UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපි භාවනා කරමු - 03:   බුදු ගුණ භාවනාවෙන් ලැබෙන පින අපමණයි

බුදු ගුණ භාවනාවෙන් ලැබෙන පින අපමණයි

" මේ ජීවිතයේ සුවපත් නින්දක් ලබන්න පුළුවන්. සුවපත් අවදිවීමක් ලබන්න පුළුවන්. ඇතැමෙකුට නින්ද යන්නේ නැහැ. ඇතැමෙකු නිසි වේලාවට අවදි වෙන්නේ නැහැ. මේ කරුණු දෙකට බෙහෙත් හේත් ගන්නවාට වඩා බුදු ගුණ භාවනාව මෙනෙහි කිරීම ප්‍රභල වෙයි. යක්ෂ, ප්‍රේත , අමනුෂ්‍ය පිරිස ද බුදු ගුණවලට බිය වෙති. බුදු ගුණ භාවනාවෙන් ලැබෙන අසීමිත පින මෙපමණයි යනුවෙන් කාටවත් ප්‍රකාශ කරන්න බැහැ."

චිත්ත සමාධිය ලැබෙන සමථ භාවනාව, උපචාර සමාධි සහ අනුපචාර සමාධි වලට පත්කර ගන්න පුළුවන්. එය ධ්‍යාන අභිඥා උපදවා ගන්නත් සමර්ථ වෙයි. සමථ භාවනාවෙන් සිත දියුණු කිරීම යනු පංචනීවරණයන්ගෙන් සන්සිඳීමයි. නීවරණ පහක් බුදු දහමේ සඳහන් වෙයි. පෘතග්ජන සෑම කෙනෙකුටම සිතේ පහළවෙන නිවන යටපත්කරන, සුගතිය යටපත් කරන ධර්මතා පහක් වෙයි. කාමච්ඡන්ද නීවරණය,ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්ඡ කුක්කුච්ඡ නීවරණය, විචිකිච්ඡා නීවරණ වශයෙන් නීවරණ පහකි. සෑම සිතකම බලපවත්වන්නා වූ මේ පංචනීවරණයෝ තම තමාගේ නුවණින් පිරික්සා ඒවා දුරු කිරීමට කටයුතු කළ යුතුයි. එයයි සමථ භාවනාව.

විදර්ශනාවේදී පංච නීවරණයෝ අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි වශයෙන් බැලිය යුතුයි. අනිත්‍ය ලක්ෂණය , දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණයන් දෙස බලා මෙනෙහි කිරීම විදර්ශනාවයි. එනම්, ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමයි.

බුදු ගුණ භාවනාව මෙනෙහි කිරීමේදී පූර්ව කෘත්‍ය සම්පූර්ණ කර තුනුරුවන්ට ගරු බුහුමන් දක්වා විවේකස්ථානයක ඉඳගෙන ඉතිපි සෝ ගාථාව ශාන්තව මෙනෙහි කළ යුතුයි. වේගවත් නැතිව, හිමිහිටත් නැතිව ශාන්තව මධ්‍යම ප්‍රමාණයෙන් බුදු ගුණ භාවනාව සතර ඉරියව්වෙන් මෙනෙහි කළ යුතුයි.

ඇවිදයද්දී, හිටගෙන සිටියදී, වාඩිවී සිටියදී, නිදන ඉරියව්වෙන් සහ නිදිවර්ජිතව යම් වේලාවක් තිබේනම් එතෙක් අපට ඉතිපි සෝ ගාථාව හෙවත් බුදු ගුණ භාවනාව සම්පූර්ණ කළ හැකියි. බුදුගුණ භාවනාව සම්පූර්ණ වන්නේ එහි තේරුම ගැන දැනුවත් වූ පසුවයි.

ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ... ආදී ගුණ නවය එකින් එක ගුණය බැගින් තේරුම දැනගත්විට ප්‍රමාණවත් එක ගුණයකට අදාළ ගුණ සංඛ්‍යාව ගණනය කරන්න අපහසුයි. එබැවින් බුදු ගුණ අනන්තයි සඳහන් වෙයි. ඒ අනන්ත බුදු ගුණය නව ආකාරයකට බෙදා දැක්වෙන්නේ මෙසේය. අරහං, සම්මා සම්බුද්ධෝ , විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ , අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ ,භගවා යනුවෙන් බුදු ගුණ නවයකි. එය නවගුණ භාවනාව, බුදුගුණ භාවනාව, බුද්ධානුස්සති භාවනාව වශයෙන් කවර නමකින් සඳහන් කළත් එකම තේරුමයි. දවසකට එක ගුණයක් මෙනෙහි කළත් අගෙයි.

සෝ භගවා ඉතිපි අරහං යන්නෙහි තේරුම සකල ක්ලේෂයන්ගෙන් දුරු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේකැ’යි සිතා තවත් තේරුම් දැනගෙන දවස පුරාම සියලු ඉරියව්වලදී සෝ භගවා ඉතිපි අරහං, යනුවෙන් මෙනෙහි කළ යුතුයි. එමඟින් සිතට විශාල ශාන්තියක්, විශාල යහපතක් සලසා ගන්න පුළුවන්, බුදුගුණ භාවනාව වඩමින් මිදුල අමදිමින් වතාවත් කළ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් විහාරස්ථානයක වැඩ සිටියා. මේ ස්වාමීන් වහන්සේ එක්තරා දවසක මිදුල හොඳින් ඇමදුවා. එදා ගවයෙකු පැමිණ ඇමදූ මිදුල අපවිත්‍ර කළා. දෙවන දවසෙත් අතු පතු ගෑ මිදුලට පැමිණි වඳුරෙක් කොළ අතු කඩා බිඳ දමා මිදුල අපවිත්‍ර කළා. තෙවන දිනත් මිදුලට සොරෙකු පැමිණ එහාට මෙහාට ඇවිදලා මුලු මිදුලම අපවිත්‍ර කළා. ස්වාමීන් වහන්සේ මෙය මාරයාගේ ක්‍රියාවක් බව දැනගෙන මෙසේ මිදුල අපවිත්‍ර කරන්නේ වසවර්ති මාරයා නේදැ’යි විමසුවා. මා වඩන බුදු ගුණ භාවනාව, චිත්ත සමාධිය විනාශ කරන්න මෙවැනි ක්‍රියාවක් ඔබ කළේදැ’යි විමසුවා. මාරය, ඔබ ඔතරම් බලවත් නම් අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහය මට මවා පෙන්වන්නැ’යි පැවසුවා. මොහු බුදුරජාණන් වහන්සේ දුටු කෙනෙක් බැවින් ශ්‍රී දේහය විචිත්‍රවත් ලෙස මවා පෙන්නුවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ , අසූවක් අනුව්‍යංජන ලක්ෂණ, යාම ප්‍රභාව, කේතුමාලාලංකාර , සවණක් ගණ බුදුරැස් මාලාවන් , ඌර්ණ රෝම ධාතුවෙන් සමන්විත ශ්‍රී දේහය විචිත්‍රවත් ලෙස මවා පෙන්නුවා. මේ බුද්ධ අසිරියෙන් නිවී සැනසුණු ස්වාමීන් වහන්සේ බුදු ගුණ භාවනාව ශාන්තව දිගටම මෙනෙහි කළා. මේ මඟින් චිත්ත සමාධිය පිණිස නීවරණයන්ගේ සංසිඳීමක් සිදු වුණා. ඇත්ත ඇති සැටියෙන් වටහාගෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ හොඳින් අවබෝධ කළා. පවිටු මාරයා අතුරුදහන් වීමට පෙරම ස්වාමීන් වහන්සේ නිවන් සම්පත් අවබෝධ කළා. බුදු ගුණ භාවනාව නිවන් සම්පත් සලසා දීමට සුදුසු ඉතාමත්ම පැහැදිලි සරල භාවනාවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. බුදු ගුණ භාවනාවෙන් තමන්ගේ සිත , ගත නිවා සනසා ගන්නට පුළුවන්. අසනීප, අපල උපද්‍රව, නවග්‍රහ දෝෂ සන්සිඳුවාගන්න පුළුවන්. එය කායික මානසික සුවපත් භාවය සලසා ගෙන මෙලොව ජීවිතය හොඳින් හඳුනා ගැනීමට උපකාරී වෙයි. එසේනම්, බුදු ගුණ භාවනාවෙන් තම තමන්ගේ සිත විශේෂයෙන් දියුණු තත්ත්වයට පත් කරගන්න පුළුවන්. නීවරණයෝ යටපත් වුණාය, සන්සිඳුණාය යනු උතුම් අවස්ථාවක්. සියලු දෙනාගේ සියලු කරදර, බාධක, පීඩා, අපල යනු මේ පංචනීවරණයන්ගෙන් සිදුවන විපත් වෙයි. සිත ආරක්ෂිත කර ගැනීම, සිත දියුණු කර ගැනීම, ලෙහෙසි පහසු කරුණක් නොවෙයි. සිතේ ලෝභ, ද්වේශ, මෝහ වශයෙන් කොටස් තුනක් වෙයි. එය පාපී සිතිවිලි, අකුසල් සිත් යනුවෙන් දොළොස් ආකාරයකට බෙදා දක්වයි. එය සිත සියලු විනාශයන්ට පත් කරයි. බුදු ගුණ භාවනාවෙන් ලෝභ, ද්වේශ, මෝහ වළක්වාගන්න පුළුවන්. සිත පරිහානියට පත්වන ලෝභ, ද්වේශ, මෝහ කෙලෙස් හඳුනාගෙන යටපත් කිරීමට උත්සාහ ගත යුතුයි. බුදු ගුණ භාවනාව නිවැරැදිව සිදු කර ලෝභ, ද්වේශ, මෝහ ක්ලේෂයන් බොහෝ දුරට යටපත් කරගන්න පුළුවන්. බුදු ගුණ භාවනාවෙන් තමන්ගේ සිතේ දියුණුව සැලසෙන බව බුදුන් වහන්සේ් වදාළා. එය කෙලෙසුන් යටපත් කරන, කෙලෙස් නිරුද්ධවන, සංසාර ගමන ගැන කලකිරෙන, විශිෂ්ඨ ඥානයෝ සහිත ධර්මාවබෝධය ඇති කරගෙන මඟ ඵල නිවන් සුව සලසන භාවනාවක්. එසේනම්, බුදු ගුණ භාවනාව බොහොම වැදගත්. එහි එක් ගුණයක් ලෙස ඉතිපි සෝ භගවා අරහං යනුවෙන් ගුණ නවයම එකිනෙක පද සම්බන්ධ කරගෙන ඉගෙන ගන්න. සෝ භගවා ඉතිපි භගවා, සෝ භගවා ඉතිපි අරහං ,සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ ,සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ, සෝ භගවා ඉතිපි සෝ සුගතෝ, සෝ භගවා ඉතිපි ලෝකවිදූ , සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිසදම්ම සාරථී සත්ථා, සෝ භගවා ඉතිපි සත්ථා දේවමනුස්සානං ,සෝ භගවා ඉතිපි බුද්ධෝ, සෝ භගවා ඉතිපි භගවා... මෙයයි සැලැස්ම . මෙයයි පද සම්බන්ධය. හැම පදයකටම , හැම ගුණාංගයකටම සෝ භගවා ඉතිපි යනුවෙන් සම්බන්ධ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහං නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වන සේක. යනුවෙන් ඉතිරි බුදු ගුණ සහිත පද වලටත් යොදා ගත යුතුයි. අරහං වදන සිතුවත් වටිනවා.

දිනක් ක්‍රීඩා කරමින් සිටි ළමයෙක් “නමෝ බුද්ධාය” යනුවෙන් පැවසුවා. නමෝ බුද්ධාය වදනින් ඒ දරුවාට විශාල ආනිශංසයක් ලැබුණා. එහි සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! යන අරුතයි. මේ දරුවා යක්ෂ, ප්‍රේත , කරදර වලින් පවා සන්සිඳුණා. එසේනම්, විශාල දියුණුවක් ලබන්න, ආරක්ෂාවක් ලබන්න, පිහිටක් ලබන්න බුදු ගුණ භාවනාව බොහොම බලගතුයි.

සෑම ළමයෙක්ම නමෝ බුද්ධාය යන වදන පුරුදු වන්න. බෞද්ධ, අබෞද්ධ සෑම ළමයෙකුටම මේ මඟින් විශාල පිනක් අත්පත් වෙයි. මේ භාවනාව නුවණින් සිදුකළොත් කොපමණ පිනක් අත්පත් වේද? සංසාර ගමන ආලෝකවත් දිවියක් ලබන්න පුළුවන්. ප්‍රීතිමත් දිවියක්, යහපත් නුවණක් ලබන්න පුළුවන්. එමෙන්ම මේ ජීවිතයේ “සුප්ප බුද්ධං පබුජ්ඣන්ති” සුවපත් නින්දක් ලබන්න පුළුවන්. සුවපත් අවදිවීමක් ලබන්න පුළුවන්.

ඇතැමෙකුට නින්ද යන්නේ නැහැ. ඇතැමෙකු නිසි වේලාවට අවදි වෙන්නේ නැහැ. මේ කරුණු දෙකට බෙහෙත් හේත් ගන්නවාට වඩා බුදු ගුණ භාවනාව මෙනෙහි කිරීම ප්‍රභල වෙයි. යක්ෂ, ප්‍රේත , අමනුෂ්‍ය පිරිස ද බුදු ගුණවලට බිය වෙති. මේ අය බුදු ගුණ පවසන තැනකවත් ඉන්නේ නැහැ. එසේනම්, බුදු ගුණ භාවනාවෙන් ලැබෙන අසීමිත පින මෙපමණයි යනුවෙන් කාටවත් ප්‍රකාශ කරන්න බැහැ.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 25 වනදා සෙනසුරාදා පූර්ව භාග 9.20 ට ලබයි. 26 වනදා ඉරිදා අපරභාග 08.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වනදා ඉරිදාය.


මීළඟ පෝය මාර්තු 05 වනදා ඉරිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]