Print this Article


මැදහත් සිතින් ජීවිතයට මුහුණ දෙමු

මැදහත් සිතින් ජීවිතයට මුහුණ දෙමු

ප්‍රශංසා මිස අපකීර්තිය ලබන්නට, අනුන්ගේ දොස් අසන්නට කිසිවෙක් කැමැති නැත. අනුන් දොස් සොයන්නට හුරු පුරුදු වූ මිනිසුන් අතර එවැනි බලාපොරොත්තුවක් ඇති කර ගැනීමද ඵල රහිතය. එහෙත් කැමැති දේ හමුවේ සිතේ ආඩම්බරයක් සතුටක් ඇතිකර ගැනීමත්, අකැමැති දේ හමුවේ දුකට, අසහනයට, පීඩාවට පත්වීමත් සාමාන්‍ය මිනිස් ස්වභාවය වන්නේය.

මේ ලෝකයෙහි ජීවත්වන පුද්ගලයාට නියත වශයෙන්ම මුහුණ දෙන්නට සිදුවන ධර්මතා අටක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. එනම් ලාභ, අලාභ ,යස, අයස, කීර්ති, ප්‍රශංසා, සැප, දුක යන ධර්මතාවන්ය. මේ ධර්මතා අට හමුවේ දුකට, අසහනයට, පීඩාවට පත්වීම මෙන්ම අනවශ්‍ය ලෙස උද්ධාමයට පත්වීමද බුදු දහම ප්‍රතික්ෂේප කරයි.

සාමාන්‍යයෙන් ජීවිතයේ වැඩි වශයෙන්ම මුහුණ දෙන්නට සිදුවන්නේ නින්දාවට ය. ප්‍රශංසාව හිමිවන්නේ කලාතුරකින් ය. තමන් ප්‍රශංසාව බලාපොරොත්තු වුවද, තවත් කෙනෙකුට එය ලබා දෙන්නට බොහෝ අය අකැමැතිය. නින්දා නොකළ යුතු තැන පවා අභිරුචියෙන් ඊට සහභාගි වන්නෝ ඇත. එහෙත් අනුන්ට නින්දා ගෙන දෙන්නෝ එහි පාපය, අනර්ථය සුළුකොට නොතැකිය යුතුය. ප්‍රශංසාව යම් මානසික සුවයක් ගෙන දුන්නද, ජීවිතයට වැඩි බලපෑමක් ඇති කරන්නේ නින්දාවය. ලැබූ කීර්ති ප්‍රශංසා පිළිබඳ සැනසිලිදායක මානසිකත්වය, සතුට ටික දිනකින් මැකී යයි. නින්දාවේ අහිතකර ඵල ජීවිත කාලය පුරා, ඇතැම්විට පරම්පරාවෙන් පරම්පරාවට පැමිණෙමින් මානසික තැවීම් ඇති කිරීමට පුළුවන. අනෙක් අතට නින්දා ලබන බොහෝ දෙනෙකුට එය දරා ගැනීමට තරම් මානසික ශක්තියක් නොමැත. මේ නිසාම ඇතැම් අය කලකිරීමට පත්වී ජීවිතයෙන් පලායාමට උත්සාහ කරන අවස්ථා බොහෝය.

මේ ප්‍රශ්නයට අපූර්ව විසඳුමක් බුදු දහමින් අපට උගන්වයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ මේ ලෝකයේ තනිකරම නින්දා ලැබූ හෝ ප්‍රශංසා ලැබූ හෝ කෙනෙක් අතීතයේ නොවූ බවය. වර්තමානයේ ද නැති බවය. මතුද නොවන බවය. ඒ බව හොඳින් ධාරණය කොට නින්දාව ඉදිරියේ පීඩාවට පත්ව මනසින් දුර්වලවීම වෙනුවට අප කළ යුතු වන්නේ එය තාවකාලික බව දැන ඉවසා සිටීමය. අද නින්දා කරන අය හෙට ප්‍රශංසා කළ හැකි බව, අද ප්‍රශංසා කරමින් සමීපයේ සිටින්නා හෙට නින්දා කරමින් දුරස්විය හැකි බව සිතීමය. මේ තාවකාලික ලෝකයේ සියල්ල වෙනස්වන බව, ස්ථිර කිසිවක් නොවන බව සිතීමය. ඒ වගේම නින්දා ලැබෙන දේ නොකර සිටීමය. වරදක් කළේනම් වහාම නිවැරැදි වීමය.

වරදක් නොකළද, අන් අය විවිධ බලාපොරොත්තු, අරමුණු වෙනුවෙන් අපට නින්දා ගෙන දීමට පුළුවන. එවැනි අවස්ථාවක ඉවසා සිටීම ඉතා වැදගත්ය. අනවශ්‍ය ලෙස නිවරැදි බව පෙන්වීමට යාම තවත් ගැටලු ඇති කිරීමට පුළුවන. සුන්දරී පරිබ‍්‍රාජිකාවගේ මරණය නිසා බුදුරජාණන් වහන්සේට සහ ශ්‍රාවකයන් වහන්සේට තීර්ථකයෝ බොහෝ නින්දා අපහාස කළහ. උන්වහන්සේ ඒ නින්දා අපහාස ඉදිරියේ නොසැළී සිටියහ. තැවීමට, දුකට පත් නොවූහ. ටික දිනකින්ම සත්‍ය හෙළිවිය. නින්දා ප්‍රශංසා බවට පත්විය.

ජීවිතය යනු අභියෝගයකි. ඇතිවෙමින් වෙනස්වෙමින් යන සියල්ල හමුවේ පීඩාවට, දුකට පත් වූයේනම්, ජීවිතය පිළිබඳ කළකිරීම් මිස සැනසීමක් ඉතිරි වන්නේ නැත. දෛනික කටයුතු අඩාලවීම, ජීවිතය අසාර්ථක වීම හැර දියුණුවක් ලද හැකි වන්නේද නැත. මේ නිසා බුදුදහම අනුව මධ්‍යස්ථ සිතින් අටලෝ දහමට මුහුණ දෙමින් ජීවිතය සාර්ථක කරගත යුතුය.