Print this Article


සංවේදී සිත්

සංවේදී සිත්

දැනුමෙන් පිරිපුන් වන්නේ පොත පත හොඳින් අධ්‍යයනය කළ පමණටය. දැනුම සොයා ගිය පමණටය. අසා දැන උගත් තරමට ය. ජීවිතයේ යහ පුරුදු, ගුණ යහපත්කම් හුරු වන්නේ, තහවුරු වන්නේ ගුණ යහපත් මිනිසුන් ඇසුරින්ය. ඔවුන් ගැන අසා දැන ගැනීමෙන්ය.

තමන්ට බරක් නැති, ඉපදුන රටට බරක් නැති, අනුන්ගේ දුකට සංවේදී, ගහ කොළට සතා සිවුපාවුන්ට ආදරය කරන එවැනි මිනිසුන් සුලබ වුවද ඔවුන් ගැන තොරතුරු විරලය. සැඟවී ඇති සේය. තවත් කෙනෙකුට දැනෙන්ට, හැදෙන්නට ඒ චරිත ඉස්මතු වීම වැදගත් ය.

බාල වියේම සම්බුදු සසුනේ බුද්ධ පුත්‍රයෙක් වී මනාව බණ දහම් උගෙන, හැකි පමණින් මිනිසුන්ට උපකාර කරන්නට කැපවෙන මහනුවර මල්වතු මහා විහාරවාසී ශාස්ත්‍රපති මැදමහනුවර ධම්මසිරි හිමියන් විශේෂයෙන් තරුණ දරුවන්ට ආදර්ශමත් තරුණ යතිවරයාණන් නමකි.

සාර ගර්භ ධර්ම කරුණු සිත් කාවදින සේ දේශනයෙන්, ලේඛනයෙන් ධර්මය ලැදි මිනිසුන් අතරට ගෙන යන උන්වහන්සේ තමන් වහන්සේට ලැබෙන පිරිකර සියල්ල උදව් උපකාර ඇවැසි මිනිසුන් වෙනුවෙන් අර්ථවත් ලෙස පරිත්‍යාග කරති. එපමණින් නොනැවතී ඒ සද්කාර්යයන් සඳහා පින් කැමති මිනිසුන් ද සහභාගි කරවා ගනිමින් ගුණ යහපත්කම් වඩන්නට උනන්දු කරවති.

එවැනි පින්කම් අතර අපූර්ව වටිනා වැඩ සටහනක් පසුගියදා රුවන්වැලි සෑ රදුන් අභියස දී සිදු කෙරුණේ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියන්ගේද අනුශාසනා පරිදිය. තවත් දින කීපයකින් මොළකැටි සිඟිත්තෙකුගේ මුහුණ දකින්නට මග බලා සිටින ගැබිනි අම්මාවරුන්ගේ හිත සුව පිණිසත්, ගත සුව පිණිසත් ඒ මාහැඟි පින්කම සංවිධානය කෙරුණි.

ගැබිණි අම්මාවරු පනස් දෙනෙකු රුවන්වැලි සෑරදුන් ඉදිරියේ ආශිර්වාද ලබමින් ඒ පරිත්‍යාගයන් බාර ගත්තේ හද පිරි සතුටිනි. අවුරුද්දේ වැඩි කාලයක් ගිනි කාෂ්ඨක අව්වේ ජීවිතය ජීවත් කරවන්නට මහ පොළව සමඟ පොර බදන අනුරාධපුර ප්‍රදේශයේ ඈත ගම්වල අම්මාවරු ඒ පරිත්‍යාගයන්ගෙන් සැනසුනහ.

"මට අවශ්‍ය වුණේ මේ අම්මාවරුන්ගේ හිතේ බර යම් පමණින් හෝ අඩු කරන්නයි. අම්මගේ පෝෂණයට ආහාරපාන වගේම උපදින දරුවට අවශ්‍ය බඩු බාහිරාදියත් හැකි උපරිමයෙන් උසස් ලෙස ලබා දෙන්නට හැකිවුණේ පින්කැමැති උදවියගේ සහය උපරිමයෙන් ලැබුණු නිසයි. ඇතැම් අයට දුරකථනයෙන් පමණයි දැනුම් දුන්නේ. ඊට පසුදාම බස්රථවලින් පවා පරිත්‍යාග එවා තිබුණා. රුපියල් ලක්ෂ තුනකට වැඩි පරිත්‍යාග ලැබුණ. ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා."

උන්වහන්සේ පවසන්නේ හද පිරි සතුටිනි. මෙවැනි පින්කම් තව තවත් කරන්නට, ආදර්ශවත් භික්ෂු ජීවිතයකට උන්වහන්සේට ආශිර්වාද කරමු.