Print this Article


දෙමහල් ධර්ම මන්දිරය 20 වනදා ජනාධිපතිතුමා අතින් විවෘත කෙරෙන අමුගොඩ ජයසුමනාරාමය

දෙමහල් ධර්ම මන්දිරය 20 වනදා ජනාධිපතිතුමා අතින් විවෘත කෙරෙන අමුගොඩ ජයසුමනාරාමය

ජගත් සබඳතාවයේ ප්‍රතිඵලයක්

අමුගොඩ ජයසුමනාරාම මහා විහාරස්ථානයට ඇත්තේ දීර්ඝ කාලීන ඉතිහාසයකි. එය යටත් විජිත යුගය දක්වා දිව යයි. මෙය ශ්‍රී ලංකාවේ ශාසනවංශ කථාවේ ,අමරපුර භික්ෂු වංශයේ ඕමත්තේ අභයතිස්සාභිධාන මහ නාහිමියන්ගෙන් බිහිවූවකි. සබරගමුවේ පමණක් නොව ඌව පළාතේ ද අමරපුර භික්ෂු වංශයේ ආරම්භය උන්වහන්සේගෙන් සිදුවී ඇත.

එවන් ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේ නමකගෙන් ඇරඹුණු අමුගොඩ ජයසුමනාරාමයේ වත්මන් විහාරාධිපති පදවිය උසුලනු ලබන්නේ අමරපුර මහා නිකායේ, එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ අනුනායක ධුරන්දර අමුගොඩ සෝමරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ පාලන කාලය තුළ විහාරස්ථානයේ දියුණුව සඳහා කළ කැප කිරීමත්, රටට වැඩදායි ශිෂ්‍ය පිරිසක් සසුනට දායාද කිරීම නිසාත්, අමුගොඩ ජයසුමනාරාමය ලෝක පූජිත විහාරස්ථානයක් බවට පත් වී ඇත.

ඒ සඳහා පුරෝගාමී යුග මෙහෙවරක් ඉටු කරන ලද්දේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරි අමුගොඩ සෝමානන්ද නාහිමියන්ය. උන්වහන්සේ විසින් ගොඩනගා ගත් ජාත්‍යන්තර සම්බන්ධතාවය නිසා උන්වහන්සේ මෙන්ම විහාරස්ථානය ද ලෝක පූජිත වී ඇත. අද දින සසුනට පිදෙන අභිනව ධර්ම මන්දිරය දකුණු කොරියාවේ යක්ෂසා මහා විහාරස්ථානය මූලිකව ඉදි වූයේ ,එම ජාත්‍යන්තර සබඳතාවයේ ප්‍රතිඵලයක් වශයෙනි.


පෞරාණික විහාරස්ථානයක්

මෙම විහාරස්ථානය 1896 දී සබරගමු අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ, එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක පදවිය හෙබැ වූ ඕමත්තේ අභයතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුදැනුමින් ආරම්භ වීමෙන් පසු පාතමුල්ලේ පඤ්ඤාරතන නාහිමි, ඇල්පිටියේ සිරිසුජාත නාහිමි, තලගස්පේ පඤ්ඤාසෝම යන නාහිමිවරුන්ගේ විහාරාධිපතිත්වය යටතේ බෞද්ධ පිරිස් අතර ගෞරවාදරයට හා පූජනීයත්වයට දිනෙන් දින පත්වන්නට විය. එම ගෞරවය අඛණ්ඩව පවත්වාගෙන එමින් වත්මනෙහි ශ්‍රී ලංකා අමරපුර ,එක්නැළිගොඩ පාර්ශ්වයෙහි අනුනායක ධුරය හොබවන ආචාර්ය අමුගොඩ සෝමරතනාභිධාන අනුනාහිමියන් දකුණුලක එකළු කරමින් විහාරාධිපති පදවිය හොබවති.

විහාරස්ථානය දියුණු කිරීමේ කාර්යයෙහි නිරතව සිටින විහාරාධිකාරි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියන් දක්ෂ ක්‍රියාශීලි හිමිනමකි. එහි සාන්දෘෂ්ටික ප්‍රතිඵලයක් ලෙස ස්වකීය විහාරස්ථානය මැනවින් සංවර්ධනය කිරීමට උන්වහන්සේ සමත්වී තිබේ. ශී‍්‍රමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමෙහි නියෝජ්‍ය ලේඛකාධිකාරි වශයෙන් ක්‍රියාශීලිව කටයුතු කරන අප හිතෛෂී සෝමානන්ද නාහිමියන්ගේ මඟපෙන්වීමෙන්, ධෛර්යයෙන් හා කැපවීමෙන් විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදි කරන ලද’කොරියන් ජාතික සොක් ඉන් වොං නාහිමි සහ තලල්ලේ ධම්මාලෝක අනුනාහිමි අනුස්මරණ දෙමහල් ධර්ම මන්දිරය “විවෘත කිරීමේ අවස්ථාව අගය කරන අතර, මෙය විහාරස්ථානයෙහි සුවිශේෂී අවස්ථාවක් ලෙසත්, කෘතවේදී පූජෝපහාරයක් ලෙසත් අපි සලකමු.


ශාසනික යුග මෙහෙවරකි

අමුගොඩ ජයසුමනාරාම පුරාණ විහාරස්ථානය විසින් ගෙවී ගිය කාලය තුළ, සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉටු කර ඇත්තේ අති උදාර ශාසනික යුග මෙහෙවරකි.

ශ්‍රී ලංකා අමරපුර භික්ෂු වංශයේ අමරණීය මහා සංඝ පීතෘන් වහන්සේ නමක් වූ, සබරගමු අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ, එක්නැළිගොඩ පාර්ශ්වයේ මහානායකව වැඩ විසූ අපවත් වී වදාළ, ඕමත්තේ අභයතිස්සාභිධාන මහ නා හිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානය ඉදිකරවමින් එහි ප්‍රථම විහාරාධිපති පදවියට පත් වී ඇත. උන්වහන්සේගෙන් ඇරැඹුණු අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරාධිපති සඟ පරපුරේ වත්මන් ආධිපත්‍ය අමුගොඩ සෝමරතනාභිධාන අනුනායක ස්ථවිරයපාදයන් වහන්සේ උසුලන අතර, කාලයක් විහාරාධිපති පදවියේ කටයුතු කරමින් උන්වහන්සේ ඉටුකරන ලද්දේ ප්‍රසංසනීය සේවයකි.

උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නය වූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ,ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියන් විසින් ඉටුකරනු ලබන ජාතික මෙන්ම ජාත්‍යන්තර සේවයද මෙම විහාරස්ථානයේ දියුණුවට ඉමහත් ශක්තියක් වී ඇත. කොරියාවේ යක්සෂා මහා විහාරස්ථානය මූලිකව, අමුගොඩ ජයසුමනාරාමයේ ඉදි වූ ධර්ම මන්දිරය උන්වහන්සේගේ විදේශ ධර්මදූත සේවාවේ ප්‍රතිඵලයක් ලෙස හඳුන්වා දිය හැකිය. ධර්ම මන්දිරය සසුනට පූජා කිරීම සඳහා ශ්‍රී ලංකාවට වැඩම කරවන දකුණු කොරියාවේ යක්ෂසා මහා විහාරාධිපති, හා යෝරේ බුද්ධ නිකායේ මහානායක ස්ථවිරපාදයන් වහන්සේටද විහාරාධිකාරි නායක ස්ථවිරපාදයන් වහන්සේ ඇතුළු කොරියන් දූත පිරිසට මගේ සුබ පැතුම් පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමි.


විහාරස්ථානයට ආලෝකයක්

ඇල්පිටියේ අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරස්ථානයේ දෙමහල් ධර්ම මන්දිරය විවෘත කිරීම පිළිබද අපගේ සුභාශිංසන සතුටින් පළ කෙරේ.

අවුරුදු 121 ක් දුර ඉතිහාසයක් ඇති මේ විහාරස්ථානය ආරම්භ කළ ඕමත්තේ අභයතිස්ස මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කලක්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක පදවිය හෙබවූහ.

1886 සිට 1955 දක්වා විහාරාධිපතීන් වහන්සේලා හතර නමක් වැඩ සිටි අතර වර්තමාන විහාරාධිපති, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ අනුනායක, ආචාර්ය අමුගොඩ සෝමරතන නාහිමිපාණන් වහන්සේ 1955 සිට අවුරුදු 63 කාලයක් විහාරස්ථානයේ දියුණුව සලසා ඇත.

කොරියන් ජාතික සොක් ඉන් වොං මහනාහිමි හා තලල්ලේ ධම්මාලෝක නාහිමි දෙනම අනුස්මරණය කිරීම සඳහා මෙම දෙමහල් ධර්ම මන්දිරය ඉදිකර ඇත.

අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහාවිහාරයේ වර්තමාන විහාරාධිකාරි පණ්ඩිත ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මහා ස්ථවිරයන් වහන්සේ මෙම ධර්ම මන්දිරය කොරියාවේ යක්සෂා විහාරාධිපතිව සිටි සොක් ඉං වොං මහා නාහිමිගේ හා කොරියන් ජාතික දානපති පිරිසකගේ සහයෝගය ලබා ඉදිකරවා ඇත. එයින් විහාරස්ථානයට විශාල ආලෝකයක් ලැබී ඇත.

තෙරුවන් සරණවේවා


පන්සලට ආලෝකයක්

අමුගොඩ ජයසුමනාරාමය 1896 දී අමුගොඩ අමාරිස් සිල්වා මහතා ප්‍රධාන ගම්වාසීන් විසින් ආරම්භ කොට ඇත. ගනේගොඩ රාජමහා විහාරධිපතිව වැඩ විසූ, අපවත් වී වදාළ ඕමත්තේ අභයතිස්ස මහා නාහිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් පසු පන්සල උන්වහන්සේට භාර දී ඇත. එතැන් පටන් 1899 වර්ෂය අවසන් වන තුරු මෙහි වැඩ සිටියේ උන්වහන්සේගේ ශිෂ්‍යවර පාතමුල්ලේ, පඤ්ඤාරතන නාහිමිපාණන් වහන්සේය.

අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ ඇල්පිටියේ සුජාත නාහිමියන් පාලනය භාරගෙන ධර්ම ශාලාවක් සහ කාමර පහක් ශාලාවට යා කොට තනා, විහාරය දියුණු කොට ඇත. ඇල්පිටියේ සුජාත නාහිමියන්ගේ කාලයේදි වැලිතර ඤාණරතන නාහිමියන් වැලිතර සිට ගෙන්වා ගැනීම ජයසුමනාරාමයේ දියුණුවට හේතු විය.උඩමලුවේ තුන්මහල් විහාරයක් 1925 දී ආරම්භ කොට ඇත. එහි මැද 18 රියන් පිළිම වහන්සේ නමක් ඉදිකොට මුල සිට අවසානය දක්වා බුද්ධ චරිතය නිර්මාණය කර ඇත.

අනතුරුව මිහින්තලය, නිර්මාණය කර දසකය, බක බ්‍රහ්ම දමනය,දේවාරාධනාව, සච්චක දමනය, අංගුලිමාල දමනය යනාදි නා නා චරිත නිර්මාණය කර සෝබමාන කොට ඇත. එය ඇල්පිටියේ සුජාත නාහිමියන්ගේ කාලයේ සිදුවිය. 1939 දී තල්ගස්පේ පඤ්ඤාසෝම නාහිමියන් විහාරාධිපති පදවියට පත් විය. උන්වහන්සේ විසින් ලැගුම්ගෙයක් තනා, පන්සල ආලෝකමත් කරන ලදී. 1955 දෙසැම්බර් මස 19 වැනි දා, තල්ගස්පේ පඤ්ඤාසෝම නාහිමියෝ අපවත් වූහ.

1955 සිට 1963 දක්වා අපේ‍්‍රල් මස 10 වැනි දා විහාරාධිපති ධූරය ගැන නීතිමය කි‍්‍රයාමාර්ග විය. එය සෝමරතන නාහිමියන් ජයග්‍රහණය කරන ලදී. පිනිකහනේ පඤ්ඤාරාම හිමියන් විසින් දායක මහතුන් ආධාරයෙන් එය කරන ලදී. ගමේ ජනතාවගේ ආගමික වැඩ කරමින් උඩමළුවේ ධර්ම ශාලාවක් තනා වැඩ කළ අතර, පාළුවට ගිය විශාල විහාරය අලුත්වැඩියා කොට අලුතින් පිරිනිවන් මංචකය , දුෂ්කර ක්‍රියාව බැඳ විහාරය පිරිසුදු කොට විහාරය දැකුම්කළු බවට පත් කරන ලදී.

පැවිදි කළ ශිෂ්‍යවරයන් වහන්සේ අතරින් තුන්නමක් වැඩ සිටිති. එනම් රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති සාහිත්‍යසූරි අමුගොඩ සෝමානන්ද නායක ස්ථවිරයන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති , ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමිපාණන් වහන්සේ, අමුගොඩ ජයසුමනාරාමයේ වැඩ සිට දැනට බානගල පිරිවෙනේ උගන්වමින් තලගස්පේ ජයවර්ධනාරාමයේ වැඩ වසන ගෞරව ශාස්ත්‍රවේදී පිටිගල සෝමාලංකාර හිමිපාණන් වහන්සේ ඒ අතර වේ.

අමුගොඩ සෝමානන්ද නාහිමියන් විසින් අමුගොඩ ජයසුමනාරාමයේ ඉතා වටිනා දෙමහල් ධර්ම ශාලාවක් තැනු අතර, ඉතා වටිනා දෙමහල් සීමා මන්දිරයක්ද තනා පන්සල අලංකාර කොට ඇත. ඒ ගැන අමුගොඩ ජයසුමනාරමයේ දායක සභාවත්, විහාරාධිපති ලෙස මමත් උන්වහන්සේට තුනුරුවන්ගේ පිහිට ලැබේවා යි පතමු.


ශාසනික සේවාවට මහත් පිටිවහලක්

අමුගොඩ ජයසුමනාරාම මහා විහාරය දක්ෂිණ ශ්‍රී ලංකාවේ මෙන්ම ලාංකීය විහාරවංශ කතාවේද ප්‍රමුඛස්ථානයක් ගන්නා විහාරස්ථානයක් ලෙසින් වසර එකසිය විසිඑකක ප්‍රෞඪ වූ ඉතිහාසයකින් සමන්විතව අද දවසේ ද අතිමහත් සැදැහැවත් වන්දනාවට පාත්‍ර වන පින්බර පුදබිමකි.

දහනව වන සියවසේ අග භාගයේ අතිපූජ්‍ය ඕමත්තේ අභයතිස්ස මහානායක මාහිමිපාණන්ගේ විහාරාධිපතිත්වයෙන් ආරම්භ වන ජයසුමනාරාම පුරාණ මහා විහාරය ඉනික්බිති සුපේශල, ශික්ෂාකාමී , විනයධර, ධර්මධර වියත් මාහිමිපාණන් වහන්සේලාගේ අධිපතිත්වයෙන් ලාංකීය ශාසන ප්‍රබෝධයේ පුළුල් ක්‍රියාකාරිත්වයට ප්‍රබල දායකත්වයක් සපයනු ලබයි. වත්මන් විහාරාධිපතිධුරය උසුලන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැලිගොඩ පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර ආචාර්ය අතිපූජ්‍ය අමුගොඩ සෝමරතනාභිධාන අනුනාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, ශාස්ත්‍රපති අතිපූජ්‍ය අමුගොඩ සෝමානන්ද දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මාහිමිපාණන් වහන්සේගේ උත්තුංග කැපවීම මත දකුණු කොරියාවේ යක්ෂසා විහාරාධිපතිව වැඩ විසූ සොක් ඉං වොං මහනාහිමිපාණන් වහන්සේ ඇතුළු කොරියන් ජාතික දානපතියන්ගේ පරිත්‍යාගශීලිත්වයෙන් ද, ගොඩනැගුණු දෙමහල් අභිනව ධර්ම මන්දිරය ජයසුමනාරාම මහා ශාසනික සේවාවට මහත් පිටිවහලක් වනු නිසැකය.

මෙම පින්කමට දායක කාරක වූ සැමට කෘතවේදීත්වය පළකරන අතරම සම්බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවූ සැමට මාගේ ශුභාශිංසන පිරිනමමි.


පොදු සංවර්ධනයට දායකත්වයක්

1896 වසරේ, දකුණුලක ,බෙන්තර –වලල්ලාවිට කෝරළයට අයත්, අමුගොඩ ගම්මානයෙහි ජයසුමනාරාමය ආරම්භ කරන ලද්දේ ,අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ, රත්නපුර පළාත් ප්‍රධාන සංඝනායක, එම නිකායේ එක්නැළිගොඩ පාර්ශ්වයේ මහානායකව වැඩ විසූ, ඕමත්තේ අභයතිස්ස මහ නාහිමිපාණන් වහන්සේ විසිනි. එදා මෙදා තුර වසර 121 ට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති අමුගොඩ ජයසුමනාරාමය ජන ජීවිතයේ අධ්‍යාත්මික දියුණුව උදෙසා මෙන්ම, විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ගමේ පාසල, රෝහල, මංමාවත් ආදි සැම අංශයකම ඇති වු දියුණුව හේතුවෙන් ප්‍රදේශයේ පොදු සංවර්ධනයටද විශාල දායකත්වයක් ලබා දී ඇත.

මෙතෙක් විහාරස්ථානයට බලවත් අඩුපාඩුවක්ව පැවති ධර්ම මන්දිරය, කොරියන් යක්සසා විහාරාධිපතිව වැඩ විසු ,සොක් ඉන් වොං මහා නාහිමිපාණන් වහන්සේ ඇතුළු කොරියන් ජාතික දානපති පිරිසකගේ සහයෝගයෙන් ඉදි කිරීමට හැකිවීම සතුටට කරුණකි. මේ සඳහා මූලික වූ, කැපවීමෙන් කටයුතු කළ විහාරාධිකාරී අමුගොඩ සෝමානන්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු දායක සභාව ද ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

අමුගොඩ ජයසුමනාරාම විහාරස්ථානයේ ‘කොරියන් ජාතික, සොක් ඉන් වොන් මහ නාහිමි සහ අතිපූජ්‍ය තලල්ලේ ධම්මාලෝක අනුනාහිමි අනුස්මරණ දෙමහල් ධර්ම මන්දිරය සැදැහැවත් ජනතාවට විවෘත වන පුණ්‍ය මහෝත්සවයට සුභාශිංසන එක් කරමි.


මහත් සතුටක්

වත්මන් විහාරාධිති අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය සෝමරතන අනුනාහිමියන් විසින් සිදුකරන ලද සේවය අතිවිශාලය.වත්මන් විහාරාධිකාරි ශාස්ත්‍රපති, අමුගොඩ සෝමානන්ද නාහිමි.ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර මාහිමි හා ගෞරව ශාස්ත්‍රවේදී පිටිගල සෝමාලංකාර යන හිමිවරුන් ඒ ඒ ප්‍රදේශවල ශාසනික හැඟීමෙන් යුතුව ක්‍රියාකිරීම සතුටට කරුණකි.

ශාස්ත්‍රපති, අමුගොඩ සෝමානන්ද නාහිමියන් අපගේ ආරාධනයෙන් පානදුරේ සිට අමුගොඩ ගම්පියසට වැඩම කොට අනුනාහිමියන් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරස්ථානයේ ඉදිරි දියුණුව සඳහා කැපවී විශාල කාර්යභාර්යයක් සිදුකරන ලද බව සිහිපත් කළ යුතුය.

විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවති ධර්මශාලාව දෙමහල්ව ඉදිකිරීම ආරම්භ කළේ, දකුණු කොරියාවේ යක්ස ෂා මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය සොක් ඉන් වොන් මහානාහිමියන් සහ එම විහාරයේ ශිෂ්‍ය පිරිස හා දායකයින් විසිනි. එම කාර්යභාර්යයේ ඉදිකිරීම් කටයුතු මා හට පවරන ලද්දේ දැඩි විශ්වාසයක් ඇතිවය. මේ සඳහා දැඩි කැපකිරීමක් සිදුකර දෙමහල් ධර්ම මන්දිරයක් අපහට ලබාගැනීමට මුල්වූයේ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කල්‍යාණ මිත්‍ර කේ.කේ. ජී. මෛත්‍රීපාල මහතා නිසා බව කෘතවේදීව සිහිපත් කළ යුතුය.