Print this Article


ඓතිහාසික නියමකන්ද පිරිවෙන ප්‍රතිසංස්කරණය කෙරේ

ඓතිහාසික නියමකන්ද පිරිවෙන ප්‍රතිසංස්කරණය කෙරේ

පූජ්‍ය වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි සමයේ මෙරට ප්‍රධානතම භික්ෂූ පිරිවෙන් මධ්‍යස්ථානය ලෙස පැවැති ජරාවාසව අභාවයට යමින් තිබූ රංගම නියමකන්ද ඓතිහාසික වැලිවිට සරණංකර සංඝරාජ පිරිවෙන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුල්ගල තැබීම ඉකුත් දා සිදු කෙරිණි.

ඓතිහාසික ඇම්බැක්කේ කතරගම දේවාලයට බස්නාහිර දිසාවේ පිහිටා ඇති ‘නියමකන්ද’ නම් කඳුයායේ නැගෙනහිර බෑවුමේ ගල්ලෙන්වලින් සමන්විත මනස්කාන්ත භූමි භාගයක පිහිටා ඇති එම වැදගත් පුරාවිද්‍යා ස්මාරක භූමිය තුළ ගරාවැටුණු විහාර මන්දිරයක නටබුන් මෙන්ම පුරාණ බෝධිඝරයක හා ගොඩනැගිලි කිහිපයක නටබුන් වර්තමානයේ දැකගත හැකිය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ (1747 – 1782 ) වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මා හිමියන් විසින් ආරම්භ කරන ලද මෙම නියමකන්ද පිරිවෙන් මධ්‍යස්ථානය මහනුවර යුගයේ ප්‍රථම පිරිවෙන් මධ්‍යස්ථානය ලෙසද සැලකේ. අතිපූජ්‍ය සිටිනාමළුවේ ධම්මජෝති හිමි වැනි පහතරට හා උඩරට නාහිමිවරුන් සිය ගණනක් සිය ධර්ම ඥානය ලැබූ එම ඓතිහාසික ස්ථානය එම පැරැණි බව නොනසා ප්‍රතිසංස්කරණය කිරීම කාලීන අවශ්‍යතාවයකි. එම අවස්ථාවට ලංකාතිලක රජමහ විහාරාධිපති මල්වතුවිහාර කාරක සංඝ සභික අමුණුගම විපස්සී හිමියන්, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් නන්දන ගලගොඩ, මධ්‍යම පළාත් බෞද්ධ කටයුතු කොමසාරිස් පරාක්‍රම ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ.