උත්සුක විය. සතර පෙර නිමිති වශයෙන් හැඳින්වෙන ජීවිතයේ මෙම අවස්ථා සතර චතුරාර්ය සත්‍යය පිළිබඳ මූලික සංකල්පය බෝසතුන්ගේ සිත් තුළ ජනිත කළ ප්‍රථම අවස්ථාව වශයෙන්ද සැලකිය හැකි ය.

සත්වයා මුහුණ දෙන දුක පිළිබඳ ගැටලුවට ලෝකය තුළ ම විසඳුමක් කොතනක හෝ ඇති බව යන හැඟීම පැවිදි රුව දුටු දින කුමරුට නිශ්චිත වශයෙන් පැහැදිලි විය. එක් ගැටලුවක් විසඳා ගැනීමට හැකි වීම ගැන කුමරු බෙහෙවින් සතුටට පත් විය. ඔහුගේ මුහුණෙහි ප්‍රසන්නතාවයක් ඇති විය. දුක නැති කිරීමේ මඟ සොයා යාමට අදිටන් කරගත්තේ ය. එවිට උද්‍යාන කෙළියේ සිටි කුමරුට යශෝධරා කුමරියට කුමරෙකු උපන් පුවත ගෙන සුදොවුන් රජුගේ දූතයෙකු එහි එළඹිණි.


සුවඳවත් වෙමු

ගෙමිදුල ඉඩකඩ ඇති තැනෙක පුංචි මල් පැළයක් සිටුවන්න. ඒ වටා හොඳින් පිරිසුදු කරන්න. නිසි වේලාවට ජලය, පොහොර ලබා දෙන්න. හොඳින් හිරුඑළිය වැටෙන්නට ඉඩ දෙන්න. මල් පැළයට ආදරයෙන් කතා කරන්න. පැළය දළු, කොළ ලා වැඩෙන සැටි දකින්න. ටික දිනකින් ළා දළුපත් අතරින් පුංචි මල් කැකුළු මතු වෙනවා ඔබට පෙනේවි. දවසකින් දෙකකින් ඒ කැකුළු සුවඳ විහිදුවමින් ඔබත් සමඟ හිනැහේවි. ඒ දකින ඔබගේ සිතට මොනතරම් සතුටක් දැනෙනවාද?

දුවේ, පුතේ, ඔබත් හරියට ඒ වගේ. අම්ම තාත්තාගේ ආදරය සෙනෙහස මැද හැදෙන වැඩෙන ඔබ වඩාත් ලස්සන වන්නේ, සුවඳවත් වන්නේ වැඩිහිටියන් දෙන ඔවදන් පිළිපැදීමෙන්. පෙන්වා දෙන අඩුපාඩු මග හරවා ගැනීමෙන්. ඔබගේ දෑතේ පහසින් හැඩ වැඩ වූ මල් පැළය සිතට සතුටක්, සුවදායි බවක් ගෙන දෙනවා වගේ මවුපිය වැඩිහිටි ඇසුරෙන්, ගුණ දම් වඩමින් හැදෙන වැඩෙන ඔබත් සමාජයට සතුටක් ගෙන දෙනවා. අර්ථයක් වෙනවා.

වැඩිහිටියන්ගෙන් ඔබට හොඳ දරුවෙක් වෙන්නට නොයෙක් අවවාද ලැබෙනවා. හරියට මල් පැලයට ජලය ,පොහොර, හිරුඑළිය ආදරය ලැබුණා වගේ. ඒ සියලු සාධක නිසා සුවඳවත් මලක මිහිර විදින්නට ඔබට අවස්ථාව ලැබුණා. ඔබත් සමාජයට මිහිරක්, සුවඳක් ගෙන දෙන්නට ඕනෑ. මවුපිය වැඩිහිටියන් හොඳ නරක කියා දෙන්නේ, වරදක් දුටු තැන තරවටු කරන්නේ, අඩුපාඩු පෙන්වා දෙන්නේ පුංචි ඔබ අපහසුවට පත් කිරීමට නොවේ. හොඳ දරුවෙක් වෙනවා දකින්නටයි. ඔබ නොතේරුම්කමට කරන වරදක හානිය ඔවුන්ට හොඳින් දැනෙනවා. අඩුපාඩු ඇතිව හැදුණොත් වැඩිහිටියෙක් වු පසුවද ඒ අඩුව දැනෙනවා, එවැනි ජීවිතයක් තමන්ට කරදරයක්. අන් අයටත් කරදරයක්. කරදරකාරි කෙනෙක් සමාජයේ පිළිකුලට, ගැරහුමට ලක් වෙනවා. බුදු හිමියන් දේශනා කළේ කෙනෙක් අපගේ අඩුපාඩු වැරැදි පෙන්වා දෙනවා නම් නිධානයක් පෙන්වා දෙනවා සේ එය පිළිගන්නා ලෙසටයි.

රාහුල පුංචි හාමුදුරුවෝ උදේ පාන්දරින්ම අවදිවෙලා, විහාර මළුව ඇමදලා වැලි දෝතක් ගෙන ඉහළට විසි කර අපුරු ප්‍රාර්ථනාවක් කළා. වැලි දෝතෙහි වැලි කැට ගණනට මට අද අවවාද අනුශාසනා ලැබෙන්න කියලා. ඒ වගේම උන්වහන්සේ ඒ අවවාද , හිස් මුදුනින් පිළිගත්තා. අදටත් රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිතය ගැන, ගුණ යහපත්කම් ගැන කියැවෙන්නේ, ලියැවෙන්නේ, එවැනි උදාර ගුණ නිසයි. පුංචි ඔබත් ජීවිතයට එවැනි වටිනාකම් එකතු කරගන්න. සුවඳවත් වන්න.