Print this Article


 ලෝ සතට වැඩ සදන ලෝවැඩ සඟරාව

 ලෝ සතට වැඩ සදන ලෝවැඩ සඟරාව

සෙත් සිරි දෙන මහ ගුණ මුහු දාණන්
සත් හට වන බව දුකට වෙ දාණන්
තිත් ගණඳුරු දුරලන දිනි දාණන්
සිත් සතොසින් නමදිම් මුනි දාණන්

බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !

වීදාගම මෛත්‍රෙය මාහිමියන් විසින් ලියා පළකරන ලද ලෝවැඩ සඟරාවෙහි දැක්වෙන ඉහත සඳහන් ප්‍රථම කවියෙන් සිදුකරනුයේ සම්බුදුරදුන්ට නමස්කාර කිරීමයි. ඈත කාලයේ සිට ග්‍රන්ථයක් ආරම්භ කිරීමේ දී තෙරුවනට නමස්කාර කිරිම උගත් ගත් කතුවරුන්ගේ සිරිතක්ව පැවතුනි. ඒ අනුව බුද්ධ වන්දනාව සිදුකෙරෙන එම කවියෙහි සාමාන්‍ය අදහස මෙසේ ය.

“නිවන් සැප ලබා දෙන, මහත් වූ ගුණ නමැති රත්නයන්ට මහ මුහුද වැනි වූ, සත්ත්වයාට ඇතිවන සසර දුකට වෛද්‍යවරයෙකු වැනි වූ, මහත් අඳුර පහ කිරීමට සූර්යයා වැනි වූ බුදුරදුන් සතුටු සිතින් මම වඳිමි”

මෙම කවියෙන් ප්‍රකට කෙරෙන ප්‍රධාන බුදුගුණ සතරකි. සත්ත්වයා ඉපදෙමින් ගමන් කරන මනුෂ්‍ය හා දිව්‍ය යන කාම ලෝකයක හෝ රූපාවචර හා අරූපාවචර බ්‍රහ්ම ලෝකයක හෝ උපත සැපදායක නොවේ. හේතුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් යුක්ත හෙයිනි. කවියෙහි ආරම්භයෙහි ‘සෙත්සිරි’ යන්නෙන් නිර්වාණය සැප උදාකරන එකම ස්ථානය බව පෙන්වා දෙයි. එය ලබා ගැනීමට මඟ කියාදුන් එකම උතුමෝ බුදුපියාණෝ ය.

කවියෙහි දැක්වෙන දෙවන ගුණය බුදුරදුන් තුළ පවතින අසීමිත ගුණ සමුදායයි. එය රත්නාකර නමින් හඳුන්වන මහ මුහුදට සමාන කොට මෙහි දක්වා ඇත. සගරයෙහි දිග, පළල හා ගැඹුර මෙතෙකැයි ප්‍රකාශ කිරීම අපහසුය. බුද්ධ රත්නයෙහි ගුණ ද එසේ අනන්ත ය. අපමණ ය. ‘සත්හට වන බව දුකට වෙදාණන්’ යන කවි පාදයෙන් දැක්වෙන්නේ භවත්‍රයෙහි ජීවත්වන සියලු සත්ත්වයන් ම බවදුක් කම්කටොළුවලින් පෙළෙන බවයි. එයින් මිදුන එකම සත්ත්වයෙකු හෝ එහි නැත. මේ භවදුක්ඛය පහකිරීමට එදත්, අදත්, හෙටත් ලෝකයේ පහළ වන කිසිදු විශේෂඥ වෛද්‍යවරයෙකුට පිළියම් නැත.

‘වෙජුජුපමෝ ජිනවරො - සද්ධම්මෝ ඔසදූපමො’ යනුවෙන් අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වන අන්දමට බව දුක් නමැති රෝගයෙන් පෙළෙන්නා වූ සියලු සත්වයන්ගේ ම සංසාර දුක්ඛය නැති කිරීමට ක්‍රියා කළ හැකි එකම වෛද්‍යවරයා බුදුරදුන් ය. උන්වහන්සේ විසින් අවබෝධ කොටගත් ධර්ම නමැති ඖෂධය භාවිත කිරීමෙන් සසර දුක් තරණය කොට සදාකාලික සැපත උදාකරගත හැකිය. සුත්ත නිපාතයෙහි සේල සූත්‍රයෙහි ‘සෝහං බ්‍රාහ්මණ සම්බුද්ධො - සල්ලකත්තො අනුත්තරො’ යනුවෙන් ‘බමුණ මම සම්බුද්ධ වෙමි. එසේම ශ්‍රේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි’ යි තමා සත්ත්වයා තුළ ඇති සියලු කෙලෙස් කපා හරින වෛද්‍යවරයෙකු බව පෙන්වා දුන්හ.

යෙ කෙචි ඔසධා ලොකෙ – විජ්ජන්ති විවිධා බහු
ධම්මොසධ සමං නත්ථි – එතං පිබථ භික්ඛවො’

යනුවෙන් විවිධ ආගමික නායකයන් සැපත සඳහායයි ඖෂධ හා සමාන ධර්ම කරුණු ඉදිරිපත්කොට ඇතත් ඒ කිසිවකින් සංසාරගත රෝග සුවකළ නොහැකි ය. බුදුරදුන් දෙසූ ධර්ම නමැති ඖෂධයෙන් සියලු දුක් පහකළ හැකි හෙයින් එය භාවිත කරන්නයි ඉහත දැක්වූ ගාථාවෙන් පෙන්වා දෙයි.

මිථ්‍යා දෘෂ්ටි හෙවත් වැරැදි දැකීම් නමැති ගණඳුර පහකිරීමට බුදුරදුන් සූර්යයෙකු හා සමාන කොට කවියේ තුන්වන පාදයෙන් දක්වා ඇත. බුද්ධ කාලයේ පැවති දෙසැටක් පමණ වූ මිථ්‍යා දෘෂ්ටි තවදුරටත් ශාස්වත හා උච්ඡේද යනුවෙන් දෙකොටසකට බෙදා ඇත.

බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාවේ දී ම ඒ සියලු දෘෂ්ටීන්හි ඇති නිසරු බව මෙන්ම අසත්‍ය බව හා අවැඩදායක බව ලොවට පෙන්වා දුන්හ. මේ කවියෙහි අවසානයෙහි බුදුරදුන් සඳහා යොදා ඇත්තේ ‘මුනිඳු’ යන වචනයයි. ධර්ම ග්‍රන්ථයන්ට අනුව මුනිවරු සදෙනෙකි. එනම් අගාර මුනි, අනගාර මුනි, සේඛ මුනි, අසේඛ මුනි, පච්චේක මුනි හා මුනි මුනි යනුයි. ඒ සියලු මුනිවරයන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ බුදුරදුන් හඳුන්වා ඇත්තේ මුනි මුනි යනුවෙනි. කලින් සඳහන් කළ සියලු මුනිවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ වන හෙයින් මුනීන්ද්‍ර නමින් ද හඳුන්වති. කතුවරයා ග්‍රන්ථාරම්භයේ දී ම ඒ උතුම් බුදුරදුන්ට නමස්කාර කරයි. \\\\