Print this Article


දුකසේ ගෙවන බියකරු සසර

දුකසේ ගෙවන බියකරු සසර

මිනිසුන් ලෙස ජීවත්වුවත් ගෙවාගෙන ආ සසරේ අප සෑමදෙනාම මිනිසුන් ලෙස උපන් අය නොවේ. අප අනන්තවාර බ්‍රහ්ම, දිව්‍ය, නිරයේ, තිරිසන්, පේ‍්‍රත, අසුර ලෝකවල ඉපද මැරි මැරී පැමිණි අය. නමුත් බොහෝ දෙනෙක් තම තමන්ගේ අතීත කතාව ඒ ආකාරයටයි කියා දන්නේ නැහැ. එයට හේතුව සියල්ල දැනගත්, සියල්ල දැකගත් ලෝකයෙන් එතෙර වූ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය බොහෝ දෙනෙකුට මුණ නො ගැසුන නිසා යි.

සමහරු සිතාගෙන සිටින්නේ මේ ජීවිතය දෙවියන් විසින් මවන ලද දෙයක් බවයි. තවත් කොටසක් ඉපදීම ඉබේ වූ දෙයක් බව විශ්වාස කරනවා. එසේනම් අපගේ චිත්ත සන්තානය පිරිසුදු කර ගැනීම පිණිස සසරෙන් එතෙරවීම පිණිස කළ යුතු හෝ කළහැකි දෙයක් ඉතිරි වන්නේ නැහැ. මොකද ඉබේ හටගත් නිසා ඉබේ සියලු දුක් නැතිවෙන තුරු බලා සිටින්නට සිදුවෙනවා. නමුත් මේ සසර ගමන,මේ දුක පවතින්නේ හේතුවක් නිසා හටගන්නා වූ ඵලයක් වශයෙන් කියා වදාළේ බුදුරජාණන් වහන්සේ පමණයි. මේ සසර ගමනට මේ දුකට හේතුව නැති කළවිට දුක නැතිව යනවා. සසර ගමන සදහටම නතර කරන්නට පුළුවන් කියා බුදුරජාණන් වහන්සේ වදාළා.

සසරේ ආ හැටි

මේ ආකාරයට ඉපිද මැරී යන අපගේ සසර ගමන අද ඊයේ පටන්ගත් එකක් නොවේ. මේ සසර ගමන කොතරම් නම් දීර්ඝ එකක්දැයි කියා දැනගන්න අපට කාලය පිළිබඳ මිම්මක් අවශ්‍යයි. ලෝකයා අද කතාකරන තත්පරය, විනාඩිය, පැය, දවස, සති, මාස, අවුරුදු ලෙස කියන්නේ කාලය පිළිබඳ අප ඇති කරගෙන ඇති මිනුම්. දවස, සතිය කියනවිට ඒ කාලය පිළිබඳ අදහසක් පහළ වෙනවා. සසර පිළිබඳ අදහසක් ඇතිකර ගන්නට අප දැනගෙන සිටිය යුතු මිනුම වන්නේ කල්පයයි. දවසක් ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගේන් විමසා සිටියා “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මේ ශ්‍රී සද්ධර්මයේ කල්පය කියා සඳහන් වෙනවා. කල්පය කියන්නේ කොතරම් ප්‍රමාණයක්ද?” ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළා “භික්ෂුව කල්පයට තිබෙන ආයුෂ මෙතරම් කියා වර්ෂ ගණනකින් කියන්න පුළුවන්කමක් නැහැ”. “එසේනම් ස්වාමිනි, උපමාවකින් දේශනා කරන සේක්වායි” ඒ භික්ෂුව ඉල්ලා සිටියා .

කල්පය කෙතරම් දුරද?

භික්ෂුව යොදුනක් දිග යොදුනක් පළල ගව්වක් උස මහා කළු ගල් කුට්ටියක් තිබෙනවා කියා සිතන්න. (යොදුනක් කියන්නේ සැතපුම් හතක්.) මෙහ පැලීම්, කුහර, සිදුරු කිසිවක් නැති, ස්වභාවික විපතින් විනාශ නොවන කළුගලකි. අවුරුදු සියයකට එක වතාවක් මනුෂ්‍යයෙක් මේ කළුගල් කුට්ටිය සිනිඳු සේදයකින් පිස දමනවා යැයි සිතන්න. ඉතින් මේ ගල් කුට්ටිය අවුරුදු සියයකට එක් වතාවක් සිනිඳු සේදයකින් පමණක් පිස දැමීම හේතුකරගෙන පොළොව තෙක් ඉතිරි නැතිව ගෙවී අවසන් වෙන්නට කොපමණ කලක් ගත වෙනවාද? නමුත් ඒ තරම් ඉක්මනට කල්පයක ආයුෂ ගෙවී අවසන් වන්නේ නැහැයි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

ඒ වගේම අප කල්ප කොතරම් දීර්ඝ ලෙස සසරේ ඉපිද මැරී පැමිණියාද කියා, භාග්‍යවතුන් වහන්සේ උපමාවකින් මෙසේ වදාළා. දඹදිව ගංගානම් නදිය යම් කඳු මුදුනකින් ආරම්භ වෙනවාද සැතපුම් දහස් ගණනක් ගෙවා ගෙන පැමිණ යම් තැනකදී මහා මුහුදට වැටෙනවාද? ඒ ගඟේ පටන් ගත් කෙළවරේ සිට අවසානය දක්වා කොපමණ වැලිකැට සංඛ්‍යාවක් තිබෙනවාද? ඊටත් වැඩි කල්ප ගණනාවක් අප මේ සසරේ ඉපිද මැරි මැරී එන බවයි. මේ නිසා දුර්ලභ බුද්ධ ශාසනයත්, දුර්ලභ මනුෂ්‍ය ජීවිතයත් මුණ ගැසුන අප මෙසේ ඉපදෙන මැරෙන දීර්ඝ සසරේ එතෙර වීමට උත්සාහයක් ගතයුතු නොවේද? නමුත් සසරින් එතෙර වන්නේ ඉතාමත් ටික දෙනයි.

ඒ නිසා ජීවිතය ධර්මය තුළින් ආරක්ෂා කරගන්න ඕන. මේ උතුම් අවස්ථාව අහිමි කරගත් විශාල පිරිසක් නිරයේ ඉපදිලා දුක් විඳිනවා. අද බොහෝ දෙනෙකුට අපාය බයක්, සංසාර බයක් සසරෙන් එතෙර වන්නට වීර්යයක් ඇති බවක් පෙනෙන්නට නැහැ. එයට හේතුව ලෝක සත්ත්වයා මේ ලෝකයේ පවතින ආශ්වාදයටම වසඟවෙලා කාමයන් පසුපස නිනව්වක් නැතිව දිවීම හැර. බොහෝ දෙනෙකු කිසිදු දෙයක ආදීනවයක් දකින්නේ නැහැ. ඇස් පනාපිට ආදීනව ප්‍රකටව තිබුණත් ආස්වාදයටම ඇළුණු සිතෙහි ආදීනව පිළිබඳ සංකල්පයක් උපදින්නේ නැහැ.

මේ සිත ලෝකයේ පවතින ඉෂ්ඨ වූ , කාන්ත වූ ,මනාප වූ පි‍්‍රය ස්වභාවයෙන් පවතින්නා වූ ආසාව උපදවන්නට සමත් සිතේ පිරිසුදු බව කිළිටි කරන්නා වූ ඇසට පෙනෙන රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියන දේට ඇදී යනවා. ඒක ධර්මය අවබෝධ නොකළ සිතක තිබෙන ස්වභාවයක්. ආශාව උපදවන නොයෙක් අරමුණු නිසා අපට සැපක් සොම්නසක් උපදිනවා නම් එයයි එහි ඇතිආශ්්වාදය.

මේ ආශ්වාදයට අප ආශා කරනවා. එයත් ධර්මය අවබෝධ නොකළ සිතක ලක්ෂණයක්. නමුත් මේ ආසාව ඇතිකරන අරමුණු තුළ ඇත්තේ ආශ්වාදය පමණක්ම නොවේ. ඒ තුළ ඒකාන්තයෙන්ම ආදීනවත් පවතිනවා. ලෝක සත්ත්වයාගේ කැමැත්ත ලුහුබැඳ යමින් වෙහෙසීමට පත් වෙනවා. ලෝකයා ආශාව නිසා කෙතරම් වෙහෙසීමට පත්වෙනවාද? යන කාරණය රට්ඨපාල සූත්‍රයේදී කෝරව්‍ය රජතුමා හට රට්ඨපාල ස්වාමින් වහන්සේ වදාළා මහරජ, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වු බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ මහා සාගරයට කොතරම් ගංගා දිය ලැබුණද ඇතිවීමක් නැහැ. ඒ වගේම මේ ලෝක සත්ත්වයා හට කෙතරම් දේ ලැබුණද තෘප්තියට පත්වීමක් නැහැ. අතෘප්්තිමත්.

තෘප්තිමත් නොවන ජීවිත

කෙතරම් දේ ලැබුණත් තෘප්තියකට පත්නොවන, අතෘප්තිමත් ස්වභාවය ගැන දැනගැනීමට හොඳ කතාවක් ජාතක පාලියේ එන මහාමන්ධාතු ජාතකය. බොහෝ පෙර කාලයක මහාමන්ධාතු නම් වූ සක්විති රජ කෙනෙකු චක්‍ර රත්නයට, හස්ථි රත්නයට. අශ්්ව රත්නයට ගෘහපති රත්නයට, පරිනායක රත්නයට, පුත්‍ර රත්නයට හා ස්ත්‍රී රත්නයට උරුමකම් කියමින් වාසය කළා. මේ රජුගේ පුණ්‍ය මහිමයට ඔහු විසින් අත්පොළසන් ගසන කල්හි සත් රුවනක් වැසි වසිනවා. අවුරුදු අසූහාර දහසක් ළමා වියද, අවුරුදු අසූහාරදහක් යුව රජකමෙහිද, අවුරුදු අසූහාර දහසක් සක්විති රජෙකු ලෙසද වාසය කළ මහාමන්ධාතු රජු අතෘප්තිමත්ව සිටියේ. කනස්සල්ලෙන්ම වාසය කළා. එයට හේතුව තමන්ට තිබෙන සම්පත්වලින් සෑහීමකට පත් නොවීමයි. රජුගේ කනස්සල්ල දුටු ඇමැතිවරුන්, කනස්සල්ලට හේතුව විමසූ කල්හි රජු කියා සිටියේ මීට වඩා වැඩි සම්පත් ඇති තැනක රජ කිරීමට තමාට අවැසි බවයි. එවිට ඇමැතිවරු කියන්නේ රජතුමනි, චාතුර්මහාරාජික දෙව්ලොව නම් මීට වඩා සම්පත් තිබෙනවා. එසේනම් මම චාතුර්මහාරාජිකයට යන්නම් කියා මහාමන්ධාතු රජු චක්‍රරත්නයට පැන චාතුර්මහාරාජිකයට ගියා. එහිදී සතරවරම් දෙවියන් විසින් පිළිගත්ත මහාමන්ධාතු රජුට බොහෝ සැප සම්පත් විඳිමින් එහි දෙවියන්ගේ සම්පූර්ණ ආයු කාලයක් සැප විඳින්නට අවස්ථාව උදා වුණා. නමුත් මහා මන්ධාතු රජු කාමයන්ගේන් තෘප්තිමත් වුයේ නැහැ. කනස්සල්ලෙන් කාලය ගතකළා. සතරවරම් දෙවිවරු කනස්සල්ලකට හේතුව විමසූ කල්හි රජු කියන්නේ මීට වඩා සැප ඇති තැනක රජකම් කරන්නට කැමැති බවයි. එවිට දෙවිවරු විසින් රජතුමනි, තව්තිසාවේ නම් මීට වඩා සැප තිබෙනවා. රජු තව්තිසාවට පැමිණියා. එහි අධිපති සක්දෙවිඳුන් විසින් මන්ධාතු රජු සාදරයෙන් පිළිගෙන තමන්ගේ රාජ්‍යයෙන් හරි අඩක් ඔහුට පිරිනැමුවා. සක් දෙවිඳුගේ ආනුභාවයෙන් මන්ධාතු රජු ශරීර ස්වභාවය සක් දෙවිඳුන් හා සම වුණා. දෙදෙනාගේ වෙනසකට ඇත්තේ සක් දෙවිඳුන් ඇසිපිය නොසලන අතර, රජු ඇසිපිය හෙළීමයි. සක්දෙවිවරු තිස්හත් දෙනෙකුගේ ආයුෂ විඳිමින් තව්තිසාවෙහි වාසය කළත් තෘප්තියට පත්වුයේ නැහැ. ළාමක ලෙස ඒ ආකාරයටම සිතුවා.

තිව්ිතිසා දෙව්ලොව භාගයකින් ඇති ඵලය කුමක්ද? ශක්‍රයා මරා මුළු රාජ්‍යයම අල්ලා ගත්තානම් හොඳයි සිතු විගසම ඒ ළාමක සිතිවිල්ල නිසා මන්ධාතු රජු ආයුෂයෙන් , දිව්‍යානුභාවයෙන් පිරිහි බොහෝ වයෝවෘද්ධ කෙනෙකු ලෙස මනුලොව තම මඟුල් උයනෙහි පහළ වුණා. උයන්පල්ලන් මහාමන්ධාතු රජුගේ ආයුෂ ගෙවී ඇති බව දැන ආසනයක් පනවා විගසින් ගොස් අමාත්‍යවරුන්ට එය දන්වා සිටියා. රජතුමනි, ඔබ වහන්සේ කළුරිය කළ කල්හි අප ලෝකයාට ඒ ගැන කුමක් කිවයුතුද? කියා ඇසුවා. එවිට රජතුමා පැවසුවේ ශක්‍රයන් තිස්හත් දෙනකුගේ ආයුෂ වළඳමින් සුර සැප වින්ඳා. ඒත් මම තෘප්තියට පත්නොවි තණ්හාවේ වසඟයට පත්ව ආයුෂ පිරිහි කළුරිය කළ බව මාගේ ජනතාවට කියන්නැයි කියා මෙලොවින් සමු ගත්තා.

එහෙනම් මේ ලෝක සත්ත්වයා කාමයන්ගේ තෘප්තිමත් නොවන බවත් , කොතරම් ආසාකරන දේ තමාට ලැබුණත් ඇතිවීමක් නොමැති බවත් කෙතරම් සත්‍යයක්ද? එනිසා නිමක් නොමැති ආශාවන් පසුපස දුවන්නේ නැතිව ගෞතම ශාසනයේ සැබෑම පිළිසරණ ලබන්නට උත්සාහ කරමු.