Print this Article


අපි භාවනා කරමු - 06 : අනන්ත බුදු ගුණයි අමා මහ නිවනයි

අනන්ත බුදු ගුණයි අමා මහ නිවනයි

බුදු ගුණ නිබඳවම අගයන ‘සීහ’ නම් සෙන්පතියෙක් සිටියා. ලිච්ඡවී රාජධානියේ සෙන්පතිවරයා වූ එතුමාට දවසක් තම රාජධානියට බුදුරජාණන් වහන්සේ සමඟ ලිච්ඡවීන් පිරිසක් පැමිණි පුවත ආරංචි වුණා. එදා දස දහස් ගණනින් ජන ගංඟාව, බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ වැඳුම් පිදුම් සිදු කර අමා දහමින් සැනසුම ලැබුවා. සීහ සෙන්පතියත් තමන්ගේ ශාස්තෘන් වහන්සේ වූ නිගණ්ඨනාථපුත්ත සමීපයට පැමිණ බුදුන් වහන්සේ මුණ ගැසෙන්න අවසර පැතුවා. නමුත්, සීහ සෙන්පතියාට අවසර ලැබුණේ නැහැ.

භගවත් ගෞතමයන් වහන්සේ ළඟ මන්ත්‍ර ශාස්ත්‍රයක් තිබෙන බවත් එය ජප කළවිට උන්වහන්සේ හමුවට ගිය පුද්ගලයෙක් නැවත නොඑන බවට පතළ වූ ව්‍යාජ කතාව තම ශාස්තෘවරයා සීහ සෙන්පතියාට පැවසුවා. දෙවන , තෙවන දවසෙත් නොලද අවසරයෙන් මෙතුමා තම මතයට බුදුරදුන් හමුවට පිවිසුණා. සීහ සෙන්පතියා අපරිමිත ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කර නින්දා, අපහාස පිළිබඳ කතා කළා. ඒ වදන් පෙළ ඇසුරෙන්ම බුදුරජාණන් වහන්සේ මෙතුමාට සුවිශේෂී ධර්ම දේශනාවක් වදාළා.

ඒ සුමධුර දහමින් සැනසුණු සීහ සෙන්පතියා සෝවාන් මාර්ග ඥානයෙන් නිවන් සම්පත් ලැබුවා. පසුව, බුදුරජාණන් වහන්සේ සෙන්පතිය, ඔබ අදහපු ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් දානමාන ලබාදෙන්නැ’යි වදාළා. නිවැරැදි දර්ශනයක් ලබාගත් සෙන්පතිතුමා මිථ්‍යා දර්ශනයෙන් මිදී බුදුන් වහන්සේට දාන මානාදී පූජා කර නිගණ්ඨනාථ පුත්ත හමුවෙන්න මාළිගාවට පැමිණියා .එහිදී විවිධාකාර උපක්‍රමයන් මඟින් ඔහු මුණ ගැසෙන්න සූදානම් වුවත් එය සාර්ථක වූයේ නැහැ. සීහ සෙන්පතියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූ බවට නිගණ්ඨනාථපුත්ත අපමණ චෝදනා නඟා අප අසරණ කළා යැ’යි පැවසුවා.

එසේනම්, සාමාන්‍ය පුද්ගලයෙක් යහපත පිණිස පැහැදෙනවාට වඩා ප්‍රභූවරයෙක්, රජකෙනෙක් පැහැදුණොත් එය මුළු පළාතටම සුවිශේෂී පුවතක් වුණා.

මෙවැනි විශේෂිත පුද්ගලයෝ බුදු දහම වැළඳගත්විට අති විශාල පිරිසක් බුදු දහමට සවන් යොමු කර නිවැරැදි දහම කුමක්දැ’යි පිළිගත්තා. මෙසේ බුදු දහම ගැන පැහැදුණ අය පැවිදි වූවා. සමහරු මේ ශාසනයට කොපමණ ලැදිදැ’යි සඳහන් කළොත් දින දෙක, තුන පවා නිරාහාරව මහණ දම් පිරුවා. ඇතැම් උත්තමයෝ දිවි හිමියෙන් අපමණ මහණ දම් පුරා අපවත් වුණා. ඇතැම් උතුමෝ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී මඟ ඵල ලබා දෙව්ලොව , බඹලොව උපත ලැබුවා.

එදා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි සියල්ලෝම බෞද්ධයන් නොවුණත්, අන්‍ය ආගමිකයන් පවා බුදුරදුන්ගෙන් සරණ පැතුවා. රජවරු, සෙන්පතිවරු, සිටුවරු ඇතුළු තමන්ගේ පිරිවර සියල්ලෝම බුදු දහම හදවතින්ම වැළඳ ගත්තා.

අද ඇතැම් රටවල බුදු දහම ගැන සුවිශේෂී ගවේෂණ සිදු කර, බුදු දහම යනු ශීලාදී ගුණ සම්පත් දියුණුවෙන් මෙලොව යහපත සලසාදෙන උතුම් දහමක් බව ඔප්පු වී තිබෙනවා. බුදුදහම නිවැරැදි දහමක් ලෙස අද විදේශිකයන් බොහෝ දෙනෙක් පිළිගන්නා කාරණයක්.

මේ සුමධුර දහමට පැහැදුණු විදේශිකයෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලෝකයේ විශාලතම ප්‍රතිමාව නිර්මාණය කරන්න සූදානම් වෙනවා. තවත් මහත්මයෙක් බුදුදහම ගැන පැහැදී අමෙරිකාවේ පන්සල් විසි ගණනක් ඉදිකර පූජා කළා. බලන්න, එසේනම්, බුදු දහම ගැන කොපමණ පුද්ගලයන් පිරිසක් පැහැදීමකින් කටයුතු කරනවාද? එය සැමගේම යහපත පිණිසයි. අපරිමිත සංඛ්‍යාවකට පාරමිතා පුරන්න ආරාධනා කළේ බුද්ධානුස්සති භාවනාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන තිබෙන පැහැදීම නිසයි.

එසේනම්, බුදුන් වහන්සේ ගැන අපමණ පැහැදීම අප පුළුවන් තරම් දියුණු කළ යුතුයි. එය තමන්ගේ සිතටත් බොහොම හොඳයි . සංසාර ගමනටත් යහපතක්. ඔබ සෑම දෙනාටම අපායෙන් අත් මිදී, දෙව් මිනිසුන් අතර උපත ලබා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ මහඟු වාසනාව උදෙසා බුදු ගුණ භාවනාව මෙසේ සටහන් තබන ලෙසම මෙනෙහි කරන්න.

නමස්කාර පාඨය තෙවරක් නැමැඳ ඉතිපි සො, ස්වාක්ඛාතෝ, සුපටිපන්නො යනුවෙන් ජීවිතය තුනුරුවන්ට පූජා කරන්න. නමස්කාරව මේ බුදු ගුණ පාඨය කිහිප වරක්ම සෝ භගවා, ඉතිපි අරහං යනුවෙන් මෙනෙහි කරන්න. දවසක්, දෙකක්, තුනක් සො භගවා ඉතිපි අරහං යනුවෙන් මෙනෙහි කිරීමෙන් චිත්ත සමාධිය ලැබෙයි. දහදහස් වාරයක් වුණත් කමක් නැහැ. අරහං ගුණය මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමෙන් ලැබෙන චිත්ත සමාධියෙන් පංචනීවරණයන්ගේ සංසිඳීම සිදු වෙයි. තණ්හාව, තරහව, කම්මැළිකම, සිතේ විසිරීම, සැක සාංකාව,ආදී මනෝ ගැටලු නම් වූ නීවරණ පහ සංසිඳුවාගෙන තමන්ට භාවනාවෙන් ඉදිරියට යන්නට පුළුවන්. බුදු ගුණ භාවනාව එකම ඉරියව්වකින් මෙනෙහි කිරීම අවශ්‍ය නැහැ. කුමන ඉරියව්වකින් හෝ මෙනෙහි කරන්න පුළුවන්. ඇවිදිමින්, වාඩිවෙමින්, හිටගෙන, නිදන ඉරියව්වෙන් හෝ නිදි වර්ජිතව කුමන වේලාවක හෝ යනුවෙන් ඉරියව් දේශනා කර වදාළා. එම ඉරියව්වේ සිට භාවනාව අධිෂ්ඨානයෙන් සිත පිහිටුවිය යුතුයි. එවිට පංචනීවරණයන්ගේ සංසිඳීමක්, බෝධි පාක්ෂික ධර්මයන්ගේ නැඟී සිටීමක් සිදු වෙයි. අරහං යනුවෙන් මෙනෙහි කරන සිතක් පාසාම බෝධි පාක්ෂික ධර්ම තිස්හතක් පහළ වෙන බවත්, එක සිතක පරෝපන්නාසක ධර්ම හැටපහක් පහළවන බවත් ධර්මයේ සඳහන් වෙයි. මේවා කවුරුත් ඉගෙනගෙන, දැනුම්වත්ව බුදු දහම පිළිබඳව තේරුම් බේරුම් කර ගැනීම අත්‍යව්‍යශයි. සෑම කුසල් සිතම ධර්ම හැටපහක් පහළ වනබව බුදුරජාණන් වහන්සේ වදාළා. එය හඳුන්වන්නේ පරෝපන්නාසක ධර්ම යනුවෙනුයි. මෙය හොඳින් මතක තබා ගන්න. පන්නාසක යනු පනහයි. පරෝ යනු වැඩියි. එනම්, පනහට වැඩියි. එවැනි හැටපහක් වූ ධර්මතා එක සිතක පහළවෙද්දී චිත්ත වීතියේ අසංඛ්‍යයක් වුණොත් හැටපහේ අසංඛ්‍යයක් වෙයි. එහි බලය වැඩියි. ඒ හැම සිතකම බෝධි පාක්ෂික ධර්ම තිස්හතක් පහළ වෙයි. බෝධි පාක්ෂික ධර්ම තිස්හතක් පහළ වන්නේ නිවන් සම්පත් පිණිසයි.

පාපී සිතක් පහළ වුවොත් එයටත් පාපී සිතිවිලි සංඛ්‍යාවක් පහළ වී පව බලගතු වෙයි. පව බොහෝ කලක් දුක් විපාක පිණිස පවතියි. එහි කුසල් සිතිවිලි නැහැ.

අකුසල සිතිවිලි මැඩ පවත්වා පාපී සිතිවිලි තුරන් කිරීමට තමාගේ දැනුම, තමාගේ ශක්තිය, තමාගේ බලය යොදා කටයුතු කළොත් බොහොම අගෙයි. බුදු ගුණ භාවනාවෙන් ප්‍රඥා පාරමිතාව හොඳින් වැඩෙයි. ප්‍රඥා පාරමිතාව හොඳින් දියුණු තියුණුවෙන් ඉදිරියටම යන්න පුළුවන්. පුරා සතියක් බුදු ගුණ භාවනාවේ එක ගුණයක් මෙනෙහි කළොත් එය ඉබේම තමන්ගේ සිතට නැඟෙයි. එසේ වුවොත් අමුතුවෙන් වෙහෙස වීමට , සෙවීමට අවශ්‍ය නැහැ. කමටහන , අරමුණ ඉබේම සිතට නැඟෙයි. මෙසේ බුදුගුණ භාවනාව සිව් ඉරියව්වෙන්, ඕනෑම මොහොතක, ඕනෑම වේලාවක, පිරිසුදු ඕනෑම ස්ථානයක මෙනෙහි කරන්න පුළුවන්. බුදුවරයෙක් යනු පිරිසුදු වස්තුවක් බැවින් පිරිසුදු ස්ථානයක සිට පිරිසුදු සිතකින් බුදුගුණ භාවනාව මෙනෙහි කරන්න කවුරුත් වෙහෙස වන්න. එහි අනුසස් අපට මොලොවදීම ලැබෙයි. කරදර පීඩා , මාර්ග බාධක අපල සංසිඳුවාගෙන අපට අපමණ බලයක් බුද්ධානුස්සති භාවනාවෙන් ලබන්න පුළුවන්.

එසේම සැවොම බුදුගුණ භාවනාව මෙනෙහි කර තමන් බලාපොරොත්තු වන නිවන් සුව වැඩි කාලයක් නොගොසින් ලබන්න පුළුවන්. මේ සඳහා ශ්‍රද්ධාව, වීර්ය, සති, සමාධි, ඥාන ඉන්ද්‍රිය පහ බල ධර්ම පහ බැඟින් දහයක් තිබෙයි. මේ ඉන්ද්‍රිය බල ධර්මයෝ කුසල් සිතක යෙදුණොත් එක් පැත්තකින් ශක්තිමත් මෙන්ම ප්‍රභලයි. එය කිසිවිටකත් සෙලවිය නොහැකියි. පුණ්‍ය කර්මයක් නොසොල්වා, අකම්පිත වන්නේ බල බොජ්ඣංගය පහළ වූ නිසයි. ඉන්ද්‍රිය බල, බොජ්ඣංග බොහොම බලගතුයි.

මේවා පහළවීමෙනේ සිතේ දියුණුව, සිතේ යහපත තමන්ට සකසාගන්න පුළුවන්. ඒනිසා කවුරුත් මෙලොව යහපත සලසාගෙන නීවරණයන් සංසිඳුවාගෙන බෝධි පාක්ෂික ධර්ම දියුණුවෙන් පාරමිතාවන් පුරා ගැනීමට බුද්ධානුස්සති භාවනාව දියුණු කිරීම බොහොම අගෙයි. එසේම නිවනට සමීප වෙයි. නිවන් දක්නා ජාති දක්වාම සතර අපා දුකෙන් අත්මිදී සුගතියකට පිවිසී ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්ති ලක්ෂණ අමා මහා නිවන් සම්පත් අවබෝධ කරගැනීමට තම තමන්ට පුළුවන්. ඒ නිසා කවුරුත් මේ ප්‍රාර්ථනාව සිතෙහි තබාගෙන මෙසේ සටහන් තබන්නට යෙදුණු නව අරහාදී බුදු ගුණ භාවනාව දිනපතාම මෙනෙහි කරන්න. එය දරුවන්ට , හිතවතුන්ට, අසල්වැසියන්ට කියා දෙන්න. බුදු ගුණ භාවනාව අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් හොඳින් මෙනෙහි කර තමන්ගේ සිතේ බලපවත්වන තණ්හාව, තරහව, වෛර, ක්‍රෝධ, මද මාන්නය, ඊර්ෂ්‍යා ,පවිටු සිතිවිලි තුරන් කර මෙලොව ජීවිතයන් හොඳින් සකසාගෙන පරලොව ජීවිත පෙළත් සුගතියකම වාසය කර බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේ නිවී සැනසී වදාළ අමා මහා නිවන් සම්පත් අවබෝධ කරගන්න බුදු ගුණ භාවනාව හේතු වේවා! වාසනා වේවා!’යි පැතුම කවුරුත් සිතෙහි තබාගනිමින් බුද්ධානුස්සති භාවනාව දියුණු කෙරෙත්වා’යි කරුණාවෙන් , මෛති‍්‍රයෙන් ඉල්ලා සිටිමු.