Print this Article


බුදුපිළිමයේ උපත - 57:  අල්ප උන්නත මූර්තිඵලක බද්ධ කර තිබූ අන්දම

බුදුපිළිමයේ උපත - 58: 

අල්ප උන්නත මූර්තිඵලක බද්ධ කර තිබූ අන්දම

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

පුරාණ භාරතයේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටා ඇති භාරුත් පුදබිමෙහි සහ මධ්‍ය ප්‍රදේශ්හිම ඇති ඉතා ප්‍රකට සාංචි ස්තූපය ආශි‍්‍රතවද පුරාණ මූර්ති කැටයම් දක්නට ලැබෙන්නේ එහි තිබුණු තොරණ වලය. සාංචි පුදබිමේ ඇති ස්තූප ආශි‍්‍රත වු තොරණ සතරෙහි ඇති මූර්ති කැටයම් (Sculptures) ඉතා ප්‍රකටය.

එහෙත් භාරුත් දාගැබ වටා තිබුණු ප්‍රාකාරයෙන් ඉතිරිව තිබුණු ගල් කුළුණු තුන අවට කැණීම් කිරීමේදී නටබුන් රැසක් හමු විය. භාරුත් දාගැබ වටා තිබූ ගල්වැට දිසා හතරෙහි පිහිටුවන ලද දොරටු සතරක්ද විය. එක් එක් දොරටුව ගල් තොරණකින් සරසන ලදී. දාගැබ වටා තිබුණු ප්‍රාකාරයෙහි ගල්කණු හෙවත් ස්තම්භ අසූවක් තිබිණි. භාරුත්හි සම්පූර්ණ තොරණක නටබුන් සොයාගත නොහැකි වූවද සාංචි ස්තූපය ආශි‍්‍රතව තොරණ ඇත. ඒවායේ හරස් අතට ඇති ගල්පුවරු තුනකින් යුක්ත බවට සාක්ෂි හමුවී ඇත. බුද්ධගයාවෙහිද අල්ප උන්නත මූර්ති කැටයම් හමුවී ඇති භාරුත් සහ සාංචි ස්තූපවලට තොරණ තිබුණු අතර ඉතා අගනා මූර්ති කැටයම් ඒවායෙහි දක්නට ලැබේ.

දඹදිව බෞද්ධ කලාව –ආචාර්ය ආනන්ද ගුරුගේ පි. 9-10-1962)

දක්ෂිණ භාරතයේ මූර්ති කැටයම් නිර්මාණය කර ඇති ඉතා ප්‍රකට දාගැබ් දෙකකි. දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි ඇති ඒ පුදබිම් අමරාවතී සහ නාගර්ජුන කොණ්ඩ ආශි‍්‍රත වූ දාගැබ දෙකෙහි මූර්ති කැටයම් නිර්මාණය කිරීම සඳහා භාරුත් හෝ සාංචිහි මෙන් තොරණ තිබුණේ නැත. අමරාවතී දාගැබ ගැන සඳහන් කරන විට එහි අද ඇත්තේ (මේ ලේඛකයා එහි 1997 දී සංචාරය කරන විට) පාදම පමණකි. දාගැබෙහි (Replica)  - රෙප්ලිකාවක්) අනුරුවක් අමරාවතී කෞතුකාගාරය අසළ සාදා තිබේ. ඒ අනුව එම අමරාවතී මූර්ති කැටයම් නිර්මාණය කර තිබුණේ දාගැබෙහි ගර්භය වටා බව ඉහත සඳහන් එම ආකෘතිය අනුව පැහැදිලි වේ. අමරාවතී දාගැබේ අනුරුව සාදන ලද්දේද එම මූර්ති කැටයමක තිබු අන්දම අනුවය. මෙම අනුරුවේ ඡායාරූපයක් ද මෙහි දැක්වේ. ඒ සමඟම නාගර්ජුන කොණ්ඩ දාගැබ තිබු ආකාරයද මුර්ති කැටයමක නිර්මාණය කර ඇති අන්දම මෙහි දැක්වේ. (භාරත – ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග පි. 4-6-2006)

භාරුත්, සාංචි, බුද්ධගයා සහ දකුණු භාරතයේ අමරාවතී සහ නාගර්ජුන, කොණ්ඩ යන පුදබිම් ආශි‍්‍රතව ඇති අල්ප උන්නත මූර්ති කැටයම් (Bas-Reliefs Sculptures) වලින් බුදුපිළිම නිර්මාණයට පෙර කාලයේදී මූර්ති ශිල්පීන් යොදාගත් සංකේත වූ ඡත්‍රය,ස්තූපය, ධර්මචක්‍රය, සිරිපතුල්, වජ්‍රාසනය, යන අංග පොදු වූයේය. මුල්කාලීන මූර්තිවලට පසු භාරුත්හි හැර බුදුපිළිම නිර්මාණය කිරීමද එම අල්ප උන්නත මූර්ති ඵලකවලින් මෙන්ම බුදුපිළිම නිර්මාණය ද දකින්නට ලැබුණි.

අප මෙම මූර්ති ඵලක පිළිබඳ විශේෂ අවධානය යොමු කළේ සාංචි ස්තූපයේ මෙන්ම තොරණවල මෙම අල්ප උන්නත මූර්තිඵලක දකුණු භාරතයේ අමරාවති සහ නාගර්ජුනකොණ්ඩ මෙන්ම ජගයිපේත වැනි පුදබිම්වල මූර්තිඵලක නිර්මාණය කර නැති බව විශේෂයෙන් පෙන්වාදීම සඳහාය.

මේ අතර අමරාවතී මූර්ති කලා සම්ප්‍රදාය අප රටේ බුදුපිළිම නිර්මාණය කිරීම සඳහා කෙතරම් බලපෑමක් කර තිබේද? යන්න ඉතා පැහැදිලිය. ශිලා මූර්තිවල පමණක් නොව ලෝකඩ මූර්ති වලින්ද මේ බව හෙළි වී ඇත.
 


අමරාවතී කෞතුකාගාරය අසළ පිහිටුවා ඇති අමරාවතී දාගැබේ අනුරුව


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 57  සිරිපතුල් වන්දනාව