Print this Article


දස පින් පුරමු

දස පින් පුරමු

කායික හා මානසික සුව පිරි යහපත් ජීවිතයකට අපි සැම පි‍්‍රයකරමු. ජීවිතයේ යහපත හෝ අයහපත තීරණය වන්නේ අපගේ සිතිවිලි හා ඒවා ක්‍රියාත්මක වන ආකාරය අනුවය. වැරැදි ලෙස සිතන්නට පුරුදු වූයේ නම් අපේ සිත ලෙඩ වේ. අහිතකර ආහාර, අපිරිසුදු චර්යාව, කය ලෙඩ කරන්නාක් මෙනි. ලෙඩ වූ සිතින්, නරක් වූ සිතින් කරන කියන දේ යහපත් වන්නේ නැත. එනම් දූෂිත වූ සිතින් හොඳ කියන්නට හෝ කරන්නට බැරිය. එවැනි සිත් ඇත්තාට ඒ සඳහා පවක් හෝ ලජ්ජාවක් නැත.

බොරු, කේළාම්, හිස් වචන, රළු බස් තෙපළන්නට හේ බිය නොවේ. පර පණ නසන්නට, සොරකමට කාම මිථ්‍යාචාරයට සුරාවට, සූදුවට ලජ්ජා නොවේ. එහෙත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ ලජ්ජා විය යුතු නැත. බිය විය යුතු තැන ලජ්ජා බිය ඇති කර ගත යුතු බවය.

එවැනි පුද්ගලයෙක් වන්නේ කෙසේද? නරක සිතිවිලි ඇති නොවන්නට පරෙස්සම් වීමෙනි. හොඳ ගුණයට පැහැදීමෙනි. හොඳ දේ කිරීමට සිත නැමෙන්නේ එවැනි සිතිවලි වර්ධනය කිරීමෙනි. එවැනි යහපත් ආකල්ප දියුණු කිරීමෙන් කරන යහපත් ක්‍රියා දහයක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. ඒ දස පින්ය.

දාන, සීල, භාවනා අපචායන, වෙය්යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා , ධම්මදේශනා, ධම්ම ශ්‍රවණ, දිට්ඨිජුකම්ම ලෙස එම දස පින් විස්තර කෙරේ. දානය යනු දීමයි. දීමෙන් අප සිත පෙළන, වෙහෙසවන ලෝභය දුරු වේ.

සීලය යනු හික්මීමය. එනම් සිත, කය, වචනය හික්මවා ගැනීමය. එවැනි පුද්ගලයා පස් පවින් වැළකේ.

සිත එකඟ කරගන්නට භාවනාව මහෝපකාරි වේ. එකඟ වූ සිත කලබලකාරි නොවේ. නරක සිතිවිලි උපදින්නේ එකඟ නොවූ සිතෙහිය. යටහත් පහත් ගති පැවතුම් “අපචායන’ නම් වේ. එනම් මවුපිය, ගුරු, වැඩිහිටියන්ට, ගුණවතුන්ට යටහත් වීමය. ගරු බුහුමන් දැක්වීමය. එවැනි පුරුදු නොවූ පුද්ගලයා උඩඟුකමින් හිස උදුම්මා ගත්තෙකි.

චෙය්‍යාවච්ච නම් තමන් හැදු වැඩූ මවුපියන්ට, ගුරුවර වැඩිහිටියන්ට උවටැන් කිරීමය. එවිට උඩඟු සිතිවිලි, ලෝභී සිතිවිලි දුරුවේ. ‘පත්තිදාන’ නම් පින්දීමය. කෙනෙක් කළ පින් අපට අනුමෝදන් කරන විට පිනට සහභාගි වූවා සේ සිත සතුටට පත්කර ගැනීම ‘පත්තානුමෝදනා’ හෙවත් ‘පින්ගැනීම නම් වේ. ධර්ම දේශනා කිරීමෙන් පිරිහීමට පත් අය ඉන් මුදවා ගැනීමටත්, යහපතෙහි යෙදවීමටත් අවස්ථාව උදාවේ. ධර්ම දේශනය මෙන්ම ධර්ම ශ්‍රවණය ද කුසලයකි.

දිට්ඨිජුකම්ම නම් හරි දැක්මය. එනම් සෘජු දෘෂ්ඨියයි. මෙසේ දස පින් පුරණ පුද්ගලයා, තෙරුවන් සරණ ගිය පුද්ගලයා දුසිරිතට බියය. අශිෂ්ඨකම් නොකරන්නේ ය. පින හා පව හඳුනාගෙන පින පමණක් තෝරා ගන්නේ ය.

සිරුරේ මනා පැවැත්ම අපේක්ෂා කරන යම් පුද්ගලයෙක් අපථ්‍ය ආහාරයෙන්, වැරැදි චර්යාවන්ගෙන් දුරු වී සිටින්නාසේ ඔහු පවින් වැළකී දෙලොව යහපත උදාකරගන්නේය. බුදුරජාණන් වහන්සේ පංචශීලය අනුදැන වදාළේ මිනිසා ශිෂ්ඨ සම්පන්න පුද්ගලයකු කිරීමටය. එමඟින් යහපත් සමාජයක් බිහි කිරීමටය. බෞද්ධ සමාජයක යහපත මිස අයහපත සිදු වන්නේ නැත. අයහපත් පරිසරයක් නිර්මාණය වනවා නම් ඒ මිනිසා හික්මීමෙන් තොරවන නිසාය. අප හොඳ දේ බලාපොරොත්තු විය යුතුවන්නේ නරක පැරදවිය යුතු වන්නේ හොඳ දේ කිරීමෙන් මිස නරකින් නොවේ.