UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 55:  බුද්ධ චරිතය ආශි‍්‍රත සිදුවීමක් නිරූපණය කෙරෙන අමරාවතී සම්ප්‍රදායට අයත් ලංකාවේ මූර්ති කැටයම

බුදුපිළිමයේ උපත - 55: 

බුද්ධ චරිතය ආශි‍්‍රත සිදුවීමක් නිරූපණය කෙරෙන අමරාවතී සම්ප්‍රදායට අයත් ලංකාවේ මූර්ති කැටයම

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

" මෙහි බෝසතාණන් වහන්සේගේ හිස කෙස් කපා ඇති අතර ඒ අසල සිටගෙන සිටින අශ්වයා බෝසතාණන් වහන්සේගේ පාදය දිවෙන් ස්පර්ශ කරන ආකාරය නිරූපණය කර තිබේ"

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණයට පෙර සහ ඉන් පසුව පුරාණ භාරතීය මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද මූර්තිකැටයම් මෙකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි භාරුත් සහ සාංචි පුදබිම් ආශි‍්‍රතව දක්නට ලැබේ. එපමණක් ද නොවේ බුදුපිළිම ප්‍රථමවරට නිර්මාණය කරන ලද වයඹදිග ඉන්දියාවේ ගන්ධාර සහ ඒ කුශාන රාජවංශික කණිෂ්ක රාජයුගයේ දීම දක්නට ලැබෙන මථුරා බෞද්ධ කලා ආශ්‍රයෙන්ද නිර්මාණය වූ බව ඉතා ප්‍රකටය.

දක්ෂිණ භාරතයේ ආන්ද්‍ර ප්‍රදේශ්හි මූර්ති කැටයම් නිර්මාණය අමරාවති නාගර්ජුණකොණ්ඩ හා ජගයිපේත වැනි පුදබිම්වලින්ද හමුවී ඇත. අප රටේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය සඳහා මෙම අමරාවතී මූර්ති කලාව කෙතරම් බලපා ඇද්ද යන්න ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද Art of the Ancient Sinhalese  නමැති ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත. ඒ පිළිබඳ සඳහන් කරන විට මෙහිදී අමරාවතී මූර්ති කලාව ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද සුවිශේෂ වූ අල්ප උන්නත (Bas Relief)  (බා රිලීෆ්) මූර්ති කැටයමක් කෙරෙහි අපගේ අවධානය මෙහිදී යොමු කළ යුතුව ඇත. මෙම මූර්ති කැටයමෙන් ප්‍රකාශ කෙරෙන්නේ සිදුහත් කුමරා විසින් කරන ලද අභිනිෂ්ක්‍රමණ අවස්ථාවයි. ඉහතින් සඳහන් කරන ලද පුරාණ භාරතීය මූර්ති කැටයම්වලින් මෙම කරුණ ඉතා අලංකාර ලෙසින් මූර්තිමත් කර ඇති අන්දම ඉතා ප්‍රකටය.එහෙත් අප රටේ පුරාණ මූර්ති ශිල්පීන් විසින් සිදුහත් කුමරුන්ගේ හෝ බුද්ධ චරිතයේ අවස්ථා මූර්ති කැටයම් වලින් නිරූපණය කිරීම ඉතාමත් කලාතුරකින් සිදු කරන ලද්දක් බව මෙහිදී අවධාරණය කළයුතුව ඇත. මූර්ති කැටයම් දෙකක් ලංකාවේ හමුවී ඇත. එයින් එකක් පිළිබඳ අපි මීට ඉහතදී මහාමායාදේවිය හා සම්බන්ධ මූර්තියක් ලෙසින් (බුදුපිළිමයේ උපත – 52) සඳහන් කර ඇත. අනෙක් මූර්ති කැටයම් හමුවී ඇත්තේ සිදුහත් කුමාරයාගේ මහාභිනිෂ්ක්‍රමණය පිළිබඳවය.

මේ ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කරයි. මෙම මූර්ති කැටයමෙන් නිරූපණය වන්නේ සිදුහත් කුමරුන්ගේ මහා අභිනිෂ්ක්‍රමණයයි. අම්බලන්තොට, ගිරිහඬු විහාරයෙන් මෙම මූර්ති කැටයම හමු වී ඇත. මෙහි බෝසතාණන් වහන්සේගේ හිස කෙස් කපා ඇති අතර ඒ අසල සිටගෙන සිටින අශ්වයා බෝසතාණන් වහන්සේගේ පාදය දිවෙන් ස්පර්ශ කරන ආකාරය නිරූපණය කර තිබේ. මෙහි වම්පස පහත ඡන්න අමාත්‍යවරයාට නමස්කාර කරන අයුරින් නෙළා තිබේ. මෙම මූර්ති කැටයමෙහි ඉහළ සිදුහත් කුමරුන්ගේ වම්පස ඉන්දු දෙවියන්ද දකුණු පස බ්‍රහ්මයා ද නිරූපිතය. වම්පසින් සිටගෙන සිටින්නේ බෝසතාණන් වහන්සේට ඇඳුම ගෙන එන ලද දෙවියාගේ රූපයයි. බෝසතාණන් වහන්සේගේ හිසවටා රශ්මි මාලාවක් ද නිරූපණය කර ඇත. (Art of the Ancient Sinhalese rof Senarat Parannavitana p .129 – 1970 )

මෙම මූර්ති කැටයම සිදුහත් කුමරුන්ගේ අභිනිෂ්ක්‍රමණය දක්වන අතර මෙය ලංකාවට ආන්ද්‍ර දේශයෙන් ගෙන එන ලද මූර්ති කැටයමක් යැයි ආචාර්ය පූජ්‍ය කඹුරුපිටියේ වනරතන නා හිමියෝ සඳහන් කරති. (මූර්ති කලාව ග්‍රන්ථය සඳහා උන්වහන්සේ ලියන ලද ලිපිය පි. 4 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. – 1990)

ගිරිහඬු සෑය යන නමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද ඉතා ප්‍රකට පුදබිමක් ඇත. මෙම මූර්ති පුදබිම අම්බලන්තොට (හම්බන්තොට) ප්‍රදේශයට අයත් වන්නේ ය.

සිද්ධාර්ථ කුමාරයාගේ මහා අභිනිෂ්ක්‍රමණය පිළිබඳ මූර්ති ඉහතින් සඳහන් කරන ලද සාංචි ගන්ධාර, අමරාවතී, නාගර්ජුණ කොණ්ඩ යන පුදබිම්වලින්ද හමුවී ඇති බව ඉතා ප්‍රකට කරුණකි. අමරාවතී පුදබිමෙන්ම හමු වූ මූර්ති කැටයමකින් මේ බව හෙළිවෙයි. අපේ රටෙන් හමු වූ මෙම අභිනිෂ්ක්‍රමණය නිරූපණය කෙරෙන මූර්ති කැටයමෙන් ප්‍රකාශ කෙරෙන අවස්ථාව සාංචි, ගන්ධාර, මථුරා හෝ අමරාවතී යන කිසිදු පුදබිමකින් හමු නොවී තිබීමද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 54:   අනුරාධපුර ජේතවනාරාමය දාගැබ අසලින් හමු වූ අමරාවතී සම්ප්‍රදායේ මූර්ති කැටයමක්

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 25 වනදා සෙනසුරාදා පූර්ව භාග 9.20 ට ලබයි. 26 වනදා ඉරිදා අපරභාග 08.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වනදා ඉරිදාය.


මීළඟ පෝය මාර්තු 05 වනදා ඉරිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]