UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අභියෝග කළ නොහැකි සර්වඥතා ඤාණ

අභියෝග කළ නොහැකි සර්වඥතා ඤාණ

අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගේ සම්බුදු නුවණ ආශ්චර්යවත් එකක්. උන්වහන්සේගේ සම්බුදු නුවණ සර්වඥතා නුවණ වශයෙන් අප හඳුන්වනවා. මේ ලෝකයේ දැනගත යුතු දේවල් යම්තාක් ඇද්ද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒතාක් ය. ඒ වගේම උන්වහන්සේගේ අවබෝධය යම්තාක් වේද, මේ ලෝකයේ දැනගත යුතු දේවල් ඇත්තේ එපමණය. උන්වහන්සේගේ සම්බුදු නුවණට හසු නොවුනා වූ දෙයක් ලෝකයේ නැහැ.

ප්‍රතිභානයෙන් වැටහීම

දිනක් අභයරාජ කුමාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අපූරු ප්‍රශ්නයක් ඇසුවා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම දැක තිබෙනවා ක්ෂත්‍රීය පණ්ඩිතවරු, බ්‍රාහ්මණ පණ්ඩිතවරු, ගෘහපති පණ්ඩිතවරු ඒවගේ ම ශ්‍රමණ පණ්ඩිතවරු ඔබ වහන්සේ හමුවීමට පැමිණ නොයෙක් ප්‍රශ්න අසනවා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මනාකොට, නිවැරැදිවම, පිළිතුරු ලබා දෙනවා. ස්වාමිනි, මේ ආකාරයට හැම ප්‍රශ්නයකටම මනාකොට පිළිතුරු දීම පිණිස කලින්ම සැලැස්මක් ඇතිවද ඉන්නේ? යම් කෙනෙක් පැමිණ මෙසේ ඇසුවොත් මෙසේ පිළිතුරු දෙනවා කියා. එසේ නැත්නම් තථාගතයන් වහන්සේහට ඒ ඒ අවස්ථාවට අනුකූල වූ පිළිතුරු ඒ අවස්ථාවේම ප්‍රතිභානයෙන් වැටහෙනවාද?

එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ රාජ කුමාරය, ඔය කාරණය ගැන මම ඔබෙන්ම අසන්නම්. ඔබ දැන් පැමිණි අශ්ව රථයේ සෑම කොටසක් ගැනම නිපුණ දැනුමක් තිබෙනවාද? එසේය ස්වාමිනි, මට මේ අශ්ව රථයේ සෑම කොටසක් ගැනම හොඳ දැනුමක් තිබෙනවා. කුමාරය, අශ්ව රථයේ මේ තිබෙන්නේ කවර වූ කොටසද කියා යමෙක් ඔබ වෙත පැමිණ අසයිනම්, ඔබ ඊට පිළිතුර සකස් කරගෙන සිටිනවාද? එසේ නැත්නම් ඒ ඒ අවස්ථාවට අනුකූල වූ පිළිතුර ඒ ඒ අවස්ථාවට ඔබ තුළ ප්‍රතිභානයෙන් වැටහෙනවාද?

ස්වාමිනි, මේ අශ්ව කරත්තය ගැන මම හොඳට දන්නවා. අශ්ව කරත්තයක සෑම කොටසක් ගැනම මට හොඳ වැටහීමක් තිබෙනවා. ඒ නිසා යමෙක් මගෙන් අශ්ව කරත්තය ගැන අසයිනම්, ඔහු අසන ප්‍රශ්නයට මේ ආකාරයට උත්තර දෙනවාය කියා මට කලින්ම උත්තර සකස් කරගන්නට අවශ්‍ය වන්නේ නැහැ. මොකද මට මේ අශ්ව රථය ගැන හොඳ වැටහීක් ඇති නිසා. මට ඒ ගැන ඒ මොහොතේම ප්‍රතිභානයෙන් වැටහෙන නුවණින් පිළිතුරු දෙන්න පුළුවනි. ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ රාජකුමාරය, මේ ඔය වගේම තමයි. කවුරුන් හෝ වේවා මා ළඟට පැමිණ කුමන ප්‍රශ්නයක් ඇසුවද මාහට කලින් පිළිතුරු ලෑස්ති කරගෙන සකස් කරගෙන සිටීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබට මේ අශ්ව රථය ගැන මනා වැටහීක් තිබෙනවා වගේ මමත් ධර්ම ධාතුවම අවබෝධ කරගෙන මනා වැටහීමක් ඇතිවයි වැඩ සිටින්නේ. ඒ නිසා මගෙන් අසන ඕනෑම ප්‍රශ්නයකට ඒ මොහොතේදීම නිවැරැදි ලෙස පිළිතුරු දිය හැකියි. අප සරණගිය අසහාය ශාස්තෘන් වහන්සේගේ සර්වඥතා ඤාණය අසිරිමත් එකක්. මුළු ධර්ම ධාතුවම අවබෝධ වී ඇති නිසා ලෝක ධාතුව පිළිබඳ කිසිදු රහසක් උන්වහන්සේට ඇත්තේම නැහැ.

සියල්ල දක්නා නුවණ

මිළිඳු රාජ ප්‍රශ්නයේදී මිළිඳු රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් වරක් අසන්නේ, ස්වාමිනි, බුදුරජාණන් වහන්සේ සර්වඥ වන සේක්ද? එවිට නාගසේන මහරහතන් වහන්සේ මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සර්වඥ වන සේක. නිරන්තරයෙන් සියල්ල දක්නා නුවණක් ඇතත් යමක් සිහිකිරීමට කැමැති නම් සිහිකොට දැනගන්නා සේක. එවිට රජතුමා අසන්නේ, නාගසේනයන් වහන්ස, උන්වහන්සේගේ සර්වඥතා ඤාණය සිහිකිරීමෙන් ලැබෙන දෙයක්නම් බුදුරජාණන් වහන්සේ සර්වඥ නැහැ නොවේද? එවිට නාගසේන මහරහතන් වහන්සේ විසින් ලස්සන උපමාවකින් මෙසේ වදාළා.

මහරජ, මහා ධනය ඇති, මහා භෝග ඇති, රන්, රිදී ඇති, බොහෝ සම්පත් ඇති, බොහෝ ධනය ඇති, ඇල් වී, යව, සහල්, තල, මුං, මෑ, උඳු ආදී බොහෝ ධාන්‍ය ඇති ගිතෙල්, වෙඬරු, කිරි, දී කිරි, මී පැණි, උක් සකුරු ආදී ඇති, ධනයෙන් ආඩ්‍ය වූ සිටුවරයෙක් ඇත්තේ යැයි සිතමු. ඒ සිටුවරයාගේ නිවසට බත් කනු කැමැති අයෙක් පැමිණි නමුත් සිටුවරයාගේ නිවසෙහි ඒ මොහොතෙහි පිසින ලද බතක් නොමැති නම්, ඔහු වෙනුවෙන් සැලියෙන් සහල් ගෙන නැවත බත් පිළිවෙල කළ යුතු වෙයි. ඒ හේතුවෙන් සිටුවරයාට දිළින්දෙක් හෝ නිර්දනයෙක් කියා කීමද වටින්නේ? ස්වාමිිනි, එසේ කීම නොවටී. රජෙකුගේ මාළිගාවේ පවා අවේලාවේ බත් නැතිවිය හැක. එලෙසින්ම මහ රජ භාග්‍යවතුන් වහන්සේ සිහිකොට දැනගන්නා වූ පමණකින් සර්වඥ නොවේ යැයි කීම නොවටී. මෙලෙස භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඤාණය අපගේ සාමාන්‍ය නුවණින් කිසිසේත් අවබෝධ කරගත නො හැක්කේය.

තථාගත නුවණට අභියෝග කිරීම

සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා ඇස්, ඉස්, මස්, ලේ දන් දී පෙරුම්දම් පුරා ගුණධර්ම සම්පුර්ණ කරගෙන පැමිණ යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානා සේක්ද, ඒ අතර කාලය තුළ දී තථාගතයන් වහන්සේ යමක් පවසන්නාහු ද, ප්‍රකාශ කරන්නාහුද, නිර්දේශ කරන්නාහුද ඒ සියලු දෙය ඒ අයුරින් වන්නේය. අන් අයුරකින් නො වන්නේම ය. එමනිසා “තථාගත” යැයි කියනු ලබන්නේය. මෙ කරුණ නොදැන සමහර පුද්ගලයින් බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධයෙන්ම දේශනා කරන ලද ධර්මය අභියෝගයට ලක් කිරීමට උත්සාහ ගනී. නිරය, පේ‍්‍රත ලෝකය, දිව්‍ය ලෝක ආදීය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ප්‍රතික්ෂේප කරයි. දැන හෝ නොදැන කරනු ලබන මෙවැනි විවේචන නිසා සිදුවන්නේ තමා තමාට අයහපත කර ගැනීමයි. එය සංයුක්ත නිකායේ ලක්ඛන සංයුක්තයෙන් මෙසේ තේරුම් ගත හැකිය.

භූත ඇටසැකිල්ලක් සහිත පේ‍්‍රතයා

දිනක් උදේ වරුවේ ගිජුකුළු පර්වතයේ සිට මහා මොග්ගල්ලාන තෙරුන් සහ ලක්ඛන තෙරුන් පිණ්ඩපාතේ වඩින්නට පිටත් වුණා. එදා මහා මොග්ගල්ලාන තෙරුන් ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී එක්තරා තැනදී සිනහවක් පහළ කළා. එවිට ලක්ඛන තෙරුන් මහා මොග්ගල්ලාන තෙරුන්ගෙන් අසන්නේ පින්වත් මොග්ගල්ලානයන් වහන්ස, ඔබ වහන්සේ සිනහ පහළ කරන්නට හේතු වූ කරුණ කුමක්ද? ආයුෂ්මතුන් භාග්‍යවතුන් වහන්සේ සමීපයේදී ඒ ප්‍රශ්නය නැවත අසන්න. එවිට මම පිළිතුරු දෙන්නම්. එවිට හොඳයි කියා ලක්ඛන හිමියන් නිහඬ වුණා. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩ දන් වළඳා සවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වන්දනා කර එකත්පසක වාඩි වුණා. එවිට ලක්ඛන හිමියන් මහා මොග්ගලාන ස්වාමින් වහන්සේගෙන් අසනවා. පින්වත් මොග්ගල්ලානයන් වහන්සේ අද උදෑසන ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ඔබවහන්සේ විසින් එක්තරා ස්ථානයක දී සිනහ පහළ කරනු ලැබුවා. එසේ සිනහ පහළ කරන්නට හේතු වූ කරුණ කුමක්ද? ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, අද උදෑසන මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද යන භූත ඇට සැකිල්ලක් දුටුවා. ඉතින් භූත ගිජුලිහිණියෝ, කපුටන්, උකුස්සෝ ඔය ඇටසැකිල්ල පස්සෙන් පන්නමින් ඉලඇට අතරට කොටනවා. ඒ ඇටසැකිල්ල වේදනාවෙන් කෑගහනවා. එවිට මට මෙහෙම සිතුණා. විශ්මිතයි, පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්ත්වයෙකුත් ඉන්නවානේ. මෙබඳු ආකාර යක්ෂ ජීවිත, මෙබඳු ආකාර ඉපදීමකුත් තිබෙනවා නෙව කියලා.

එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූ සංඝයා අමතා පින්වත් මහණෙනි, දිවැස් තිබෙන, විශේෂ ඤාණය තිබෙන ශ්‍රාවකයන් සිටින නිසා මෙවැනි ආකාර ජීවිත පිළිබඳව දැනීමක් ගැන හෝ දැකීමක් ගැන හෝ සාක්ෂි ඉදිරිපත් කරන්නට පුළුවනි. පින්වත් මහණෙනි, ඔය සත්ත්වයා මා මීට පෙර දුටුවා. නමුත් මා ඒ ගැන ප්‍රකාශ කළේ නොකළේ ශ්‍රද්ධාව නැති අය ඒ කරුණ විශ්වාස නො කරන්නට තිබුණා. යමෙක් මා පවසන දේ විශ්වාස නොකරයි නම් ඔහුට අකුසලයක් සිදුවෙයි. මේ සත්ත්වයා රජගහ නුවරම හිටපු හරක් මරණ මිනිසෙක්. ඔය පුද්ගලයා ඒ පාපයට විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගනණක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේදී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි මේ ආකාරයේ උපතක් ලබා විඳවන්නේ යැයි වදාළා.

එනිසා අප මෙයින් තේරුම් ගත යුතුයි තථාගතයන් වහන්සේගේ අවබෝධය අභියෝගයට ලක් කරන්නට යමෙක් සිතයිනම්, එය ඔහු හෝ ඇයට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතින බවයි.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 25 වනදා සෙනසුරාදා පූර්ව භාග 9.20 ට ලබයි. 26 වනදා ඉරිදා අපරභාග 08.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 26 වනදා ඉරිදාය.


මීළඟ පෝය මාර්තු 05 වනදා ඉරිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]