Print this Article


සන්සුන් සිතින් විඳිය යුතු සුන්දරත්වය

සන්සුන් සිතින් විඳිය යුතු සුන්දරත්වය

මෙම ලිපියෙහි කොටසක් නවම් පුර පසළොස්වක පොහෝ දින (පෙබරවාරි 10) පත්‍රයේ පළවිය.

ආදරණීය දුවගෙ,පුතාගෙ ප්‍රශ්නයට විසඳුමක් අපට සොයන්න වෙනවා. අප එම ප්‍රශ්නය විසඳිය යුතු වුවත්, එය මනසට වද දෙමින් තබාගත යුතු ප්‍රශ්නයක් නොවෙයි. සිතින් දුක් විඳින්න අවශ්‍ය නම්, කොතරම් දේවල් ප්‍රමාණයක් ගෙදර අවට තිබෙනවාද? වද විඳින්න ඕනෑම නම්, කුස්සියෙහි කෙතරම් ප්‍රශ්න තිබෙනවාද? එම නිසා සිත නරක් කරගත්තාට තමාට වාසියක් සිදුවන්නේ නැහැ.

සිත හදාගන්න, සිත සන්සුන් කරගන්න, සිත යමිකිසි ආකාරයක සන්සුන් ස්ථානයකට රැගෙන එන්න කෙතරම් දේ අප සතුව පවතිනවාද? රසයක් විඳිනවා නම්,සැම දෙයකම විඳිය හැකි රසයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වනාන්තරයට වැඩම කළා. රමණීයානි අරඤ්ඤානි. වනාන්තරය කෙතරම් ලස්සනද?කවුරුන් හෝ අයෙකු මෙම වනාන්තරයෙහි රස විඳගන්නේ නැත්නම්,අපරාධයක් .වීතරාගා රමෙස්සන්ති .රාගය නැති මිනිස්සු මේ වනාන්තරයට ඇලෙයි.ඒ තුළින් කාමය සොයන්නේ නැහැ. ලස්සන දෙයක් ලස්සනයි කියා විඳගැනීමට තරම් මිනිස්සුන්ගේ සිත පියකරු නම්,සමනලුන් දෙස බැලිය හැකි නම්, සමනලුන් කෙතරම් ලස්සනද?වනාන්තරයෙහි බවුන් වඩන්න ගිය යෝගාවචරයන් එම ගුණ රුව වින්ඳා. එම අසිරිය අත්දැකීමක් ලෙස විඳගනු ලැබුවා. නිවන් දැකීමට එම පරිසරය බොහෝ සේ පාදක වුණා. වනාන්තරයට ගිය ඇතැම් තෙරණින් වහන්සේලා, තෙරුන් වහන්සේලා වනාන්තරයෙහි තිබූ බොහෝ දේ දෙස ඉතාම ලස්සනට බලාගෙන සිටියා. ගසක් සුළගේ වැනී පැද්දෙන විට හරිම ලස්සනයි. හමාගෙන එන සුළඟට ගැලවුණ මලක් සුළඟින් කැරකිලා උඩට යන ආකාරය බලාගෙන සිටින්න ලස්සනයි. ලස්සන අත්විඳිනවා නම්,ලස්සන අත්විඳින්න සූදානම් නම්,වැස්ස කෙතරම් ලස්සනද?වයස අවුරුදු හතර පහ තරම් පුංචි කාලයට ගමන් කරනවා නම්,වැස්ස වෙලාවට ගෙදර පිල්කඩ ළඟට ඇවිත් වතුර වැටෙනවා බලාගෙන සිටියා මතකද?චොර චොර ශබ්ද නඟිමින් වතුර බිංඳු බිමට වැටෙනවා. වැටෙන වැටෙන වතුර බිංඳුවෙන් දිය බුබුලු හැදෙනවා. එම දිය බුබුලු ලස්සනට ගලාගෙන යන ආකාරය දෙස අපි බලාගෙන සිටියා මතකද?කඩදාසි කොළ ඔරුවක් හදා අපි එම වතුරෙහි පා කළ හැරියා මතකද? එම කාලය තුළ සිතට කුමන බරක් දැනුණාද?එම කඩදාසි ඔරුව පාවෙලා පාවෙලා යන ආකාරය ආසාවෙන් බලාගෙන සිටියා. එම ඔරුව පෙරලෙන ආකාරයත් ඔරුව ගසාගෙන යන ආකාරයත් අප විසින් අත්දකිනු ලැබුවා. අයියයි නංගියි තරඟෙට ඔරු හැදුවා. එම මනස කෙතරම් පියකරුද? මහා ඝන රාත්‍රියට ගුලිවෙලා නිදාගත්ත දවසක් මතකද?හෙණ ගහන කොට, හෙණ හඬ වදිමින් පුපුරා යන කොට , අම්මට තුරුළු වෙමින් බයෙන් නිදාගත් දවසක් මතකද?ඒ ගිනි ගහන විදුලියේ විද්යුත් ලතාව දකින්නත් අපි එළියට එනවා. එය මුළක් වගේ ආකාශයේ පුපුරා යන හඬ හරිම භයංකාරයි. ඒත් එය දෙස බලාගෙන රස වින්ඳ අය සිටිනවා. අපිත් එම රසය වින්ඳා. හැන්දෑවට ආකාශය දෙස බලාගෙන ඉර බහින ආකාරය පෙන්වපු තාත්තලාගේ අම්මලා ගේ තුරුල්ලටවෙලා අපි ඉර මහා විශාල රත්තරන් තැටියක් වගේ ආකාශයෙන් ටික ටික බැහැගෙන යන ආකාරය බලාගෙන රස වින්ඳා. උදේ නැගිටින විට ඒ තැටියම අනෙක් පැත්තෙන් උඩට නැග එන අයුරු බලා රසවින්ඳා. ආකාශයේ කොක් රෑනක් පියාඹන ආකාරයත් එම කොක් රෑන ලස්සන පේළියකට පියාඹන්නේ කොහොමඳ කියලා අපි ප්‍රශ්න කළා. එම ආකාශයෙහි කිසිවක් නැති අවස්ථාවක තද නිල් පාටට තිබෙද්දී අහස ඒතරම් නිල් ඇයි කියලා අපි බැලුවා.ටික වෙලාවක් යන විට සුදු පාට පුළුන් වගේ වළාකුළු එනකොට එම වළාකුළු ඝනීභවනය වන බවවත් ඒවා ජලය වන බවවත්,එය මහා මේඝය බවවත්,එය කලු වන්නේ ජලාශ්‍රිත ඝනත්වය නිසාවත් එය මහා ඝන වැස්සක් සේ නැවත වසින බවවත්, කියන ජලචක්‍රයේ පාඩම පාඩමක් වශයෙන් ඉගෙන නොගත් කාලයේදීත් එම රසය අත්වින්ඳා. ගලවා ගත් පැළයක මුල් අතු දිහා බලාගෙන සිටි අපි පැළයක රසය වින්ඳ ආකාරය මතකද?

ගෙදර බිත්තියක චුටි සිදුරකින් එන කූඹි රෑන එකා පිටුපස එකා හාල් ඇටයක් රැගෙන පේළියට යන ආකාරය අපි බාලාගෙන සිටියා. පෙරහැරක් වගේ නේද? අයියේ කියමින් අයියාට කිවුවා. අයියා එම පෙරහර කඩන්න හදනකොට පව් අයියේ කියලා අපි කිව්වා. එම සැම දෙයකම කිසියම් රසයක් අපි අත්වින්ඳා. චුටි කාලයේ දොර පලුවට හරි මේසයට හරි අතින් ඩෝල ගහල ඒකෙනුත් ගීතයක් ගායනා කරමින් රස වින්ඳා.සමහර අවස්ථාවල කෑම කාපු පිඟාන සෝදල රැගෙන එන ටික වෙලාවට එම පිඟානෙන් ඩෝල ගසමින් සිංදු කියන විට අම්මාගෙන් තාත්තාගෙන් බැණුම් ඇහුවා.පිවිතුරු මනසකට ආස්වාදය විඳින්න හැම දෙයක්ම ප්‍රමාණවත්. මල් වට්ටියක් දෙස බලාගෙන එහි රසය කෙතරම් වෙලාවක් විඳගත හැකිද? අපේ ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේගේ ලීයෙන් නෙළු පිළිමය, අවුකන බුදුපිළිම ආකෘතිය , අවුකන බුදුපිළිම ආකෘතියෙහි තිබෙන සිවුරු රළ දිහා බලාගෙන එම රැළිවල හැඩය සමානුපාත බව ගණිතමය ස්වභාවය දෙස කෙතරම් වෙලාවක් බලාගෙන සිටිය හැකිද?නිවන් දැක්ක බොහෝ දෙනෙක් නදියක් ගඟක් ඇළක් දොළක් ළඟට ගිහිල්ලා ගලාගෙන යන දිය පහර දෙස බලාගෙන ඉඳලා එම දිය දහර කෙතරම් ලස්සනට කෙතරම් විනීතව ගලාගෙන යනවාද ? සර සර හඬින් හැඩවෙනවාද?පෙණ බුබුලු දමනවාද?සුළිය ඇතිවන්නේ කෙසේද?යනුවෙන් ඒ දෙස බලාගෙන මහා ආස්වාදයක් වින්ඳා. සිත ගිනිගත් වෙලාවට කරනවා නම්, කරන්න කෙතරම් වැඩ තිබෙනවාද?

පුතාගෙ දුවගේ වචනයකට සිත රිදුන අවස්ථාවක ආකාශය දිහා බලාගෙන සිට සිත හදාගන්න පුළුවන්නෙ.හමාගෙන යන සුළං පොදක් ද එම සුළඟට ගසාගෙන යන රොඩු කන්දරාවත්, ගහකින් ගිලිහිලා සුළගට ගසාගෙන යන කොළයකුත් දෙස බලාගෙන මගේ සිතට දුව හෝ පුතා නිසා පැමිණුන මේ නරක සිතිවිල්ල ඒ ආකාරයට ගසාගෙන යන්න බැරිද? යනුවෙන් සිතන්න බැරිද? සිත ගිනි ගත් වෙලාවට සිතෙහි සන්සුන් බව ඇතිකර ගැනීමට වතුර බිඳත් ප්‍රමාණවත් වෙයි. එම නිසා ජීවිතය නිවී සැනසෙන්න පුළුවන්. නිවී සැනසෙන්න බොහෝ තැන්වලට නොගියත් අපට පෙනෙන්න තිබෙන හැම දෙයකම ලස්සනක් තිබෙනවා. තමා ළඟ තිබෙන මේසය ලස්සනට පිළිවෙලට තබාගෙන රස විඳිින්න බැරිද? කනගාටු වෙනවා නම් , කෙස් රොදක් දෙස බලාගෙන මේ කෙස් රොද කලුවට තිබුණාට සුදු වෙලා කියා කනගාටු විය හැකියි. සතුටු වෙන්න ඕනම නම්, මේ කලුවට තිබුණ කෙස් රොද දැන් සුදුයි කියා සතුටු වෙන්න බැරිද?කවුරුන් හෝ කලුවට වඩා සුදු හොඳා කියා හෝ සුදුවට වඩා කලු හොඳා කියු නිසා මිසක්,ඇත්ත ඇති සිටියෙන් ඒ දෙස බැලු විට පුංචි හැඩයක් ඒ තුළින් මවාගන්න බැරි කමක් නැහැ. එම නිසා ආලෝකයේ සුන්දරත්වය අත්විඳින ගමන් කරුවලේ සුන්දරත්වයත් අත්විඳින්න පුළුවන්.

මලක් අරගෙන එය කඩමින් එම මල හැදී තිබෙන රටාව,මලේ පෙති පිහිටා ඇති රටාවත්, පෙති නටුවට එක් තැන් වී ඇති රටාවත් කිසියම් ආකාරයක රටාවන් වෙයි. මිදුල අතුගෑමට පෙර මිදුල පුරා කොළ වැටී තිබෙන රටාව දෙස බලන්න. අතුගා අවසන් වු පසු මිදුලෙහි රටාව දෙස බලන්න. වැස්ස ඉවර වූණාට පසුව පරඬැල් කොළ ගසාගෙන ගොස් රැඳී තිබෙන රටාව බලන්න. මොකක්දෝ ලස්සන රටාවකට ඒවා ගලාගෙන ගොස් තිබෙන බව පෙනේවි. වීතරාගීන් හැම දෙයකින්ම කිසිවෙකුට නොපැමිණි ප්‍රසන්නතාවක් සිතෙහි ඇති කරගනී. ලස්සන දෙයක් ලස්සනයි කීමත් එම ලස්සන දෙයකට ඇලීමත්, දෙකක් මිස එකක් නොවෙයි. අහන සිංදුව හරිම ලස්සන විය හැකියි. එයට ඇලි ගැලී ආදරය කිරීම නිවනට අදාළ නැහැ. එම සිංදුව මිහිරී බව දැකිය හැකිිය. යමක් දැක එය සතුටුයි හොඳයි කියා සිතීමත් එයට ඕනෑවට වඩා ප්‍රමාණයකින් බැඳිමත් කාරණා දෙකක් වෙයි. අලි බලන වෙලාවට අලි හරිම ලස්සන බව පෙනුනත් හෙණ්ඩුව අරගෙන ගිහිල්ලා අලියා පාලනය කිරීමට අපට සිතෙයිද?අලි බලන්නේ අතට අරගෙන නොවෙයි. සමනල්ලු බලන්නේ අතට අල්ලාගෙන නොවෙයි. සමනලයා බැලු පමණට අතට ගන්න අවශ්‍ය නැහැ. අලියා බැලු පමණට හෙණ්ඩුව ගැනීමට අවශ්‍ය නැහැ. එම නිසා පාරේ යන විට නෙක විසිතුරු සොඳුරු දසුන් දැක මනා වූ සිතක් ඇතිකර ගත්තාට කමක් නැහැ . පස්සෙන් යෑම පලක් නැහැ.

එම නිසා හැම දෙයකම සුන්දරත්වය සුන්දරත්වයසේ අත්දකින්න පුළුවන්. ආකාශය වහින්න ආසන්නයේ කලුවර කරමින් සිටින වෙලාවෙදී කොක්කු රෑනක් යන දෙස බලාගෙන සිටි තෙරණින් වහන්සේලා එහි ලස්සන දිහා බලාගෙන කවි කිව්වා. ඒවා ථේර ගාථා ලෙස හැඳින්වුවා. ධනියගෝපාල කන්ද උඩට නැගලා හෙණ ගහන වැස්සේ මහා පුදුමාකාර බියකරු විදුලි හඬත් මැද හොඳට වැහැපන් පි‍්‍රයංබිකාව ගෙදර . ගෙදර කෑම උයල හරක් ගාල් කරල තිබෙන්නේ . යනුවෙන් කඳු මුදුනට ගොස් කියාපු කියවිල්ල ධනේශ්වර සිතිවිල්ලක් නොවෙයි. ආත්මතෘප්තිය උදෙසා කියවන ලද කියවිල්ලක්. භාව ගීතයක් .එම නිසා සිත අර්බුද,ගැටලු, ප්‍රශ්න වලින් වෙළිලා වෙළිලා ඕනෑම නම්,දුක්ම විඳලා විඳලා ප්‍රශ්න හොයලා හොයලා අර්බුද ඇතිකරලා පුළුවන් තරම් ගැට ගහලා ගහලා ප්‍රශ්න ඇති කරලා ප්‍රශ්න මවලා මියැදෙන්න පුළුවන්. එහෙම නැත්නම්, මේ සියල්ලෙහිම ආස්වාදය විඳලා විඳලා සතුටින් හුස්ම පිටකරන්න පුළුවන්. නිදහසේ දෑස් පියාගන්න පුළුවන්. අප කළ යුත්තේ කුමක්ද ? කියා තෝරාගන්න පුළුවන්. එම නිසා සන්සුන් මනස හරිම වැදගත්. පියකරු සිත හරිම වැදගත් . මනස්කාන්ත අත්දැකීම් හරිම වැදගත්. ඒ සියල්ල දෙස ආස්වාදයෙන් දැකිය හැකි නම්, සන්සුන් සිතින් සහ පින්බර මුහුණකින් සැමදාම සිටිය හැකියි. නිවන් දකින්න පුළුවන්.